[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වසර 2331 ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදා පුණ්‍ය මහොත්සවය

බුදුරදුන් පිරිනිවී වසර 218 කට පසු ධර්මාශෝක මහරජතුමා භාරතයේ අධිරාජයා බවට පත්වූයේ, නීග්‍රෝධ කුඩා රහතන් වහන්සේ මුල්කොට බෞද්ධයකු බවට පත් වූයේ, මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා ලබමින් අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකොට රටවල් නවයකට දූතයන් යවමින් සම්බුද්ධ ශාසනය පිහිටුවීමට කටයුතු සැලැස්වී ය.

සම්බුද්ධ ශාසනය අනාගතයේ පවත්නේ ශ්‍රී ලංකාද්වීපයේ බව දැනගත් ධර්මාශෝක මහරජතුමා ස්වකීය පුතණුවන් වන මිහිඳු කුමාරයා පැවිදි වී උපසම්පදාවට පත් ව වස් 12ක් සම්පූර්ණ වූයේ, රජතුමා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ද උපදෙස් ලබා ලක්දිව සම්බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා බු.ව. 237 දී මිහිඳු මාහිමියන් සමග ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේ හා සුමන සාමණේරයන් ද, භණ්ඩුක උපාසක ද ලක්දිව මිහින්තලයට වැඩම කර වූහ.

දේවානම්පියතිස්ස රජතුමන් ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණගත උපාසකයන් බවට පත්ව සැදැහැවතුන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහාවිහාර සීමාව තුළ ග්‍රාම සීමාවක් සම්මත කොට සුමන සාමණේරයන්ට පළමුකොට උපසම්පදාවත්, භණ්ඩුක උපාසකට පැවිදි උපසම්පදා දෙක ම ලබා දී අනතුරුව දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු අරිට්ඨ කුමරුන් ඇතුළු රාජකීයයන් 56 දෙනකු පැවිදි උපසම්පදා කොට ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවීය.

මේ අයුරින් සම්බුද්ධ ශාසනය පිහිට වූ මුල්ම විහාරය අනුරාධපුරයේ මහා විහාරය යි. මෙම විහාරය මුල්කොට ආරම්භ කළ උපසම්පදාව මහා විහාර උපසම්පදාවයි. ශීලයෙහි උපරිම ශීල යැයි කියන ලද අධිශීලයට පැමිණීම හෝ එය ලැබීම උපසම්පදාව නම් වේ. පැවිද්දට උපසම්පදාව අයත් වේ. පැවිද්ද නැතිවිට උපසම්පදාව ද නැත. උපසම්පදාවට ශාසනය අයත් වේ. උපසම්පදාව නැතිවිට ශාසනය ද නැත. බුදුරජාණන් වහන්සේගේ උපසම්පදාව බුද්ධත්වය සමඟ ම බෝධිමූලයේ සිදු වූයේ යැයි මිලින්ද ප්‍රශ්නයේ දැක්වේ. මෙහි උපසම්පදා ශීලය වශයෙන් සැලකෙන ශීලය නම් චතුපාරිශුද්ධි ශීලයයි. නවදහස් එකසිය අසූකෙළ පන්ලක්ෂ තිස් හයක් ශික්ෂායෙන් යුක්ත ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය පළමුවැනි වෙයි. ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය, ප්‍රත්‍යසන්නිශ්‍රිත ශීලය යන ශීල හතර අධි ශීල වෙයි. පංච ශීලය, අටසීලය, ආජීව අට්ඨමක ශීලය, සාමණේර ශීල යන හැමට ම වඩා මේ චතුර්විධ ශීලය අධිශීලයයි. මෙම අධි ශීලය ලැබීම උපසම්පදා ශීලයයි. දම්සක් පැවැතුම් සූත්‍රය අසා පළමුවරට සෝවාන් වූ කොණ්ඩඤ්ඤ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලැබීමට කැමති බව කියා සිටියි.

එවිට බුදුරජාණන් වහන්සේ “මහණ මෙහි එව මනා කොට දුක් කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙව” යන්නයි. එම වාක්‍යය අවසාන වෙත් ම හෙතෙම ඍද්ධිමය පාත්‍ර සිවුරු දරා පැවිද්ද හා උපසම්පදාව ලබයි. බුදු වූ මුල් කාලයෙහි බොහෝ දෙනා මහණකම හා උපසම්පදාව ලබා ඇත්තේ මේ ආකාරයෙනි. එතැන්පටන් උපසම්පදා වන ක්‍රම 8ක් මුල්කොට උපසම්පදාව ලබා ඇති අතර, 8 වැනි ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාව, රාධ බ්‍රාහ්මණයා මුල්කොට උපසම්පදා කිරීම අනුදැන වදාළෙන් පසුව එතැන් සිට සරණාගමන ආදී උපසම්පදා ප්‍රතික්ෂේප කොට ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාව නියම කිරීමෙන් පසු අද දක්වා ම පවත්නේ එම ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාවයි.

සම්බුද්ධ ශාසනය පිහිටුවීම යනු උපසම්පදාව පිහිටුවීම හෙයින් මිහිඳු මහ රහතන් වහන්සේ පළමු කොට ම මහාවිහාරයත් සමඟ ම පැවිදි උපසම්පදාව ශ්‍රී ලංකාද්වීපයේ පිහිටවූයේ මේ නිසා ම ය. එතැන් පටන් මහා විහාරය මෙන් ම ථූපාරාමයත් සීමාබන්ධනාදිය ද පිහිටුවමින් නන් දෙසින් පැමිණෙන පිරිස් පැවිදි උපසම්පදා කරවමින් වැඩිදියුණු කිරීමට පටන් ගති.

විදේශ ආක්‍රමණ හා සිංහල රාජ්‍යයේ අභ්‍යන්තර ගැටුම් නිසා නැවතත් රාජ්‍යයේත් සම්බුද්ධ ශාසනයේත් පරිහානිය දක්නට ලැබෙන අතර, පොළොන්නරු යුගය වන විට සොළී ආක්‍රමණය නිසා ම ලක්දිව සියලූම ජාතික, ආගමික, සංස්කෘතික හා ශබ්ද ශාස්ත්‍රත් අන්තපරිහානියට පත්වී උපසම්පදා විනය කර්මයට ප්‍රමාණවත් භික්ෂූන් පස්නමක් වත් සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවක මහලු විජයබා රජතුමා රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා උපසම්පදා විනය කර්මය සිදු කරවා ශාසනය වැඩිදියුණු කරන ලදී. මහා පරාක්‍රමබාහු මහ රජතුමා නිකායත්‍රය ම සමඟි කරවා කතිකාවතක් ද ඇති කොට දහස්ගණන් සාමණේරයන් උපසම්පදා කරවා නැවතත් මහා විහාර උපසම්පදාව තහවුරු කරවීය.

කාලිංගමාඝ චන්‍ද්‍රභානු ආක්‍රමණ නිසා අනුරාධපුර, පොළොන්නරුව ඇතුළු මුළු උතුරුකරය ම විනාශ වීම හේතු කොටගෙන රජවරු සහිත මහජනතාව කුරුණෑගල දඹදෙණියට පැන ගියහ. ලක්‍ෂ සංඛ්‍යාත මහජනතාව හා භික්‍ෂූන් වහන්සේ විනාශ වූ අතර, වම් දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ කොත්මලේ පුසුල්පිටිය විහාර ආසන්නයේ සපුගසක බෙනයක සඟවා බුරුමරටට පැනගොස් ජීවිත බේරා ගත්හ.

එම කාලයේ දී ම මෝගල්වරුන් නිසා මුළු භාරතයේ ම සම්බුද්ධ ශාසනය විනාශයට පත්විය. නැවත භාරත දේශයේ සම්බුද්ධ ශාසනය වැඩිදියුණු කිරීමට හැකිවූයේ ශ්‍රී ලංකාද්වීපයේ සිට අනගාරික ධර්මපාල තුමා භාරතදේශයට ගොස් බුද්ධගයා විහාරය, ඉසිපතනාරාම මූලගන්ධකුටි විහාරය ඇතුළු විහාරයන් ජීවිත පරිත්‍යාගයෙන් බේරා ගනිමින් මල්වතු විහාරය මුල්කොට පැවිදි උපසම්පදා ලබා ගෙන නැවතත් දඹදිව සම්බුද්ධ ශාසනය වැඩිදියණු කරන ලදි.

එනමුත් ලක්දිව අඛණ්ඩ ව සම්බුද්ධ ශාසනය පවත්වා ගෙන යාමට එවක වැඩ විසූ මහා සංඝ රත්නය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමින් සිංහල රජවරුන්ගේ අනුග්‍රහය ලබා ගෙන කටයුතු කළ නිසා ම උන්වහන්සේ සහ සම්බන්ධ කරගෙන දඹදෙණි නුවර දෙවැනි පැරකුම්බා රජතුමා ශාසනයේ චිරපැවැත්ම සඳහා කතිකාවතක් ද කරවා මහවැලි ගඟ දාස්තොට දී උපසම්පදා විනය කර්මයක් ද කරවීය.

යාපහුනුවර රජ පැමිණි පළමු බුවනෙකබා රජතුමා ද, කුරුණෑගල දෙවැනි බුවනෙකබා රජතුමා ද උපසම්පදා විනයකර්මයන් කරවූ හ. ගම්පල රාජ්‍ය කරවූ තුන්වැනි විජයබාහු රජතුමා රයිගම්පුර ආසන්නයේ විහාරාරාම කරවා ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනයකර්මයක් ද කළේ ය. ගම්පොල වීරබාහු රජතුමා 4 වැනි ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද, කෝට්ටේ 6 වැනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී වීදාගම මෛත්‍රීය හිමි, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ආදී භික්ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ දී ද, සෙංකඩගල විසූ වීරවික්‍රම රජතුමා බු.ව. 2085 දී හෙවත් රාජ්‍ය වර්ෂ 1542 දී රජගෙට දකුණු දෙසින් පාත්‍ර ධාතුන් වහන්සේ නිදන්කොට දාගැබැක් බැඳ දෙමහල් පෝය ගෙයක් සාදවා පෝයමළු විහාරය ඇතුළු නානා දිසාවන් හි විහාර 86 ක් කරවූ අතර, ගඩලාදෙණියේ රාජමහා විහාරාධිපති ව වැඩ විසූ ධර්මකීර්ති මාහිමියන් ප්‍රධාන කොටගෙන 355 ක් සාමණේරයන් උපසම්පදා කරවා නොයෙක් පින්කම් සිදු කළහ. ඉන් අනතුරුව පීතෘ ඝාතක සීතාවක රාජසිංහයන් භික්ෂූන් වහන්සේ සහිත වෙහෙර විහාරත්, ධර්ම පොත්පත් සියල්ල ම ගිනිබත් කොට සුවිශාල විනාශයක් කළේ ය. එමෙන් ම උපසම්පදා භික්ෂූන් වහන්සේ ද සම්පූර්ණයෙන් ම විනාශයට පත් කළ බව සඳහන් වේ.

රාජ්‍ය වර්ෂ 1592 දී පළමු වැනි විමලධර්මසූරිය රජතුමා දෙල්ගමුව රාජමහා විහාරයේ කුරහන්ගල යට සුරක්ෂිත ව තිබූ වාම ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩමවා දෙමහල් ප්‍රාසාදයක් කරවා එහි තැන්පත් කොට පුද පූජා පැවැත් වූ අතර, රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා ගැටඹේතොට උපසම්පදා කරවා, පෝයමළු විහාරයේ වඩා හිඳුවමින් තුන් මහල් දළදා මැඳුරක් ද සෑද වීය.

සෙනරත් රජු කල පරංගීන් පැමිණ දළදා මාලිගාව ද විනාශ කළ අතර, මැදමහනුවර ආදී නොයෙක් ස්ථානවල දළදා වහන්සේ සඟවා සුරක්ෂිත කර ගනිමින් නැවතත් දෙවැනි විමලධර්මසූරිය රජතුමා දළදා මාලිගාව තුන් මහල් සේ සාදවා දළදා වහන්සේ වඩා හිඳුවා රක්ඛංග දේශයෙන් උපසම්පදාව ගෙන්වා ගැටඹේතොට දී 33 නමක් උපසම්පදා කරවා පෝයමළු විහාරයෙහි වාසයට සැලැස්වූහ.

ඔහුගේ පුත් වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ තෙමේ ආගමික ශාසනික කටයුතු දියුණු කළේ ය. වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය දියුණු කරමින් සාරාර්ථ සංග්‍රහය, මහාබෝධි වංශය, භෛෂජ්‍ය මංජුසාව ද සකස් කිරීමට මහෝපකාරී විය.

අනතුරුව විජය රාජසිංහ රජ තෙමේ ශාසනික කටයුතු දියුණු කරමින් සරණංකර සාමණේරයන් වහන්සේට ආරාධනා කොට සතර බණවර සන්නය ද ලියවමින් ධර්ම ශාස්ත්‍රීය කටයුතු දියුණු කිරීමට උපකාරී වූ අතර, සම්බුද්ධ ශාසනය ආරක්ෂා වීමට නම්, උපසම්පදා භික්ෂූන් වහන්සේ සිටිය යුතු යැයි සරණංකර හිමියන්ගේ ද උපදෙස් අනුව උපසම්පදාව ගෙන ඒම සඳහා කෝට්ටේ යුගයේ දී ලංකාවෙන් ගෙන ගිය උපසම්පදාව සියම්දේශයේ සුරක්ෂිත ව තිබෙන හෙයින් සියම් දේශයට යවන ලද දූත පිරිස තෙවන වතාවට සියමට පැමිණ අයෝධ්‍යා පුරයෙහි පරමධාර්මික රජතුමාට පඬුරු සන්නස් සහිත ව පුද කළහ.

ඒ මොහොතේ කරුණු විචාළ රජ තෙම අපමණ සතුටට පත්ව සංඝරාජ මාහිමියන් සමඟ සාකච්ඡා කරනුයේ, ලංකා ශාසනාභිවෘද්ධි වර්ධනය ම ප්‍රාර්ථනය කළේය. ධර්ම විනයානුකූල ව ශාසන කෘත්‍යය සාධන සාමාර්ථය, අප්‍රමාණ ධෘති, ස්මෘති, වීර්ය සම්පන්න ප්‍රවර උපාලි මහා ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන වූ විනය කර්මාදියෙහි අති දක්ෂ 18 නමක් උපසම්පදා භික්ෂූන් වහන්සේ සහ 7නමක් සාමණේරයන් වහන්සේ ද ඇමතිවරු 3 ක් සමග ස්වර්ණමය, බුද්ධරූපයක් ද රන් පත්ඉරුවල ලියන ලද කර්මවාක්‍ය පොත ද, ප්‍රාතිමෝක්ෂය ද ලක්දිව අවිද්‍යාමාන ධර්මප්‍රකරණ ද, ශ්‍රී පාදස්ථානය ආදි ස්ථාන සඳහා පුදපඬුරු ද කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාට පඬුරු සහිත සන්දේශයක් රාජ්‍ය වර්ෂ 1753 දී සියම් නැවකින් සියම් පිරිස හා විල්බාගෙදර රාළ ත්‍රිකුණාමලයට ද සෙසු පිරිස ඕලන්ද නැවෙන් කොළඹට ද එවීය.

කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා අපමණ සතුටට පත්ව පළමු ව මහපෙරහරක් පෙරමඟට යවා ගොඩපල දී වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ ප්‍රධාන කොට ඇති මල්වතු අස්ගිරි උභය මහා විහාරයෙහි භික්ෂූන් හා මැති ඇමැතිවරු උන්වහන්සේ පිළිගෙන එහි නැවතී උපසම්පදා විනයකර්මය සඳහා අදාළ පෙරපුහුණු කටයුතු සිදු කෙරිණි.

ඉන් පසුව ගොඩපොල නුවරින් උන්නාන්සේ වැඩමවා ගෙන ඇවිත් අලූත් ගංතොටින් මෙගොඩ වන අවස්ථාවට මහත් වූ රාජානුභාවයෙන් ඇමති සේනා පිරිවරා ඒ අලූත්ගංතොට කරන ලද පර්ණ ශාලාවට කීර්ති ශ්‍රී රාජසිංහ මහා රාජෝත්මයාණෝ වැඩමවා සක්විති රුවනක් සම්භ වුනාක් මෙන් හේ සඟරුවන් කෙරෙහි මහත් වු ගෞරව උපදවා ගත්හ. දැක වැඳ සුවදුක් විචාරීමෙන් පිළිසඳර කථාකොට නිමවා අපමණ රාජෝත්සවයෙන් ඒ වැඩිය උපාලි මහා ස්ථවිරාදි වූ උපසම්පන්න සෑම දෙනා වහන්සේ ම යානාවලින් ම මල්වත්තේ විහාරයට වැඩමවා ගෙන ඇවිත් ලැගුªම්ගෙවල් පිළිගන්වා වදාළා”

යනුවෙන් සංඝරාජ සාධූ චරියාවෙහි හා ස්‍යාමොපසම්පදා වතෙහි සඳහන් ය. එපරිදි කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා අපමණ සතුටට පත් වූයේ තමාගේ මල්වත්ත භික්ෂූන් වහන්සේ උදෙසා පූජා කරමින් භික්ෂූන් වහන්සේ උදෙසා ලැගුම්ගෙවල් ද සාදවා උන්වහන්සේට මල්වතු විහාරයෙහි පෝයමළු විහාරයෙහි වැඩ විසීමට සැලැස්වීය.

රා.ව. 1753 ජූලි 15 දින ඇසළ පුර පුන් පොහෝ දා මල්වත්තෙහි පිහිටුවා තිබූ රාජකීය ශාලාව පොහොය සීමාවක් බවට පත්කොට උපාලි මහා ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන විංශත් වර්ගික භික්ෂූන් වහන්සේ එකී පෝය සීමාවට වැඩමවා කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් ප්‍රධාන ඇමති මණ්ඩලය සහිත සැදැහවතුන් මධ්‍යයේ පෝයමළු විහාරයෙහි නායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ සාමණේරයන් පළමු කොට ද ඒ සමඟ ම වැලිවිට, හුලංගමුවේ ,බඹරදෙණියේ, තිබ්බටුවාවේ යන සාමණේරයන් වහන්සේ පස් නම හා අස්ගිරි විහාරයේ නායක පදවිය දැරූ නාවින්නේ සාමණේරයන් ද උපසම්පදා කොට වර්තමාන සම්බුද්ධ ශාසනයේ ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කළහ. නැවතත් සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිටුවීම නිසාම ශ්‍රී ලංකා ධරණිතලය ම අපමණ සතුටු වීම මල්වතු මහා විහාරය මුල්කොට සිදු වූ බව මෙහිදී අපමණ සතුටින් සිහිපත් කළ යුතු ය.

උපසම්පදාව පිහිටුවීමට පොහොය සීමාවක් අත්‍යවශ්‍ය වූ හෙයින් එදා මිහිඳු මා හිමියන් දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහය ලබා ගෙන පොහොය සීමාවක් සම්මත කළහ. එමෙන් ම උපාලි මාහිමියන් ද කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමාගේ අනුග්‍රහය ලබා ගෙන සම්මත කරන ලද මල්වතු මහා විහාරයීය උපෝෂථාගාරයෙහි අද දක්වා ම වසර 271ක් මුළුල්ලෙහි මහා විහාරවංශික ස්‍යාමනිකායික භික්ෂූන් වහන්සේගේ උපසම්පදාව සිදු කරමින් භික්ෂූන් වහන්සේ සහිත රාජාරාජ මහාමාත්‍යාදි සැදැහැවතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර ව පවතී.

මේ අයුරින් ආරම්භ වූ උපසම්පදාව ආරක්ෂා කර ගැනීම සම්බුද්ධ ශාසනයේ ද ආරක්ෂා වන අතර, එය ඔබ අප සැමගේ ම පරම යුතුකමක් වන්නේ ය.

වෙසක් අමාවක

ජුනි 05 බදාදා අ.භා. 07.59 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.13 ගෙවේ.
 06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]