වෙසක් අමාවක පෝ දා
2024-06-06
බෞද්ධයාගේ දානය
අප මහ බෝසතාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ වෙසක් පුන්
පෝ දිනය සෑම බෞද්ධයකුට ම සුවිශේෂී ය. එහෙයින් අන් කවරදාටත් වඩා වෙසක් සමයේ
ප්‍රතිපත්ති පූජාවෙන්, ආමිෂ පූජාවෙන් තථාගතයන් වහන්සේට පූජෝපහාර දැක්වීමට සෑම
බොදුනුවෙක් ම පාහේ අමතක නොකරති. ඒ වටිනාකම්, හරපද්ධතින් ජාතියක් ලෙස පැසසිය යුතු ම
ය.
එමෙන් ම ධම්මානුධම්ම පටිපන්න බව සුවිශේෂිත එක් දිනයකට, කාල වකවානුවකට පමණක් සීමා
නොවිය යුතු බව දන්නා සැබෑ බෞද්ධයා ගෙවී යන සෑම තත්ත්පරයක ම දහමට අනුව ජීවිතය සකසා
ගන්නට උත්සාහ කරයි. අනියත ජීවිතයේ නියත මරණය කොයි මොහොතේ තමන් වෙත පැමිණෙන්නේ දැයි
නොදන්නා හෙතෙම නිති පිනෙහි, කුසලයෙහි අප්‍රමාදි වෙයි. ඔහු පින්කම් කරන්නේ, කුසල්
රැස් කරන්නෛ් අවබෝධයෙනි.
විශේෂයෙන් වෙසක් සතිය පුරා ගම්දොරක් පාසා, නගරයක් පාසා ආහාරපාන ඇතුළු විවිධ
මාදිලියේ දන්සල් සංවිධානය වුණි. ආහාරපාන දන්සල්වලින් කුස පුරවා ගත්තෝ ද අපමණ ය.
කෙනෙක් මේ දේවල් හෙළා දුටුවේ නැති බැරි අය මෙතරම් ජීවත්වෙද්දී ඇති හැකි අයටත් මෙලෙස
ආහාරපාන දන්දීම නිෂ්ප්‍රයෝජන බව ය. අනවශ්‍ය බව ය.
දානය පිළිබඳ බෞද්ධ ආකල්පය පිළිබඳ අවබෝධය ඉතා වැදගත් ය. බෞද්ධයා නිරතුරු දානය පුරුදු
පුහුණුූ කරන්නෙකි. ඔහු දානය දෙන්නේ අවබෝධයෙනි. ඒ තුළ දානය සිදු කරන්නේ අල්ලා
ගැනීමෙන් තොරව ය. කිසිදු ලෞකික අපේක්ෂාවෙන් තොරව උතුම් නිවන ම අරමුණූ කොට දීම
බෞද්ධයාගේ දානයයි. ඒ සඳහා ඔහු ධනය, වස්තුව උපයා ගන්නේ දෑතේ දෙපයේ වීර්යයෙනි. දහදිය
හෙළා, ගත සිත යොදා උපයාගත් දෙයිනි. අභය දානය සේ ම ශ්‍රමදානය ද උතුම් දාන බව බෞද්ධයෝ
දනිති. මේ සියලු දානයන් ශ්‍රද්ධාවෙහි පිහිටා සිදුකිරීම වඩාත් උතුම් බව ද ඔවුහු
දනිති. එනම් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ ඇති ශ්‍රද්ධාවයි.
මේ උතුම් ශ්‍රද්ධාව පෙරදැරි ව දානයෙහි නියුතු වූයේ නම්, ඒ පුද්ගලයා දීමට
කැමැත්තෙකි. සත්පුරුෂ ඇසුරට කැමැත්තෙකි. සද්ධර්ම ශ්‍රවණයෙහි කැමැත්තෙකි.
ශ්‍රද්ධාවෙහි පිහිටා දන්දීමෙහි අනුසස් අපමණ ය. බොහෝ දෙනෙක් සැප බලාපොරොත්තුවෙන්
රැස් කරති. අනුන්ට තබා තමන්ගේ පරිහරණයටවත් නොගනිති. එහෙත් දානය හෙවත් දීම ලැබීමෙහි
නිදානයක් බව දන්නෝ, සම්පත් ලැබීමට මුල බව දන්නෝ අල්ප ය. ධර්මයෙහි සඳහන් වන්නේ දානය
භෝග ලැබීමට ආධාරකයක් බව ය.
විරුද්ධකාරයන් බහුලවීම නිසා නිති බියෙන් සැකයෙන් ජීවත්වන්නෝ අපමණ ය. එහෙත් දානය
පුරුදු කළ පුද්ගලයාට එයම ආරක්ෂාව සලසයි. විරුද්ධකරුවන් නැති කරයි. දානයට මෙන්
අනුන්ගේ සිත් දිනා ගත හැකි කිසිත් නැත. මේ ජීවිතයට පමණක් නොව පරලොව ජීවිතයට ද දානය
සමාන අස්වැසිල්ලක් පිහිටක් තවත් නැත. බොහෝ දෙනෙක් අනාගත බලාපොරොත්තු ඇති ව බොහෝ දේ
කරති. එහෙත් දානය එහිලා වඩාත් සපල ය.
දානයෙහි අනුසස් පිළිබඳ අවබෝධ කර ගැනීමේ දී ධර්මයෙහි ඊට ලබාදී ඇති අර්ථ විමසීම ඉතා
වැදගත් ය. ලෝභය අපිරිසුදු ය. මසුරුමල ලෙස හැඳින්වෙන්නේ ලෝභයයි. මසුරු මල ආදියෙන්
ගත් කල දානය පියුමකි.
දානය බල අර්ථයෙන් ගත් කල ඇතෙකි. දානය මොනතරම් බලවත් ද යන්න එයින් ම ගම්‍ය වෙයි. මේ
අනුව දානය නම් අවබෝධයෙන් දීම ය. බෞද්ධයා දානය පුරුදු පුහුණු කරන්නේ, කළ යුතු වන්නේ
ඒ මඟ යමිනි. |