[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පැවිදි ගිහි දෙපිරිසට ම වැදගත් ආජීවපාරිශුද්ධ සීල ප්‍රතිපදාව

පැවිදි ගිහි දෙපිරිසට ම වැදගත් ආජීවපාරිශුද්ධ සීල ප්‍රතිපදාව

ලංකා ඉතිහාසයේ සියවස් දහතුනක් පැවැති රාජ්‍ය යුගය වුණේ අනුරාධපුරයයි. ධන ධාන්‍යවලින් පමණක් නොවෙයි ගුණ ධර්මවලින් ද මේ කාලය ගොඩාක් පොහොසත් වුණා. රජවරුන් රටවැසියාට දරුවන්ට මෙන් ආදාරය කළා. රටවැසියාත් රාජ්‍ය පාලනයට පක්ෂපාති ව කටයුතු කළා. ඒ නිසා තමයි එතරම් කාලයක් රාජ්‍ය එහෙම පැවතුණේ.

ඉතින් මේ කාලයේ අනුරාධපුර නගරයේ වෙළඳ පවුලක් ජීවත් වුණා. සැමියාත්, බිරිඳත් හරිම ගුණ යහපත්, ඒවගේ ම සීලවන්තයි. තුනුරුවන් කෙරෙහි තිබුණේ අසීමිත භක්තියක්. පැහැදීමක්. කලක් ගතවන කොට දරු පැටියෙක් මේ පවුල ආලෝකවත් කළා. දෙන්නා ඉතා ආදරයෙන් මේ දරුවා පෝෂණය කළා. රැකබලා ගත්තා.

දරුවා ටිකෙන් ටික උස්මහත් වෙලා අවුරුදු හතක් වුණා. හුරතල් කාලයේ කෙළි සෙල්ලම්, වගේම ළමා කාලයේත් කෙළිසෙල්ලම් බලමින් වෙළඳ පවුලත්, සේවක පිරිසත් හොඳින් කාලය ගත කළා. මෙහෙම ඉන්නකොට දවසක් පිණ්ඩපාතයේ වැඩම කළ මහ තෙරුන් වහන්සේ නමක් දැකලා පැවිදි වීමට මේ පුංචි දරුවා කැමැත්ත පළ කළා. ඔහුගේ කැමැත්ත සහ සතුට වෙනුවෙන් දෙමාපියන් ද අවසර දුන්නා.

මේ කාලයේ රටේ කිසියම් අවාසනාවකට බ්‍රාහ්මණතීය කියලා මහා දුර්භික්ෂයක් ඇති වුණා. රජතුමා කරන්න පුළුවන් හැම දෙයක් ම කළා දුර්භික්ෂයෙන් මිදෙන්න. ඒත් පුළුවන්කමක් නම් ලැබුණේ නෑ. මහාවිහාරයේ මහතෙරුන් වහන්සේ බැහැ දැකලා උපදෙස් අරගත්තා. ඒත් පිහිටක් ලැබුණේ නෑ. මෙහෙම දෙවතාවක් ම මහා සංඝයාගේ උපදෙස් අරගත්තා. ඒත් රටේ දුර්භික්ෂය එන්න එන්නම බලවත් වුණා.

තෙවැනි වතාවේ උපදෙස් ගන්න ගියහම කළේ මහාවිහාරයේ වැඩ සිටි ඍද්ධි සම්පන්න මහ තෙරනමක් ශක්‍රදෙවියන් හමුවීමට යැවීමයි. දෙවියන් වෙතින් පිහිටක් ලබා ගැනීම එහි අරමුණ වුණා. ඍද්ධි සම්පන්න තෙරුන් වහන්සේ දෙව්ලොවට ගිහින් ශක්‍ර දෙවියන් හමුවී කරුණු කියා සිටියා. දෙවියන් ඒ අවස්ථාවේ දී කියා සිටියේ රටේ මිනිසුන්ගේ කිසියම් අතීත කර්මයක විපාකයක් මෙහෙම පලදෙන බවයි. ඉතින් එයට කරන්න දෙයක් නැති බවත්, ජීවිත රැක ගැනීමට විදේශවලට යනවා නම් වඩාත් ම යහපත් බවත්, මුහුදෙන් එතර කිරීමට තමන්ට ශක්තියක් ඇති බවත් කෙනෙක් වියදණ්ඩක් වැනි ලී කැබැල්ලක් මුහුදට දමා යන්න සූදානම් වෙනවා නම්, එයින් ද එතරට ගෙන යන බවත් කියා සිටියා. මේ සියලු පුවත් මහාවිහාරයට වැඩම කරලා මහා සංඝයා ඉදිරියේ ඍද්ධිමත් භික්ෂුව කියා සිටියා.

ඒ කතාව අහන්න ලංකාවේ හැම පැත්තෙන් ම වගේ මහතෙරුන් වහන්සේ වැඩම කරලා හිටියේ. ඉතින් මෙතැනට වැඩම කළා අර හත් අවුරුදු පුංචි සාමණේරයන් වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේත්. ලංකාවේ ජීවත්වීම ජීවිත අවධානම් ගෙන දෙන දෙයක් බව අවබෝධ කර ගත්ත උපාධ්‍යයන් වහන්සේ පුංචි සාමණේරයන් වහන්සේ අමතලා කියනවා

‘මම ඉන්දියාවේ ආන්ද්‍රදේශයට යන්න තීරණය කළා. මේ දුර්භික්ෂය අවසන් වන බවක් පෙනෙන තෙක් මානයක නෑ. පුංචි නම ඉන්දියාවට යන්න සූදානම් වෙන්න‘කියලා කිව්වා. සාමණේරයන් වහන්සේට මව්පියන්, ඒවගේ ම උපන් රට දාලා යන්න හිත දුන්නේ නෑ. ගුරු හාමුදුරුවන්ගේ හිත රිදවන්නේ නැතිව

‘ස්වාමිනි, මම ගෙදර ගිහින් අම්මගෙනුයි, තාත්තගෙනුයි අහලා එන්නම්. යන්න ද කියලා‘යි අහලා අවසර අරගෙන ගෙදර ගියා. අම්මාටත් තාත්තාටත් කතාව කිව්වා.

අම්මා කියනවා ‘පුංචි හාමුදුරුවනේ අපට ඇති තරම් සල්ලි තියනවා, දැන් දැන් ආහාර පාන ඉතාම දුලබ වීගෙන යන්නේ එහෙම වුණත් කමක් නෑ. බත් පතක් කහවණු තිහක් හතළිහක් ගියත්, දවසට එක වේලක් හරි කාලා ජීවත් වෙන්න පුළුවන් විදිහට අපි ඔයාව රැක ගන්නවා. කොහේවත් යන්න එපා‘යි කියා සිටියා. මේ කතාව අහගෙන හිටිය පුංචි සාමණේරයන් වහන්සේ මව්පියන්ට සමුදීලා නැවතත් විහාරයට යන්න පිටත් වුණා. ඒ යන ගමනේ පිණ්ඩපාතයේ යෙදුණා. බත් හරලුවක්වත් ලැබුණේ නෑ. බොහොම මහන්සියක් දැනුණා. ගමන් කළ පාර අයිනේ තිබුණු අශ්ව ගාලක් දැකලා විඩා හරින්න නතර වුණා. ටික වේලාවක් විවේක අරගෙන ආයෙත් විහාරයට යන්නම් කියලා තීරණය කරගෙන එහි තිබුණු ලෑල්ලක් මත දිගා වුණා. පුංචි හාමුදුරුවන්ට එහෙම්ම ම නින්ද ගියා. ආයෙත් ඇහැරෙනකොට ගොඩාක් රෑ වෙලා. පහුවදා දැනගන්න ලැබුණා තමන්ගේ ගුරු හාමුදුරුවෝ ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශයට පිටත් වී ගියා කියලා. දවස් හයක් ම අශ්ව ගාලේ ම කිසිම ආහාරයක් නැතිව වැතිර හිටියා. හැබැයි මේ පාරෙන් හැමදාම රජුට කුළුපග භික්ෂුවක් රාජ මාලිගයේ පිණ්ඩපාතයට වැඩම කළා. වළඳලා නැවත විහාරයට වැඩම කරන කොට තව නමකට පිණ්ඩපාතය අරගෙනත් ගියා. හත්වැනි දවසේ මේ පුංචි සාමණේරයන් වහන්සේ ඉන්නවා දැකලා එතැනට ගිහින් කතා කරලා වත්තම් කරගෙන නැඟිට්ටවලා

‘පුංචි හාමුදුරුවනේ, මම දවස් ගණනාවක් මෙතැනින් වැඩම කළා. ඒත් ඔබ වහන්සේ ඉන්නවා දැක්කේ නෑ. ශරීරය හොඳට ම දුර්වල වෙලා. හෙමින් හෙමින් මේ දානය වළඳන්න. ඉක්මනින් ම සුව වෙන්න‘යි කියලා පිණ්ඩපාතය පිළිගැන්වූවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ විනය ශික්ෂාපදවලට අනුව ජීවත් වුණු කෙනෙක් තමයි මේ පුංචි හාමුදුරුවෝ. ඒ වගේ ම ධර්මය ගැන බොහෝ ම ගැඹුරු දැනුමක් තිබුණු කෙනෙක්. ඉතින් ගත් කටට ම ඇහුවේ

ස්වාමිනි, දැන් වේලාව කීයට විතර ඇද්ද? කියලා යි. ඡායාව දිහා බලලා ආගන්තුක භික්ෂුව වේලාව කිව්වා. ඒවගේ ම තවදුරටත් දොස් කියමින් ‘මේ දුර්භික්ෂ කාලයේ වේලාව බල බලා පිණ්ඩපාතය අනුභව කරන්න බෑ. ලැබුණු වෙලාවක වළඳන්න ඕන‘යි තදින් කියා සිටියා. පුංචි තෙරුන් වහන්සේ කල්පනා කළා මේ භික්ෂුව සිල්වතෙක් නෙවෙයි. රජතුමාටත් තමන්ගේ ගුණ වගේ ම දුර්භික්ෂයේ තත්ත්වය කියා පාමින් නැති ගුණ කියා පිණ්ඩපාතය ලබා ගන්න බවක් තමයි පෙනෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආජීව පාරිශුද්ධශීලය ආරක්ෂා කරන්නයි භික්ෂුවට දේශනා කරලා තියෙන්නේ. ඒ භික්ෂුව එසේ හැසුරුණාට මම කුමක් කරන්න ද? මම රැක ගත්ත පිරිසුදු ශීලය තවදුරටත් ආරක්ෂා කර ගන්නවා. මගේ බඩවැල් වේලී ගිහින් මිය ගියත් මම නම් මේ භික්ෂුවගේ පිණ්ඩපාතය වළඳන්නේ නෑ‘යි තීරණය කරගෙන මූණ වහගෙන ආයෙත් වැතිර ගත්තා‘යි කථා පුවතක් සීහළවත්ථුවේ සඳහන් වෙනවා.

බලන්න පින්වත්නි, සිල් රකින කෙනා තමන්ගේ ජීවිතය නැති වුණත් සීලය බිඳ ගන්නේ නෑ. එහෙම වුනත් නූතන සමාජයේ ඇතැම් භික්ෂූන් වහන්සේත්, ගිහි පිරිමි හා කාන්තා පාර්ශ්වත් තමන්ගේ නැති ගුණයක් හෝ සම්පත් නැති බවක්, වචනයෙන්, කයින් හෝ ඉරියව්වලින් ආදී කුමන හෝ ක්‍රමයකින් අනුන් සතුටු කොට හෝ නැති බව කියා පාමින් ප්‍රත්‍ය ලබා ගන්නවා. අන් අයගේ සිත දිනාගෙන ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු නො කිරීම තමයි ආජීවපාරිශුද්ධ ශීලයෙන් අදහස් වෙන්නේ. පැවිද්දන් ගිහියන් සතුටු කිරීමට, යම් යම් දේ ගිහියන්ට දීම, වෙදකම් කිරීම, කේන්ද්‍රබලා ඵලා පල කීම, අත බලා ශාස්ත්‍ර කීම, නැකත් සාදා දීම, පෙර මඟට ගොස් පිළිගැනීම, රස්සාවල් හොයා දීම, හිතවත්කම් දක්වා චාටුබස් කීම, ඉදිරියේ ඉන්නා අයට ස්තුති කිරීම, ඉදිරියේ නැති අයට දොස් කීම, පමණට වඩා ගරු නම්බුනාම දී කථා කිරීම, ගිහියන්ගේ දරුවන් හුරතල් කිරීම, පණිවිඩ ගෙනයාම ආදී කටයුතු රාශියකින් වැළකී සිටීම මේ ශීලයට අයත් වෙනවා. පැවිදි සමාජයට තහනම් කර ඇති මේ ශීල ප්‍රතිපදාවෙන් ගිහි සමාජයටත් ප්‍රයෝජන රාශියක් ම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ආජීවපාරිශුද්ධ ශීලය ක්‍රියාත්මක කළ හොත් පුද්ගල හිත් රිදවීම්වලින් වගේ ම විවිධ ප්‍රශ්නවලින් තොරව සැහැල්ලු මනසකින් ජීවත්වීමට හැකියාව ලැබෙනවා. මෙය වචනයෙන් සමාදන් වෙනවාට වඩා කළ යුතු වන්නේ බුද්ධිමත් ව හිතා කටයුතු කිරීමයි. පැවිදි උතුමන්ගේ දෙලොව යහපත පිණිසත්, ගිහියන්ගේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වය උදාකර ගැනීමටත් මේ ශීල ප්‍රතිපදාව වැදගත් වෙන බව මේ කථා පුවතින් අපට කියා දෙනවා.

වෙසක් අමාවක

ජුනි 05 බදාදා අ.භා. 07.59 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.13 ගෙවේ.
 06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]