[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සදාතනික ආදරයක සනාතනික යුතුකම්

සදාතනික ආදරයක සනාතනික යුතුකම්

විවාහයේ පැවැත්ම, සාර්ථකත්වය රඳා පවතින්නේ ද ආදරය මත ය. අපි සැවොම ආදරය ලබන්නට කැමැත්තෙමු. එහෙත් ආදරය ලැබිය හැක්කේ ආදරය ලබාදීමෙන් පසුවයි. ආදරය යනු නාම පදයක් නොවේ. එය ක්‍රියාපදයක් බව අප සිහියේ තබා ගත යුතු ය.

බුදුහිමියන් සිඟාල ගෘහපතියාට දේශනා කළ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන්නේ මේ ක්‍රියාපදය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රායෝගික කරුණුයි.

පවුලේ දියුණුව යහපැවැත්ම බලාපොරොත්තු වන සැමියකු නම් ඔබ, ඔබේ බිරිඳට හැම විට ම ගරු කරන්න. ඔබේ ළඟින් ම සිටිමින් ඔබ ව රැක බලා ගන්නේ ඇය බව හැම විට ම මතකයේ තබා ගන්න. ඇයට හැමවිට ම ආචාරශීලී වන්න.

අපි කුඩා කල බාලාංශ පන්තියේ ඉංගී‍්‍රසි ඉගෙන ගනිද්දී විශේෂ වචන 4ක් ඉගෙන ගත්තා ඔබට මතක ඇති. එනම් ‘ස්තූතියි’ ‘කරුණාකර’, බාධා කිරීම ගැන කනගාටුයි. සමාවෙන්න ආදී වවචනයි. යම් කෙනෙක් අපට උදව්වක් කළ විට ‘ස්තූතියි’ යන්නත්, අපි යම් කෙනෙකුගෙන් උදව්වක් ඉල්ලන විට ‘කරුණාකර කියන්නත්, අපි යම් කෙනකු නිරත වී සිටින වැඩකට බාධා කරමින් යමක් විමසන විට ‘බාධා’ කිරීම ගැන කනගාටුයි කියන්නත්, අපෙන් යම් වරදක් සිදුවූ විට සමාවෙන්න කියන්නත් පුරුදු විය යුතුයි.

ඔබ, ඔබේ බිරිඳ ඉදිරියේ මේ වචන ප්‍රකාශ කරනවා දැයි සිතා බලන්න. මේ වචන ප්‍රකාශ කරන සෑම අවස්ථාවක ම ඔබේ බිරිඳ ඔබ වෙත වඩාත් ආකර්ෂණය වන බව හිතට ගන්න. එමෙන් ම ඇයගේ අදහස්වලට හොඳින් සවන් දෙන්න. ඔබ යම් විටෙක ඔබේ බිරිඳගේ අදහස් සමඟ එකඟ නොවුණත් ඇයගේ අදහස්වලට ගරු කරන්න උත්සාහ කරන්න.

කිසිදු අවස්ථාවක ඔබේ බිරිඳට අවමන් කරන්න එපා. කාර්ය බහුලත්වය නිසා යම් විටක ඔබේ බිරිඳගේ අතින් යම් යම් අඩු පාඩු විය හැකි බව හිතන්න. එවැනි අවස්ථාවක එම වැරැද්ද ගැන සිතමින් කෝපයට පත් නොවී ඇය අතින් නිවැරැදි ව කෙරෙන අනෙකුත් වැඩ රාශිය ගැන සිතා බලන්න. සමහර අවස්ථාවල තමන්ගේ මවුපියන් ඉදිරියේ, නෑදෑයින් ඉදිරියේ, මිතුරන් ඉදිරියේ තම බිරිඳගේ අඩුපාඩු කියමින් ඇය ව සමච්චලයටත්, උපහාසයටත් ලක් කරන සැමියන් ඔබ දැක ඇති. මෙයින් සිදුවන්නේ බිරිඳ සහ සැමියා අතර සුහදබව බිඳවැටීමයි. යම් විටෙක දී ඔබේ බිරිඳගේ අඩුපාඩුවක්, වැරැද්දක් දුටු විට ඇයගේ සිත නොරිදෙන පරිදි ඒ ගැන ඇයට පවසන්න. විවාහයට පෙර ඔබේ වර්තමාන බිරිඳ ඔබේ පෙම්වතිය වී සිටින අවධියේ ඇයගේ වැරැද්දක්, අඩුපාඩුවක් ඇයට පෙන්වා දුන් ආකාරය සිහි කර ගන්න.

ඔබේ බිරිඳ ඔබ සමඟ පැමිණියේ ඔබ ගැන පූර්ණ විශ්වාසයෙන් නිසා විශ්වාස කළ හැකි පුද්ගලයෙක් වෙන්න. ඒ විශ්වාසය පළුදු වන ආකාරයේ කිසිදු වැඩක් නොකළ යුතුයි. ඔබේ බිරිඳගෙන් පිට සබඳතාවක් ගැන කිසි විටෙකත් නොසිතන්න. යම් විටෙක දී සැමියෙක් තමන්ගේ බිරිඳ තමන්ට නොසලකන නිසා එසේ කරන බව පැවසුවත් කිසිදු හේතුවක් නිසා එය සාධාරණය කළ නොහැකි බව අපේ හෘදසාක්ෂිය අපට පෙන්වා දෙනු ලබයි.

ඒ නිසා සෑම විටම ඔබේ බිරිඳට අවංක ව වැඩ කරන්න. ඇයට විශ්වාස කළ හැකි පුද්ගලයෙක් බවට පත් වන්න.

ඔබේ නිවෙසේ අධිකාරි බලය ඔබේ බිරිඳට පවරන්න. ඔබ වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක් වුවත් නිවෙසේ මූල්‍ය කළමනාකරණය බිරිඳට පැවරූ විට එය වඩා හොඳින් සිදු වන බව හිතට ගන්න. නිවසේ වැඩ කටයුතු ගැන මෙන් ම, දරුවන්ගේ වැඩ කටයුතු ගැන තීරණ ගැනීමේ දී බිරිඳගේ අදහස්වලට මුල් තැන දෙන්න. නිවෙසට අවශ්‍ය කෑම බීම මිලදී ගැනීමේ දී ඒ සඳහා ඔබේ බිරිඳ සහභාගී කර ගන්න. මේ අනුව කටයුතු කරන විට සතුට ඔබ වෙත නිරතුරු ව රැඳෙනු ඇත.

ඕනෑම කාන්තාවක් තමන්ගේ රූපය අලංකාර කර ගැනීමට මෙන් ම තරුණ බව රැක ගැනීමට කැමති බව අප දන්නා කරුණක්. මෙය සියලු කාන්තාවන්ට ආවේණික ලක්ෂණයක්. ඒ නිසා ඔබේ බිරිඳගේ අවශ්‍යතා සියල්ල සොයා බලා ඒවා සපයා දීම සැමියෙක් ලෙස ඔබේ වගකීමක් බව හිතට ගන්න. පවුලේ අවශ්‍යතා සඳහා මුදල් ඉපයීම සැමියාගේ වගකීම බව අප වටහා ගත යුතුයි. ඔබේ බිරිඳ රැකියාවක් කළත්, නැතත්, ඇයගේ අවශ්‍යතා සියල්ල ඉටු කරදීම ඔබ විසින් කළ යුතු දෙයක් බව හිතන්න.

විවාහ ජීවිතයක ආදර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා සැමියා විසින් ඉහත සඳහන් ආකාරයට කටයුතු කරන විට බිරිඳ විසින් ද ඒ සඳහා කළ යුතු කාර්යයන් වේ.

පවුලේ ආර්ථික අවශ්‍යතා සපයා දීම සැමියාගේ වගකීමක්. එසේ සපයා දෙන මුදල් නිසි පරිදි කළමනාකරණය කරමින් නිවසේ වැඩකටයුතු සංවිධානාත්මක ව ඉටු කිරීම බිරිඳගේ වගකීමක්. මේ නිසා ඔබ බිරිඳක් ලෙස මනාව සංවිධාන කරන ලද කටයුතු ඇත්තියක් විය යුතුයි. ඔබේ නිවෙස පිරිසුදුවටත්, පිළිවෙළටත් තබා ගැනීම බිරිඳක් ලෙස ඔබේ මූලික වගකීම බව හිතට ගන්න. ඔබ කිනම් රැකියාවක නියැළුණත්, කොතරම් වෘත්තීය අභියෝග තිබුණත් නිවෙසේ ප්‍රධානියා ඔබ බව අවබෝධ කර ගන්න.

ඔබේ සැමියාගේ ඥාතීන්ට සහ සේවක සේවකාදීන්ට පි‍්‍රයජනක චරිතයක් වන්නත් ඕනෑ. ඔවුන්ට අවශ්‍ය කෑම බීම ඔබට හැකි පමණින් සපයා දෙන්න. ඔබේ සැමියාගේ රියදුරු, කාර්යාල කාර්ය සහායක වැනි අයට හොඳින් සලකන විට ඔවුන් පෙරළා ඔබේ සැමියාට හොඳින් සේවය සපයන නිසා ඔබේ සැමියාට ආතතියෙන් තොරව රැකියාවේ වැඩ කටයුතු කළ හැකියි.

ඔහු සවස නිවෙසට එන්නේ මානසික පීඩාවකින් නොවෙයි. මනස නිරවුල් ව නිවෙසට පැමිණෙන සැමියා ඔබට වඩාත් ළං වන නිසා සැමියා සමඟ වැඩ කටයුතු කරන පිරිසගේ අවශ්‍යතා සොයා බලන්න. එමෙන් ම ඔබේ සැමියාගේ ඥාතීන්ට හොඳින් සලකමින් ඔවුන්ගේ සිත දිනා ගත් විට ඔවුන් ඔබේ සැමියා සමඟ ඔබේ ගුණ වර්ණනා කරයි. එය ඔහුගේ පී‍්‍රතියට කරුණක් වනවා සේ ම ඔහු ඔබට වඩාත් ඇලුම් කරනු ඇත.

සෑම විට ම ඔබේ සැමියාගේ විශ්වාසය දිනා ගනිමින් කටයුතු කරන්න. ඔබේ මිතුරියන් සමඟ කිසි විටෙකත් ඔබේ සැමියා විවේචනය නොකරන්න. ඔබ මුහුණ දෙන සෑම අත්දැකීමක් ම ඔහු සමඟ නොසඟවා පවසන්න. ඔබේ සැමියා නොමැති ව යන ගමන් බිමන් හැකි තරම් අඩු කරන්න. මේ අයුරින් කටයුතු කරන විට ඔබේ සැමියා සහ ඔබ අතර සම්බන්ධතාව හොඳින් ශක්තිමත් වනු ඇත.

සෑම විටම ඔබේ සැමියාගේ ආදායමට අනුව වියදම් කරන්න. සැමියා උපයන දේ ආරක්ෂා කරමින් හා ආයෝජනය කරමින් පවුලේ වත්කම් වර්ධනය කර ගැනීම බිරිඳගේ වගකීමක් බව හිතන්න. හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා මුදල් ඉතිරි කරන්න. එවිට එවැනි අවස්ථාවක දී සැමියාට මානසික පීඩනයක් නොදී එම කාර්යය කර ගැනීමට හැකි වනවා. එවිට ඔබේ සැමියා ඔබට මහත් සේ ඇලුම් කරනු ඇත.

නිවසේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය කුසලතා වර්ධනය කර ගන්න. ඔබේ සැමියා කැමති ආකාරයට ඔහුට ආහාර පිළියෙළ කර දෙන්න. ඒ සඳහා අවශ්‍ය දේ ඉගෙන ගන්න. සැමියා ව්‍යාපාරිකයෙක් හෝ ගොවිතැන් වැඩ කටයුතුවල නිරත වේ නම්, ඒ සඳහා අවශ්‍ය කුසලතා ඔබත් වර්ධනය කර ගන්න. එවිට ඔහුගේ වැඩ කටයුතුවලට සහාය වෙමින් ඔහු සතුටු කිරීමට ඔබට හැකි වනු ඇති. කොතරම් කුසලතා තිබුණත් අලසකම නිසා එම කුසලතා යටපත් වී ඇති කාන්තාවන් ඔබ දැක ඇති. උදාහරණයක් ලෙස ඉතා දක්ෂ ලෙස කෑම පිසීමට හැකි කෙනෙක් අලසකම නිසා හෝ වැඩිපුර නිදාගැනීමට ඇති ආසාව නිසා හෝ කඩෙන් කෑම රැගෙන විත් කෑම දැක්විය හැකියි. මෙවැනි දේ නිසා කල් ගත වෙද්දී පවුල් සබඳතා බිඳ වැටෙන බව හොඳින් හිතන්න.

එසේ නම් විවාහ ජීවිත තුළ ඔබේ සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් සතුටින් ජීවත් වීම සඳහා සැමියකු ලෙස හෝ බිරිඳක ලෙස ඔබ විසින් ඉටු කළ යුතු සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන කරුණු නොපිරිහෙලා ඉටු කරන්න.

ඇසළ පුර පසළොස්වක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ.
20 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]