[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඔස්ට්‍රේලියාවේ බෝධිධම්ම විහාරයේ බෝධි රෝපණ පුණ්‍ය මහොත්සවය 09 වැනි දා

ඔස්ට්‍රේලියාවේ බෝධිධම්ම විහාරයේ බෝධි රෝපණ පුණ්‍ය මහොත්සවය 09 වැනි දා

ඔස්ට්‍රේලියාව අග්නිදිග ආසියාවේ නැඟෙනහිර ඉන්දියානු දූපත් මාලාවේ අවසාන කෙළවරින් ඔබ්බෙහි පිහිටි විශාල දිවයිනකි. 18 වැනි සියවසේ දී යුරෝපීයයන් පැමිණ පදිංචිවීමට වසර 40,000කට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත.

වර්ෂ 1606දී ඕස්ට්‍රේලියාව සොයා ගන්නා ලද්දේ ඕලන්ද දේශගවේෂකයන් විසිනි. වර්ෂ 1770 දී බ්‍රිතාන්‍ය කිරුළට අයත් කරගෙන 1788 දී ප්‍රථම බ්‍රිතාන්‍ය ජනාවාසය පිහිට වූ තැන් පටන් මෙය බ්‍රිතාන්‍ය ජාතීන්ගේ රටක් වශයෙන් පවත්වා ගැනීමට උත්සාහ ගනු ලැබිණ. ඒ අනුව ඕස්ට්‍රේලියාව ලෝකයේ අනෙක් කෙළවර පිහිටි බ්‍රිතාන්‍ය කෝරළයක් වශයෙන් පවත්වා ගෙන ගිය අතර වර්ෂ 1901 දී ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමෙන් පසුව ද මෙම ප්‍රතිපත්තිය එලෙසින් ම පවත්වා ගෙන ගියේ ය.

සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්ත්වය, ආයු අපේක්ෂාව අධ්‍යාපන, ආගමික, ආර්ථික සහ දේශපාලන නිදහස වැනි අංශවලින් ලොව ඉහළම තැනක පවතියි. බහු සංස්කෘතික ජනගහනය පිළිබිඹු කරන බොහෝ ආගමික විශ්වාසයන්ට ද නිවහනක් වී තිබේ. කතෝලික ආගමට අමතර ව වෙසිසීන් බුදුදහම, හින්දු, ඉස්ලාම්, සහ අනෙකුත් ආගම් ද එරට ජනතාව අතර බෙහෙවින් ප්‍රකට ව පවතියි.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නගරය එරට වේගයෙන් ජනගහනය වර්ධනය වන නගරයක් සේ ම ඉතිහාසය, සංස්කෘතිය සහ ස්වභාවධර්මය දක්ෂ ලෙස ඒකාබද්ධ කළ සිත් ඇදගන්නා භූමියක් ලෙස හැඳින්විය හැකි ය. මෙය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක් වන මෙල්බර්න් සිට කි.මී. 130ක් පමණ දුරකිනි. මෙම නගරයෙහි අක්කර 220ක විශාල භූමි භාගයක් බෞද්ධ කටයුතු වෙනුවෙන් වෙන්කර ඇත.

ඔස්ට්‍රේලියානු ජාතිකයකු වන ඉයන් ගී‍්‍රන් ස්වකීය ඤාති පිරිස සමඟ සැදැහැති බෞද්ධයන් බවට පත්වූයේ වර්ෂ 1970 දී ය. ඔවුන් ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායේ ලාමාවරුන්ගෙන් බුදුදහම දැන හැඳිනගෙන ඇත.

පූර්වෝක්ත බිම් කොටස බුදුදහම වෙනුවෙන් වෙන්කෙරුනේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. මෙම භූමි ප්‍රදේශය තුළ දකුණුූ අර්ධ ගෝලයේ විශාලම බෞද්ධ ස්තූපය ගොඩනැඟුණි. එසේ ම මැණික්ගලින් නිමවන ලද ලොව විශාලම බුදු පිළිමය ද මෙම ස්තූපයෙහි නිධන් කොට තිබේ.

මෙම බුදුපිළිමය රටවල් 38ක නගර 120ක ප්‍රදර්ශනය කර තිබේ. එය වර්ෂ 2012 දී ශ්‍රී ලංකාවේ ද ප්‍රදර්ශනය කෙරිණි. පසුව ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායානුකූල වත් පිළිවෙත් සිදු කිරීමට සැදැහැවත් ඉයන් ග්‍රීන් මැතිඳුන් ප්‍රමුඛ පිරිස ඕස්ට්‍රේලියාවේ පූර්වෝක්ත භූමි භාගයෙන් කොටසක් පරිත්‍යාග කළහ. එම භූමිය තුළ අභිනවයෙන් බෙන්ඩිගෝ බෝධිධම්ම විහාරය ආරම්භ කෙරිණි. එහි අනුරාධපුර විජය ශ්‍රී ජය ශී‍්‍ර මහා බෝධි ශාඛාවක් රෝපණය කිරීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කොට තිබේ. මෙම බෝධිධම්ම විහාරය භාර ව ක්‍රියා කරන “බෝධිධම්ම විහාර කමිටුව“ මඟින් ශ්‍රී මහා බෝධි ශාඛාවක් එහි වැඩම වූයේ ඉකුත් 2019 වසරේ දී ය. එය වසර ගණනාවක් ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම ආයතනය මඟින් රැක බලා ගත්තේ ය. දැන් එම බෝධීන් වහන්සේ විහාර පරිශ්‍රයේ රෝපණය කළ යුතු මට්ටමකට පැමිණ තිබේ.

මෙම කාර්යයට ඕස්ට්‍රේලියානු උද්භිද විද්‍යාඥයින්, ජෛව විද්‍යාඥයින් සහ ඉංජිනේරුවරුන්ගේ නොමද සහාය නිස්සරණාධ්‍යාශයෙන් ලැබී තිබේ. එමෙන් ම එම ස්ථානය ශී‍්‍ර ලාංකේය කලාශිල්පයන්ගෙන් සමලංකෘත කිරීමේ අභිප්‍රායක් ද පවතියි. බෙන්ඩිගෝ සේ ම මෙල්බර්න් ඇතුලු නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ පූර්ණ සහායෙන් බෝධි ධම්ම විහාර කමිටුවේ අධීක්ෂණයෙන් මෙම 09 වැනි දින මෙම බෝධිරෝපණ මහෝත්සවය මහත් උත්සවශ්‍රීයෙන් සිදු කෙරේ.

මෙම රාජ්‍ය තාන්ත්‍රික බෞද්ධ මහෝත්සවයට අනුරාධපුර අටමස්ථානාධිපති, නුවර කළාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමි ප්‍රමුඛ නාහිමිවරු ද ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ඇතුලු දූත පිරිසක් ද, ඕස්ට්‍රේලියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු ද වියට්නාම්, චීන, තායිලන්ත, ලාඕසය ඇතුළු රටවල බෞද්ධ දූත පිරිස් ද සහභාගි වෙති. තව ද ඕස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික ඇබෝරිජියන්වරු ද මේ සඳහා එක්වීම විශේෂිත ය.

බෝධිධම්ම විහාර කමිටුවේ සභාපති දීප්ත වික්‍රමරත්න මහතා ඇතුලු නිලධාරි මණ්ඩලය බෝධිරෝපණ පුණ්‍ය මහෝත්සවයේ සියලු කටයුතු සංවිධානය කරති.

වෙසක් අමාවක

ජුනි 05 බදාදා අ.භා. 07.59 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.13 ගෙවේ.
 06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]