[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිත නිවන සුව සදන නිල්ගිරි රාජමහා විහාරය

සිත නිවන සුව සදන නිල්ගිරි රාජමහා විහාරය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම මොරගොල්ලාගම කුඹුක්කඩවල ග්‍රාමයේ පිහිටි නිල්ගිරි රාජමහා විහාරස්ථානය කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව හන්දියෙන් හැරී මඩගල්ල මාර්ගයේ පොල්පිතිගම නගරය පසුකොට සාලියගම හන්දියෙන් වමට හැරී වතුවත්තේගම හන්දිය දක්වා පැමිණ එයින් දකුණට හැරී කිලෝමීටර් හයක් පමණ පැමිණ විට කුඹුක්කඩවල ග්‍රාමය හමුවේ. එම සුන්දර ග්‍රාමයේ මෙම සුන්දර විහාරස්ථානය පිහිටා ඇත. 

නිල්ගිරි රාජමහා විහාරස්ථානයේ ඉතිහාසය දේවානම්පියතිස්ස රජ දවස දක්වා විහිද යයි.

මෙම ඉපැරැණි චෛත්‍යයෙහි යූප ගලක් පිහිටා ඇත. අද වන විට නටබුන් ව ඇති මෙම චෛත්‍යය පසෙකින් යූප ගල තැම්පත් කර ඇත. මෙම ඉපැරැණි චෛත්‍යයෙහි ධාතු ගර්භයන් පහක් තිබී ඇති අතර, ඉන් ධාතු ගර්භ සතරක් නිධන් සොරු විසින් සොරකම් කර ඇති අතර, එක් ධාතු ගර්භයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇත. මෙම විහාරස්ථානයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ වළගම්බා රජ දවස යි.

විහාරස්ථානය සතු ව අලංකාර විහාර ගෙයක් පිහිටා ඇත. එහි නුවර යුගයට අයත් පිළිම වහන්සේ සහ චිත්‍ර දක්නට ලැබෙන අතර විහාරගෙය තුළ ද චෛත්‍යයක් නිර්මාණය කර ඇත. මෙම විහාර ගෙය ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත.

විහාරස්ථානයේ කටාරම් කොටන ලද පුරාණ ගල්ලෙන් හතක් පමණ දක්නට ලැබෙන අතර, එම ගල්ලෙන් තුළ භාවනායෝගී භික්ෂූන් වහන්සේ වැඩ වාසය කරති.

එමෙන් ම භාවනායෝගී ව කල් ගෙවීමට කැමැති ගිහි පැවිදි ඕනෑම කෙනකුට ඒ සඳහා අවශ්‍ය පහසුකම් විහාරාධිපති හිමියන්ගේ මූලිකත්වයෙන් විහාරස්ථානයෙන් සපයනු ලබන අතර, අවශ්‍ය ඕනෑම කෙනකුට ඒ සඳහා සම්බන්ධ විය හැක.

කාලයාගේ ඇවෑමෙන් විවිධ ආක්‍රමණවලට මෙම විහාරස්ථානය ද ගොදුරු වී නටබුන් වී ඇත. ඇල්පිටියේ රාහුල හිමියන් බොහෝ වෙහෙසක් දරා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා එක්ව සංරක්ෂණය කර මහජනතාවට වැඳපුදා ගැනීමට සුදුසු පරිදි සකස් කර ඇත. එමෙන්ම මෙම විහාරස්ථානයෙහි පිහිටි පැරැණි දාගැබ, බෝධිඝරය සහ පිළිම ගෙය කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුවට ද ඇතුළත් කර ඇත.

විශේෂ ස්තුතිය
ආර්.එම්. නිරෝෂණී කුමාරි රත්නායකට 

ඇසළ පුර පසළොස්වක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ.
20 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]