අතීතය වැළඳගෙන ආශ්වාදයක් විඳිනවා ද?
ශාස්ත්‍රපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
ජීවිතය දියුණු කර ගත යුතු ය. දියුණුව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පසෙක ලා මුළු සමාජය
ම දියුණුවීම සඳහා වැරැදි ක්‍රියා මාර්ගවල යෙදෙයි. අපේ බුදුහාමුදුරුවෝ අපට සියලු
බාධක බිඳ හැර දියුණුව ලබන්නට තම සිත සකස් කර ගත යුතු ආකාරය දේශනා කර ඇත. ජීවිතය
දියුණු කර ගන්නට අපගේ සිත සකස් කර ගත යුතු ආකාරය කෙසේ දැයි කියවමු.
බාධක බිඳ දමා දියුණුව ලබන අයුරු කදිම කථාවක් ධම්මපදට්ඨ කථාවෙහි වෙයි. කොසොල් මහ
රජුට හිටියා බද්දේරක නම් ඇතෙක් විය. කුඩා සන්දියේ සිටම ඉතා සුරතල් බවක්, හුරු
බුහුටි බවක්, කීකරුකමක් දැක් වූ මේ ඇතාට රජු හරිම කැමතියි. රජ පිරිස කැමතියි.
ඇත්ගොව්වෝ ප්‍රිය කරති. රටවැසියාට ප්‍රිය යි.
දිනක් මේ ඇතා විලක මඩ වගුරක එරිණි. ඇත්ගොව්වන් මහා වෙහෙසක් ගත්ත ද ගොඩ ගන්න බැරි
විය. රජ්ජුරුවෝ උත්සාහ කළේය. ඒත් අසමත් විය. රජ පිරිස උත්සාහ කළහ. මහ ජනතාව උත්සාහ
කළහ. ඒ කිසිම උත්සාහයකින් ඇතා ගොඩ ගන්න නොහැකි විය. ඇතා අතහැර යන්න කවුරුත් කැමැති
නොවූහ. එතැන කූඩාරම් ගහලා එහිම සිටියහ. ඒ ඉන්න අතර ඔවුහු රණ බෙර වැයූහ. රණ ගී
ගැයූහ. මේ හඬ අසන ඇතා හිතන්නේ රටට විරුද්ධ ආක්‍රමණිකයකු ඇවිත් ඔහු පරදන්නට පිරිස
යුද්ධයකට යන අයුරකි. ඇතා හිතුවා රටට විරුද්ධව යුද්ධයක් හටගෙන. මා මෙතැන, මෙහෙම
සිටින එක යුතු නැහැ. රජ්ජුරුවන් ආරක්ෂා කළ යුතු යි. රාජ්‍ය ආරක්ෂා කළ යුතුයි.
රටවැසියා ආරක්ෂා කළ යුතුයි.
මෙසේ සිතා ඇතා තනියෙන් උත්සාහ කොට ගොඩ එයි.
මේ සිද්ධිය රට පුරා පැතිරිණි. දෙව්රම් වෙහෙරටත් මේ පණිවුඩය පැමිණෙයි. භික්ෂූන්
වහන්සේ ඒ පිළිබඳ කතා බහ කරමින් සිටින විට වැඩම කරන බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය
සකස් කර ගන්න, ජයග්‍රහණ ලබා ගන්න, මේ ක්‍රමය භාවිත කරන ලෙස දැක්වූහ.
ඛුද්දක නිකායට අයත් ධම්මපදයෙහි ජරා වර්ගය තුළ පවතින ගාථාවක් උන්වහන්සේ දේශනා කරති.
එහි සරල අර්ථය ගතහොත් - මඩෙහි එරුණ
කුඤ්ජරෝ - හස්තිරාජයකු, දුග්ගා උද්දරථනත්ථානං විය - වීර්යයෙන් ගොඩ එන්නා සේ
ස චිත්ත අනු රක්ඛත -
තම සිත සුරක්ෂිත කොට,
අප්පමාද රථො හොථ -
අප්‍රමාදී ව කටයුතු කරන්න, එවිට දියුණුව ලද හැකි බවයි.
මේ හස්ථියා කවුද? මේ හස්ථියා යනු ඔබ යි. මමයි. අපයි. බද්දේරක කියන්නේ යහපත් බව
ඇත්තා, සොඳුරු තැනැත්තා යන්න යි. අප කවුරුත් උපතින් සුන්දරයි. යහපත්. බණ පොතේ සඳහන්
වන්නේ උපන් සත්ත්වයා කුඩා කල ඉතා පිරිසිදු බවයි. “පභස්සරමිදං භික්වේ චිත්තං
බාහිරේසු උපක්කිලේසෙසු උපක්කිලිට්ඨං ” උපන් සිත ප්‍රභාස්වරයි. එය බාහිර ව සමාජමය
ගැටීම පදනම් කරගෙන දූෂ්‍ය වෙයි. සත්ත්වයා මේ නිසා කෙලෙස් නැමති මඩ ගොහොරුවේ එරී ඇත.
මේ සිත ආරක්ෂා කර ගත යුතුයි. සියලු බුදුවරුන්ගේ උපදේශනය මේ සිත රැක ගැනීමයි.
“සචිත්ත පරියෝදපනං - එතං බුද්ධානුසාසනං”. එහෙයින් සචිත්ත - තමන්ගේ සිත
අනු රක්ඛථ - විශේෂයෙන් රැක ගන්න අවවාද කරයි.
ඊට හේතුව කෙනෙකුගේ සියලු ක්‍රියාකාරකම්ල වචන, සිතුවිලිවලට මුල් වන්නේ, නායකත්වය
ගන්නේ, සියල්ල උපදින්නේ මනස තුළිනි. “මනෝ පුබ්බං ගමා ධම්මා, මනො සෙට්ඨා මනෝමයා.”
ඒ නිසා සිත රැක ගැනීම වැදගත්. සිත අනාරක්ෂිත වන්නේ කේසේ ද ? ඒ වැරදි කෙලෙස් නිසයි.
රාග, ද්වේෂ, ක්‍රෝධ, උපනාහ. ඵලාස, ඉස්සා මච්ඡරිය, තම්භ, සාරම්භ, මාන, අතිමානි, මද
පමාද ලෙසයි. ආශාව, තරහා, ක්‍රෝධය, බද්ධ වෛරය, කුහකකම, ඊර්ෂ්‍යාව, මසුරුකම, දුෂ්ටකම,
වඩාත් දුෂ්ට වීම, මානය, වඩාත් මානය පැවතීම, මත් වීම හා වඩාත් මත්වීම ආදි දෙයින් සිත
දූෂ්‍ය වෙයි. මෙම දූෂ්‍යභාවය වන්නට නොදී ආරක්ෂා කර ගත යුතුයි.
මෙය අපගේ මවට හෝ පියාට හෝ වෙනත් ඤාතියකුට කළ හැක්කක් නොවේ. මෙය තමා විසින් ම කළ
යුත්තක් වෙයි.
“න තං මාතා පිතා කයිරා - අඤ්ඥේවාපි ච ඤාතකා”
මිථ්‍යාවෙන් යුක්ත වූ සිත අප පවට යොමු කරවනවා “මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං
තතෝකරේ” යහපත් ව ආරක්ෂා කර ගත් සිත අප උසස් තත්ත්වයට පත් කරයි. “සම්මා පණිහිතං
චිත්තං සෙය්‍යෙසා්නං තතොකරෙ” තම සිත ආරක්ෂා කර ගැනීම තම වගකීම වෙයි.
සේරිවාණිජ ජාතකයෙහි දී අපගේ සිත රන්තැටියකට උපමා කරයි. කුණු, දැලි, දූවිලි ඇලී ගැලී
තිබුණ නිසා මිත්තනියට, මිණිබිරියට තැටියෙහි වටිනාකම නොදැනිණ. එහෙත් වෙළෙන්දන්
දෙදෙනා එය හඳුනා ගනී. කෙනෙකු මේ තැටිය ලබා ගන්නට උත්සාහ කරන්නේ වංචාවෙනි, කපටිකම
තුළිනි. ඔහුට තැටිය හමු නොවේ. තව කෙනෙක් මේ තැටිය ලබා ගන්න උත්සාහ කරන්නේ අවංකව ය.
ඔහුට තැටිය හිමි වෙයි.
අපේ සිතත් රත්තරන් තැටියකි. රාගාදි කෙලෙස් කුණු, දැලි, දූවිලි නිසා එහි වටිනාකම අප
නොදනී. මේ රත්තරන් තැටිය පිරිසිදු කර ගැන්ම, ආරක්ෂා කර ගැන්ම බොරුවෙන්, වංචාවෙන්,
කපටිකමින් කළ නොහැක. එය අවංක ව කළ යුතු දෙයකි. තමන් ම කළ යුතු දෙයකි. මේ කාර්යයෙහි
දී පුද්ගල නායකත්වය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරයි.
“අත්තදීපා විහරත අත්ත සරණා, අනඤ්ඤ සරණා ” තමන්ගේ පහන තමන් වෙන්න. තමන්ට සරණ තමන් ම
ය. වෙන අයෙකුගේ සරණක් නොලැබේ. තමන්ගේ ආලෝකය තමන් ම විය යුතුයි.
අප ජීවත්වන ආකාරයේ, අපගේ ආකල්ප සංකල්ප තුළ වෙනසක් ඇති කිරීම තුළින් තම සිත ආරක්ෂා
කර ගත හැකි බව මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේ එන බද්දේකරත්ත සූත්‍රය තුළින්
පැහැදිලි කරයි. එහි දී දක්වන්නේ සාම්ප්‍රදායික ව අපගේ ක්‍රියාකාරිත්වය වෙනස්
කිරීමයි. සාම්ප්‍රදායික තත්ත්වය අප කවුරුත් වර්තමානය තුළ නොසිටිති. අතීතය තුළ
සිටිමින් කෙලෙස් උපදවති. අනාගතය තුළ සිටිමින් කෙලෙස් උපදවති. මේ සාම්ප්‍රදායික
තත්ත්වයෙන් බැහැර ව වර්තමානය තුළ ජීවත් වන්න යන්න බද්දේකරත්ත සූත්‍රය තුළ දක්වයි.
අතීතය වැළඳගෙන ආශ්වාදය තුළ ජීවත් වෙන්නේ නැත. ආශ්වාදය විඳීමට අනාගතය පතන්නේ නැත.
යමක් අතීතයට ගියා ද එය නැතිවෙලා ඉවරයි. අනාගතයේ වූ යමක් වෙයි ද එය තවම පැමිණ නැත.
යම් දෙයක් වර්තමානයේ තිබෙනවා ද ඒ ඒ දේ නුවණින් විමසා බලයි. කෙලෙස්වලට ඇදිලා යන්නේ
නැත. කෙලෙස්වලට එකතු වෙන්නේ නැත. කෙලෙස්වලට ඇවිස්සෙන්නේ නැත. නුවණැතියන්ගේ දැක්ම
එයයි. ඔවුහු විදර්ශනා වඩන්නේ ඒ අයුරිනි.
අද කළ යුතු දේ අද කරන්න, මරණය හෙට පැමිණෙන්නේ දැයි කිව නෙහැක. මාරයා සමඟ ගිවිසුම්
තැබිය නොහැක.
කොහොමද පුද්ගලයා අතීතය වැළඳ අතීත ආශ්වාදය තුළ ජීවත් වන්නේ.
පෙර මට මෙසේ වූ රූපයක් තිබුණා, මෙසේ වූ වේදනා තිබුණා, සංඥා, සංඛාර, විඤ්ඤාණ තිබුණා.
අතීතය වැළඳගෙන ආශ්වාදය විඳියි.
මේ අයුරින් අතීතය වැළඳ ගෙන අතීත ආස්වාදයෙන් මිදෙන අයුරින් සිත සකස් කර ගැනීම ජීවිතය
අලුතින් සිතීමයි.
කොහොම ද අනාගතය තුළ ආශ්වාදය පිහිටුවා ජීවත් වන්නේ. අනාගතයෙහි මට මෙවන් රූපයක්
ලැබෙයි. එහි ආශ්වාද කොට ජීවත් වෙයි. ඒ අයුරින් වේදනා, සංඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ගැන
සිතයි. එසේ අනාගත ආශ්වාදය තුළ ජීවත් නොවීමයි කළ යුත්තේ.
වර්තමානය තුළ ජීවත් වෙද්දි වැරැදි ආකාරයට ජීවත් විය යුතු නැහැ. වර්තමානය තුළ
(අස්සුතවා පුථුජ්ජනය) බොහෝ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයෝ (අරියානං අදස්සාවි),
ආර්යයන් නුදුටු (අරිය ධම්මස්ස අකෝවිදෝ), ආර්ය ධර්මයෙහි දක්ෂ නොවූ, (අරිය ධම්මේ
අවිනීතො) ආර්ය ධර්මයෙහි නො හික්මුණ, (සප්පුරිසාං අදස්සාවි) සප්පුරිසයා නුදුටු,
සත්පුරුස ධර්මය, නුදුටු, සත්පුරුෂ ධර්මයෙහි නො හික්මුණු මේ ආකාර වූ පුද්ගලයින් රූපය
ආත්මය හැටියට දකියි. රූපයෙන් හටගත් ආත්මයක් ඇතැයි සිතයි. ආත්මය තුළ රූපය ඇතැයි
සිතයි. රූපය තුළ ආත්මය ඇතැයි සිතයි. මෙලෙස වැරැදි අයුරින් හිතයි. මේ අයුරින්
වේදනාව, සඤ්ඤාව, සංඛාරය, විඤ්ඤාණය ගැන සිතයි.
මේ අයුරින් නො සිතිම තමයි වර්තමානය පිළිබඳ අලුතින් හිතන ආකාරය. මේ අයුරින් සිතන විට
අපට කෙලෙස් නො පැමිණෙයි. එසේ නොවේ නම් කෙලෙස් පැමිණෙයි. එවිට අනාරක්ෂිතයි. එම නිසා
මේ අයුරින් සිතා සිත ආරක්ෂා කර ගත යුතුයි.
එසේ ම පමා නොවිය යුතුයි. මරණය කොයි වෙලාවේ කොයි මොහොතක කවර ආකාරයකින් එයි ද දන්නේ
නැත. එම නිසා පමා නොවී ධර්මයෙහි නිරත විය යුතයි. සතර සතිපට්ඨානයෙන් ජීවත් විය
යුතුයි.
කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා සතර සතිපට්ඨානයෙන්
සිටින විට පමා වන්නේ නැත.
මේ අයුරින් සිත රැකගෙන නොපමා වී කටයුතු කරන විට මෙලොව ජීවිතය දියුණු වෙයි. පරලොව
ජීවිතය දියුණු වෙයි. නිවනින් සැනසීම ලබයි. |