දියුණු කළ සිතක අපූර්වත්වය විඳිමු
ශාස්ත්‍රපති
ගලගෙදර රතනවංස හිමි
බුදු හිමි ලොව පහළ වන යුගය වන විට භාරතය තුළ දේව කේන්ද්‍රීය ව මහා බ්‍රහ්මයාට යටත්
ව පුද්ගල ස්වාධීනත්වය අහිමි ව තිබුණි. සියලු දේවවාදී ආගම් තුළ දෙවියන් පළමුවටත්
මිනිසා දෙවනුවටත් යොදා තිබුණි. මිනිසාගේ විමුක්තිය දෙවියන් විසින් ම තීරණය කළ අතර,
සුගතිය හා දුගතියත් දෙවියන් විසින් ම තීරණය කරන ලදී. බමුණන්ගේ ආධිපත්‍ය යටතේ සියල්ල
නිර්ණය විය.
එවන් යුගයක් තුළ බුදුරජාණන් වහන්සේ ඊට හාත්පසින් ම වෙනස් අදහසක් ඉදිරිපත් කළහ.
එහිදි මිනිසාට මූලිකත්වය දීම සුවිශේෂී සිද්ධියකි. දියුණු කළ සිතකට කළ නොහැකි දෙයක්
නොමැත. කිසිවකුගේ යටතට මිනිසා පත්විය යුතු නැත. නිදහස්, නිවහල් ස්වෛරී, ස්වතන්ත්‍ර,
ස්වච්ඡන්දයෙන් පිරිපුන් වීමට මිනිසාට පුළුවන්කමක් ඇත. ඒ සඳහා උත්සාහය හා කැපවීම ද
අවශ්‍ය වේ.
“අත්තාහි අත්තනො නාතො කෝහි නාතො පරොසියා” තමාට පිහිට තමා ම ය. සසරින් එතෙර වීම හෝ
සසර සැරිසැරීම හෝ තමා තුළ ම පවතී. එහිදී නිදහස් චින්තනයට මුල් තැන දී ඇති අතර, ඒ
සඳහා අවබෝධ කර ගත යුතු ධර්මය වන්නේ චතුරාර්ය සත්‍ය බව දේශනා කොට ඇත. විමුක්තිය
ලැබීම පුද්ගලයා සතු වගකීමක් බැවින් ඒ සඳහා උත්සාහවත් වීම කළ යුතු ව ඇත.
බුදුරදුන්ගේ දේශනය වන්නේ “තුම්මෙ හි කිච්චං ආතප්පං - අක්ඛා තාරො තථාගතො"
විමුක්තිය නුඹලා විසින් ම කර ගත යුතු අතර, බුදුන් වහන්සේ මාර්ගෝපදේශකයකු පමණක් බව
ය. විමුක්තිය තම තමා විසින් ම අවබෝධ කර ගත යුත්තක් විනා තව කෙනකුට ලබා දිය හැක්කක්
නොවේ යනුවෙන් දේශනා කළේ එබැවිනි.
එදා භාරතයේ සිටි මක්ඛලීගෝසාල වැනි නියතිවාදී අදහස් ගරු කළ භාරතීය චින්තකයන් සඳහන්
කළේ සත්වයා වීර්යය බල පරාක්‍රමය ආදියෙන් තොර වන බවයි. ‘බුදුරදුන් දේශනා කොට වදාළේ
එම ශක්තීන් තුළින් දෙවියකු, බ්‍රහ්මයකු, පමණක් නොව බුද්ධත්වයට පවා පත්විය හැකි
බවයි. බුද්ධත්වය, මිනිසකුට පමණක් ලැබිය හැකි පදවියකි. ඒ අනුව බැලීමේ දී බුදුරදුන්
කළ එම ප්‍රකාශ තුළින් මිනිස් ශක්තිය හා පෞරුෂත්වය මනාව පිළිබිඹු වේ.
බුදුරජාණන් වහන්සේ කොසොල් රටේ කේස පුත්‍ර ග්‍රාමයේ දී දේශනා කළ අංගුත්තර නිකායට
අයත් කාලාම සූත්‍රය ඇසුරින් කරුණු 10ක් බැහැර කොට නිදහස හා ස්වාධීනත්වය පිළිබඳ
තහවුරු කොට ඇත. එයින් ලබා දුන් පුද්ගල නිදහස ලොව කිසිදු ශාස්තෘවරයෙක් මිනිසෙක්
වෙනුවෙන් ලබා දී නොමැත. එම කරුණු වන්නේ,
* අනුස්ස වේන - පෙර ආසා ඇති ආකාරය අනුව,
* පරම්පරාය - පරම්පරාගත සම්ප්‍රදායට අනුව,
* ඉතිකිරාය - මෙය මෙසේ යැයි කීමට අනුව,
* පිටක සම්පදානේන - පොත පතෙහි තිබෙන නිසා,
* තක්ක හේතු - තර්කයට ගැළපෙන නිසා,
* නය හේතු - න්‍යායට ගැලපෙන නිසා,
* ආකාර පරිවිතක්ඛේන - විචාරයට ලක්වන නිසා,
* දිට්ඨි නිජ්ජානක්‍ඛත්තියා - තම දෘෂ්ටියට අදාළ වන නිසා
* බබ්බරූපතය - කෙනෙකුගේ දක්ෂතාව නිසා සහ
* සමනා ගරූහි - තම ගුරුවරයා නිසා
යන කරුණුවලට අනුව පැහැදිලි වන්නේ විචාරයක් නැති ව (අවිචාර ව) යමක් නො පිළිගෙන, තමන්
ම විමසා සොයා බලා තීරණය ගත යුතු බව ය. එතුළින් තම තමන්ගේ බුද්ධියට මුල් තැන ලැබී
ඇත. ස්වාධීනත්වය රැකී ඇත. වැඩිදුරටත් සඳහන් වන පරිදි එහිදී,
ඉමෙ ධම්මා කුසලා - මෙය කුසලයකි, ඉමේ ධම්මා අකුසලා මෙය අකුසලයකි, ඉමේ ධම්මා සාවජ්ජා
මෙය නිවැරදි ක්‍රියාවකි, ඉමේ ධම්මා අනවජ්ජා මෙය වැරැදි ක්‍රියාවකි, ඉමේ ධම්මා
විඤ්ඤු ගරහිතා මෙබඳු ක්‍රියා නුවණැත්තන්ගේ නින්දාවට ලක්කර ඇත.
ඉමේ ධම්මා විඤ්ඤූ පසස්ථා මෙබඳු ක්‍රියා නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක්කර ඇත.
යනුවෙන් සිතා ස්වාධීන ව තීරණය ගැනීමට පුද්ගල නිදහස ඇත.
එය කාටවත් තර්ජනය කොට වෙනස් කළ නොහැක. ස්ව චින්තනයට මුල් තැන දී හරි වැරැද්ද තෝරා
බේරා ගැනීමේ පුද්ගල නිදහස බුදුරදුන් ලබා දුන් අයුරු ඉතා අගනේ ය.
මජ්ක්‍ධිම නිකායට අයත් අලගද්දූපම සූත්‍රය තුළින් ධර්මය පහුරකට උපමා කොට ඇති අයුරු
ඉතා පැහැදිලි ය. එතුළින් ද පුද්ගල ස්වාධීනත්වය හා පෞරුෂත්වය පිළිබඳ පැහැදිලි වේ.
කුලලූපමං භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිස්සරනත්‍ථාය නො ගහනත්‍ථාය
මාගේ ධර්මය එතෙර වීම පිණිස මිස කර තබාගෙන යෑම සඳහා නොවේ.
*
අත්‍ථදීපා විහරථ
තමන්ට තමන් ම ප්‍රදීපයක් කොට වසන්න
*
අත්ත සරණා
තමන්ට තමා ම සරණ කොට ගත යුතු ය
*
න අඤ්ඤ
සරණා අන් සරණක් නැත
ඛුද්දක නිකායේ තේවිජ්ජ සූත්‍රය තුළින් ඇසූ පමණින් කටයුතු කිරීම නින්දාවට ලක් කර ඇති
අතර, යෝනිසෝ මනසිකාරයෙන් එනම් එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීම අගය කොට ඇති අයුරු
පැහැදිලි වේ.
භක්ති මාර්ගයට වඩා ඥාන මාර්ගය බුදුසමය තුළ ඉතා ඉහළින් අගය කොට ඇති අතර, එය බෞද්ධ
පිළිවෙත වශයෙන් ද දක්වා ඇත. එහිදී සතර අගතියෙන් මිදීම අගය කොට ඇත. සුත්ත නිපාතයේ
සභිය සුත්‍රයට අනුව සභිය පරිබ්‍රාජකයාගේ ප්‍රකාශය වන්නේ, ‘අච්චරියං වත භෝ යං වතාහං
අඤ්ඥේසු සමණ බ්‍රාහ්මනේසු ඕකාස මත්තම්පි නාලත්ථං තං මේ ඉදං සමණේන ගෝතමේන ඕකාස කම්මං
කතං
අන් ශාස්තෘන් හමුවෙහි ප්‍රශ්න ඇසීම, ඊට එරෙහිවීම කළ නොහැකි බවත්, නමුදු
බුදුහිමිගෙන් ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට අවකාශය ලබා දී ඇති බවත් ය.
“නචින්ත යන්තො පුරිසො විසේස මධි ගච්ඡති” සිතන්නේ නැති, විමසන්නේ නැති පුද්ගලයා
දියුණු නොවන බව ඉන් පැහැදිලි වේ.
පඤ්ඤා වන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස
ධර්මය ප්‍රඥාවන්තයින්ට මිස අනුවණයින්ට නොවේ.
ඒ අනුව බුදු සමය තුළ සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික ආදී වශයෙන් වගකීම සනාථ කර ඇත.
දි:නි: මහා පරිනිබ්බාන සූත්‍රයේ දී ප්‍රශ්නයක් ඇසීමේ දී, එයට විසඳුම් සෙවීමේ දී
අනුගමනය කරන පිළිවෙත දක්වා ඇත.
සමස්තයක් වශයෙන් බලන කල්හි ඉහතින් මතක් කරන ලද කරුණුවලට අනුව පුද්ගල ශක්තිය ඉතා
ශ්‍රේෂ්ඨ බව පැහැදිලි වේ. යා යුතු ඉහළ ම තැනට පුද්ගල චිත්ත සන්තානය යෙදවිය හැකි
බවත්, ඒ සඳහා උසස් මනසක් පුද්ගලයා සතු බවත්, බුදුහිමි දේශනා කළහ. එසේ හෙයින් සෑම
කෙනෙක් ම තම ජීවිතයේ වටිනාකම් තේරුම් ගෙන, ප්‍රඥාවට මුල් තැන දි ලෝකය හා සත්වයා දෙස
බැලීමටත්, ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීමටත්, විදර්ශනාව ප්‍රගුණ කරමින් නිවන් මඟ
පසක් කර ගැනීමටත් උත්සාහවත් විය යුතු ය. |