[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පින්බර ඇසළ පොහොය අදයි

පින්බර ඇසළ පොහොය අදයි

අදවන් ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වූහ. ඒ ප්‍රථම ධර්ම දේශනාවයි. එය ශ්‍රවණය කිරීමේ භාග්‍යය ලැබුවේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම හා අස්සජී යන පස්වග භික්ෂූන් වහන්සේ ය.

“මහණෙනි, පැවිද්දකු විසින් නොසෙවිය යුතු අන්ත දෙකකි. එනම් ළාමක වූ හීන වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද, ආර්යයන් සතු නොවූ, අනර්ථයක් ම සිදු කරන්නා වූ, පස්කම් සැපතෙහි නැවත නැවත යෙදෙන්නා වූ කාමසුඛල්ලිකානුයෝගය නම් වූ ප්‍රතිපදාවක් වෙත් ද, එසේ ම දුක් උපදවන්නා වූ, ආර්යයන් සතු නොවූ, අනර්ථයක් ම සිදු කරන්නා වූ තම සිරුරට බෙහෙවින් ම දුක් දෙන්නා වූ අත්තකිලමථානුයෝගය නම් වූ ප්‍රතිපදාවක් වෙත් ද මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදහ.

එම ප්‍රතිපදාව නුවණැස පිරිසුදු කරන්නේ ය. නුවණැස ඇති කරන්නේ ය. එය කෙලෙසුන් සංසිඳීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස හේතු වන්නේ ය.”

දුක් සහිත ජීවිතය සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙනයන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහ කොට ඇත. දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මෙම අංග සතර බෙදා වෙන්කොට තිබේ. මෙහි දුක යනුවෙන් ඉගැන්වෙනුයේ ජාතිය හෙවත් ඉපදීම, ජරාව හෙවත් සත්වයාගේ වයස් ගතවීම, රෝගය, මරණය, අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම හා කෙටියෙන් කිවහොත් උපාදාන ස්කන්ධ පහ ම දුක් සහගත බවයි.

ඒවා නම් සත්ත්ව ශරීරය, සුඛ, දුක්ඛ, උපේක්ඛා යන වේදනාත්‍රය, කායික හෝ මානසික අරමුණු හඳුනාගැනීම, මානසික ව කරන සකස් කර ගැනීම් සහ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් මාර්ගයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ යන ධර්ම අරමුණු කර ගෙන හටගන්නා අවබෝධය යි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යනුවෙන් ප්‍රථම ධර්ම දේශනාව තුළ සඳහන් වන්නේ ඒවා ය.

දුක හටගැනීම තණ්හාව නිසා සිදුවෙයි. එහි ආකාර තුනකි. පස්කම් සැපතෙහි ඇල්ම හෙවත් ඉඳුරන් පිනවීමේ ආශාව කාම තණ්හාවයි. පුහුදුන් මිනිස්සු ඉන්ද්‍රිය සය පිනවීමට රුචි කරති. එය සිදු කරනුයේ ඇසින් පි‍්‍රයජනක රූප බැලීමත්, කනින් මිහිරි ශබ්ද ඇසීමත්, නාසයෙන් මිහිරි සුවඳ විඳීමත්, දිවෙන් මිහිරි රස විඳීමත් ශරීරයෙන් සිත් සතුටු කරන ස්පර්ශ ලැබීමත්, සිතින් අතීත අරමුණු මෙනෙහි කිරීමත් තුළින් ය. මෙය පංචකාම සේවනය ලෙස හඳුන්වයි.

ස්ථිර වූ පැවැත්මක් ගැන සිතමින් ආත්මයක් ස්ථිර ව නොවෙනස් ව ගමන් කරන බව පිළිගැනීම නිසා භව තණ්හාව ඇති වෙයි. ඒ අනුව නිත්‍ය වූ භවයෙහි නැවත නැවත ඉපදෙමින් පස්කම් සුව විඳීමට ඇති ආශාව භව තණ්හාවයි. සදාකාලිකව ම පස්කම් සුව විඳීමට මිනිසා තුළ ඇති කැමැත්ත මෙයින් අදහස් වෙයි.

සත්ත්වයා ගේ නැවත ඉපදීමක් නැතැයි ද මරණයෙන් ජීවිතය කෙළවර වේ යැයි ද සමහරු සිතති. ඒ අනුව ඔවුන් පිළිගන්නේ මෙලොව පැවැත්ම පමණි. එනිසා ජීවිතයේ හැකි තරම් පස්කම් සුව විඳීමට ඔවුහු කැමැති වෙති. මෙය විභව තණ්හාවයි. මෙම ත්‍රිවිධ තණ්හාව ම දුකට මුල් වෙයි.

දුක නැති කිරීම සිදු කළ හැකි වන්නේ ඉහත කී තණ්හාව මුළුමනින් ම දුරු කිරීමෙනි. එය දුරු කළ බුදුරදුන් ආදී ආර්ය උතුමන් වහන්සේගේ අත්දැකීම නිවනයි.

දුක නැති කිරීමේ මාර්ගය නම් ආර්යඅෂ්ටාංගික මාර්ගයයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීම මෙයින් අදහස් වෙයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, මාර්ගාංග දෙක ප්‍රඥා ශික්ෂාවටත්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සීල ශික්ෂාවටත්, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සමාධි ශික්ෂාවටත් අයත් වෙයි.

පන්සාළිස් වසක් පුරා ම බුදුරදුන් දෙසූ මුළු ධර්මය ම මෙම මාර්ගය මුල්කොට පවතියි. සංයුක්ත නිකායේ නගර සූත්‍රයේ දී බුදුරදුන් දේශනා කර ඇත්තේ අංග අටකින් යුත් මෙම මාර්ගය පෙර විසූ බුදුවරුන් විසින් ද අනුගමනය කරන ලද මාර්ගයක් බවත් තමන් වහන්සේ ද නැවතත් එම මාර්ගය සොයා ගෙන එය ලෝකයාට අවබෝධ කරවා දෙන බවත් ය.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීමෙන් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය. එහි දැනීම ඇති ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව හෙවත් කෙලෙසුන් දුරු කිරීමෙහි නුවණ පහළ විය. මෝහය හෙවත් අවිද්‍යා අන්ධකාරය දුරු කරන ඤාණාලෝකය පහළ විය. ඒ අනුව ඇසළ පොහෝදා සිදු වූ සදාඅනුස්මරණීය සිදුවීම මෙම ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමයි.

තවද වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව උපන් අප මහ බෝසතාණන් වහන්සේ මහා මායා දේවිය කුස පිළිසිඳ ගැනිම, විසිනව වැනි වියේ දී සතර පෙරනිමිති දැක ගිහිගෙය කළකිරීම අභිනිෂ්ක්‍රමණය කිරීම, බුදුරදුන් ප්‍රමුඛ පස්වග භික්ෂූන් වහන්සේගේ ප්‍රථම වස් එළඹීම සිදුවීම, රාහුල කුමරු ඉපදීම, ගණ්ඩබ්බ රුක් මුල්හි දී තීර්ථකයන් ගේ මානය මර්දනය කරනු වස් බුදුරදුන් යමාමහ පෙළහර පෑම, මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්මය දේශනා කිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු තෘතීය, මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්විම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරිම යන සිදුවීම් ශාසන ඉතිහාසයෙහි ලා ඇසළ පොහොය වැදගත්වීමට බලපාන කරුණු අතර වැදගත් තැනක් ගනියි.

ඇසළ පුර පසළොස්වක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ.
20 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]