[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුර පෑළවිය සඳ - 09 කොටස

පුර පෑළවිය සඳ - 09 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

මෙතෙක් කතාව

දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුව ද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය. පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට වැරදිපිට වැරදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරුවන්ට කරන අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි. නන්ද හිමි සිත දමිත පොඩිහාමුදුරුවන් ගැන ඇති වූයේ මහා දුකකි.

සිල් සමාදන් වූ යසෝ අම්මා සාමණේරයන් වහන්සේ සොයන්නේ බොහෝ වේලාවක සිටය. කිහිප විටක් කිහිප තැනක සෙව්වත් සාමණේරයන් වහන්සේ දකින්නට නොලැබුණි. දහවල් දානයෙන් පසු ගිලන්පස විවේකයේ බෝ මලුවට ආ උපාසිකාව ධර්ම සාකච්ඡාව ඇරඹෙණ වෙලාව ආසන්න වුවත් බණ මඩුවට නොගියේ අර්ධ පර්යංකයෙන් හිඳ සිටින්නට අපහසු නිසා ය. ඈ බෝ මලුවට පිවිසෙන පඩිපෙළට වී දෙකකුල් දිගහැර හිඳ සිටින්නට වූවා ය.

මෙවන් නිසසල පරිසරයක හුදෙකලා වූ විට මනසට නොයෙකුත් සිතිවිලි ගලා එන්නට වීම ස්වභාවයකි. බොහෝවිට අතීතයේ සුන්දර හෝ කටුක මතකයන් පූර්ව භවයක් හෝ සිහිනයෙන් දුටුවක් සෙයින් හිතේ කොහෙන් කොහෙන් හෝ ඉස්මතුව සැරිසරන්නට පටන් ගනී. යසෝ අම්මාට නම් සුන්දර මතකයන් කියා ඇත්තේ බොහෝම පොඩ්ඩකි. කුඩා කාලයේ මාපියන් ඇසුරේ ගෙවූ කාලයත්, සහේ එන්නට පෙර හා පසු ආසන්න කාලයත් හැරෙන්නට ඈ ජීවිතේ වින්දේ ම දුක් වේදනා ය.

නන්ද හාමුදුරුවන් බණට දෙසුවා සේ ම ජීවිතයක සතුට ආස්වාදය ඇත්තේ ඇබිත්තක් ම බව ඇයට හොඳාකාරව ම වැටහී තිබුණි. ආදීනව ද, දුක් ද අනන්ත ය. අපරිමිත ය.

ඈ වමතින් ඇගේ දකුණත අතගා බැලුවා ය. සුදට ලස්සනට ඔපමට්ටම් ව තිබූ ඒවායෙහි දැන් ඉතිරි ව ඇත්තේ වියපත් සමත්, ඇටසැකිල්ලත් පමණි.

දත් ද, කෙස් ද, තොල් ද, පපුව ද, එදාට වඩා පිලිකුල් ම සෙයින් වෙනස් වීමට පත් වී තිබේ. එදා තම හිත ගන්නට, අත ගන්නට, තුරුලු වන්නට දත කෑ රාශියක් සිටියත්, අද මේ සිරුර දෙවරක් නොබැලිය හැකි සේ ජරාපත් ව තිබේ. අහෝ ඒ තරුණ කාලයේ තිබූ තුරුණු මදය සැබැවින් ම මායාවක් ම නොවේ ද? රැවටීමක් ම නොවේ ද?

“ යසෝ අම්ම මොකද මෙතෙන්ට වෙලා.. බණ මඩුවට යන්නෙ නැතෙයි... ? “ දමිත සාමණේරයන් වහන්සේ ළඟට එනවාවත් ඈ නොදුටුවා ය.

බොහොම අපහසුවෙන් නැගී සිටි ඈ කොන්ද නමා දෑත් එක්කොට සාමණේරයන් වහන්සේට වැන්දා ය. පසඟ පිහිටුවා වඳින්නට දණ නැමීමට දැන් ඇයට අසීරු ය.

“ මං හැමතැන ම හෙව්වා පොඩි හාමුදුරුවන්ව. ඔන්න දැන් තමයි හම්බුනේ.”

“ ඒ මොකටද යසෝ අම්මෙ ඒ..” සාමණේරයෝ අසති.

“ මෙන්න මේක දෙන්න..”

මෙතෙක් වේලා අතේ එල්ලාගෙන සිටි පන්මල්ලෙන් එළියට ගත් පුංචි පාර්සලය ඈ සාමණේරයන් වහන්සේ අත තැබුවා ය. ඒ ඊයේ හවස මුණුපුරන් සමඟ එකතු වී පුච්චා තැලූ ගස්කජුවලින් කොටසකි. ඇය මෙය හංගා ගත්තේ ම සාමණේරයන් වහන්සේ වෙනුවෙන්‍ ය.

සුවඳ දැනුණු ගමනේ ම දමිතට සතුටු ය. එකක් කනකන් දැන් ඉවසුමක් නැත. ඒත් කවුරුවත් දැක්කොත් ඒක හරි නැත.

“ තියාගෙන ඉඳලා පොඩි හාමුදුරුවෝ උදේට වළඳන්න. නැත්තං ලොකු හාමුදුරුවෝ බනියි..”

යසෝ අම්මා කීවේ සෙනෙහසිනි.

සාමණේරයන් වහන්සේට මෙහෙම කෑමක් ලැබුණේ බොහෝම කලකට පසුව ය. යසෝ අම්මා අනිත් දායක දායිකාවන් වාගෙ නොවේ. ඈ තමාට බොහෝ ම ලෙංගතු බව සාමණේරයන්ට හොඳටම දැනී තිබේ. අම්මා නැති අඩුව පිරිමැසෙන්නේ ඈ වැනි අම්මාවරුන් නිසා ය.

සාමණේරයන් වහන්සේ ආවාසයට පිවිසියේ පාර්සලය සිවුරෙන් ඔතා සඟවාගෙන ය. ඒ දානශාලාව පැත්තෙනි. වටපිට බලමින් ලියන මහත්තයත් දානශාලාවෙන් පිටතට ආවෙ මේ වෙලේ ය.

“ කෝ පොඩි හාමුදුරුවනේ , සිරිමල් උන්නැහැ ? මං මේ උන්නැහැ හම්බෙන්න ආවෙ “

කවදාකවත් මුහුණ බලා සිනාවත් නොවන ලියන මහත්තයා අදනම් කටපුරා පොඩි හාමුදුරුවනේ කියා අමතයි. සාමණේරයන් වහන්සේට දැනුනේ සතුටකි. කලබලයෙන් මෙන් එහෙ මෙහෙ බලන්නේ ලොකු හදිස්සියක් නිසා වන්නට පුලුවන.

“ සිරිමල් මාමා ළිඳ ගාව ඉන්නව මං දැක්ක. ඉන්න ලියන මහත්තය , මං මාමට එන්න කියන්නම්. “

“ හා.. හා.. පොඩි හාමුදුරුවනේ ...”

ලියන මහත්තයා පිළිතුරු දෙන්නේ ද කලබලෙනි.

දමිත සාමණේරයන්ට දුවන්නට ඕනෑ වුනත් අද පෝය නිසා දුවන්නට බැරි ය. වෙනදාට වඩා පන්සලේ පිරිස ය. ළිඳ ඇත්තේ වත්ත පහළ ය. ඒ හරියේ වේගෙන් යා හැකි ය.

සිරිමල් මාමා සිටින්නේ මුදලාලි මහත්තයා සමඟ කසුකුසුවක ය. වටපිට බලමින් ඒ කරන කසුකුසුව තමන් පිළිබඳ ව ම එකකැයි සාමණේරයන් වහන්සේ නොදනී. දෙදෙනාම තමන් වහන්සේට ප්‍රිය නොකරනා බැවින් ළං වීම එතරම් නුසුදුසු ය. අල්ලාගෙන තඩිබෑවොත් හෝ ටොකු ඇන්නොත් බේරා ගන්නට තරම් කෙනෙක් මේ ළඟපාතක පෙනෙන්නට නොමැත.

“සිරිමල් මාමෙ... සිරිමල් මාමෙ...”

සිරිමල් මාමා සිටින්නේ නෑසුනා ගානට ය.

“ සිරිමල් මාමේ... මාමේ... “

“ මොකෑ... බෙරිහන් දෙන්නෙ ... මං බීරෙක් කියල හිතුව ද?...”

සිරිමල් මාමාගෙ හඬ නොරිස්සුම් සහගත ය.

“ ලියන මහත්තය ඇවිල්ල... දාන ශාලාව ගාව.. මාමා හම්බෙන්න.”

මුදලාලි මහත්තයාට ආ කාරණය සුද්ධ ලෙස ම කියන්නට බැරි විය. මේ හෙනහුරාත් පාත් වූයේ අවශ්‍ය ම ටික කියන්නට හැදූ මොහොතේ ය.

අවශ්‍ය වූ කාරිය ලියන මහත්තයා හොඳාකාරව ම සිදුකරන්නට ඇත. කොහොමත් වැඩේ ගැස්සෙන්නට නම් ඉඩක් ඇත්තේ ම නැත.

“ හා... එහෙනම් සිරිමල් යන්ට. අද හෙටින්ම පන්සලේ කරුමෙ කම්මුතුයි. වැඩේ උනැයි කියල හිතාගන්න. “

මුදලාලි මහත්තයා කියන්නෙ කුමක්දැයි සිරිමල්ටත් වැටහීමක් නැත. ලියන මහත්තයා එන්නට ඇත්තේත් මුදලාලි මහත්තයත් සමඟ ය. ඔහු මුදලාලි මහත්තයාගේ සේවකයෙකි.

නමුත් මුදලාලි මහත්තයා ලියන මහත්තයා හමුවෙන්නට තමා පිටත් කර හරී.

කුමක් හෝ වේවා, ඉතිරිය පසුව දැනගත හැකි ය. දැන් කළ යුත්තේ කතාව නවතා ලියන මහත්තයා හමුවෙන්නට යෑම ය.

(මතු සම්බන්ධයි)

ඇසළ පුර පසළොස්වක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ.
20 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]