[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සවනක් රශ්මි මාලාවෙන් වර්ණවත් වූ වන්දනීය පූජනීය බෞද්ධ කොඩියේ උපත

සවනක් රශ්මි මාලාවෙන් වර්ණවත් වූ වන්දනීය පූජනීය බෞද්ධ කොඩියේ උපත

ශ්‍රී ලංකාද්වීපය නම් ධර්මද්වීපය බ්‍රිතාන්‍යයට යටත් ව පැවති යුගයේ බෞද්ධ ජනතාවට විවිධ හිරිහැරවලට මුහුණ පෑමට සිදු විය. ආගම ඇදහීමටවත් නිදහසක් නො තිබුණි. පෙරහරක් පැවැත්වීමට ද තහනම් විය. මෙවැනි අවස්ථාවක ඉදිරිපත් වූ බෞද්ධ ජන නායකයින් බෞද්ධාරක්ෂක කමිටුවක් පිහිටුවා ගත්හ.

මෙම කමිටුවේ නිලධාරින් ලෙස හෙන්රි ඕල්කට්තුමාගේ උපදෙස් මත සභාපතිධූරය ධර්ම ගුණවර්ධන මුහන්දිරම් මහතා ද, උප සභාපති, භාණ්ඩාගාරික ,ලේකම් යන තනතුරු සඳහා දොන් කරෝලිස් , එච්.ඒ. ප්‍රනාන්දු හා සී.පී. ගුණවර්ධන යන මහත්වරු ඇතුළු කාරක සභාවක් පත් කර ගත්හ.

මෙම කමිටුවේ යෝජනා වාර්තාගත කොට සන්දේශ මඟින් ඕල්කට්තුමා විසින් එංගලන්තයේ යටත්විජිත භාර මහ ලේකම්වරයාට ඉදිරිපත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ අප භුක්ති විඳින නිදහස ලබා ගැනීමට හැකි වී තිබේ.

අතීතයේ ශ්‍රී ලංකාව පාලනය කළ රජවරු පෝය දිනය රජයේ නිවාඩු දිනයක් කළ බවත්, එදින සියලු වෙළඳසැල් වසා තිබිය යුතු බවත්, ආගමික කටයුතුවල නිරත විය යුතු බවත්, මෙම නීතිය කඩ කළ අයට දඬුවම් කළ බවත් තුන්වන උදය රජුගේ බදුලු ශිලා ලිපියේ සඳහන් වේ.

බෞද්ධයින්ගේ පෝය දින නිවාඩුව 1770 නොවැම්බර් 01 වෙනි දින අහෝසි කොට ඉරුදින නිවාඩුව නීතිගත කළේ ය. වෙසක් පෝය ඇතුළු සියලු පෝය දිනවල සිංහල බෞද්ධයා උසාවිවල, රජයේ කාර්යාලවල වැඩ කිරීමට සිදු විය. ඕල්කට්තුමාගේ එංගලන්ත ගමනේ ප්‍රතිඵලයක් ලෙස 1885 මාර්තු 27 වැනි දින ශ්‍රී ලංකා ආණ්ඩුවේ ගැසට් පත්‍රියකින් වෙසක් පෝය රජයේ නිවාඩු දිනයක් බව ප්‍රසිද්ධියට පත් කරන ලදී. ඉන්පසු බෞද්ධ පෙරහර පැවැත්වීමේ නිදහස ද ලැබුණි.

1885 අපේ‍්‍රල් 28 වැනි දින වෙසක් උත්සවය උත්සවාකාරයෙන් පැවැත්වීමට තීරණය කළේ බෞද්ධාරක්ෂක කමිටුව යි. නමුත් වෙසක් උත්සවයේ දී ප්‍රදර්ශනය කිරීමට කොඩියක් නො තිබුණි.

බෞද්ධ කොඩියක අවශ්‍යතාවතදින් ම දැනුණු බෞද්ධාරක්ෂක කමිටුවේ සාමාජිකයෝ විවිධ සැලසුම් ඉදිරිපත් කළ ද සී.පී. ගුණවර්ධන ශූරීන් විසින් ඉදිරිපත් කළ ෂඩ්වර්ණ බෞද්ධ රශ්මිය දැක්වෙන කොඩියේ සැලසුම වඩා සුදුසු යැයි එහි සාමාජිකයන්ගේ අදහස විය.

ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සංකේතවත් කරන සලකුණ ලෙස උන්වහන්සේට ගෞරවයක් ලෙස ද බුදු රැස්හි තිබෙන වර්ණ 06 දිස්වන කොඩියක් එසවීමට සම්මත කළේ ය.

බෞද්ධ කොඩියේ විස්තරය ප්‍රථමයෙන් ජනතාව අතරට ගෙන ගියේ 1985 අපේ‍්‍රල් මස 17 වැනි දින නිකුත් වූ “සඳරැස” පත්‍රය මඟිනි. “බෞද්ධයින් විසින් ඔසවන්නට ව්‍යවස්ථා කරගෙන තිබෙන කොඩියක්” යන ශීර්ෂ පාඨය යටතේ එම පුවත්පතේ පළවිය.

බෝසතාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව හතරවැනි සතිය ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට වයඹ දිගින් පිහිටි රත්නසාර නමැති විහාරයේ වැඩ වසමින් පට්ඨාන ධර්මය මෙනෙහි කරමින් සිටින විට සිය ශරීරයෙන් සවනක් රශ්මි මාලාවක් නික්මුණි. ෂඩ්රත්නයෙන් නීල (නිල්) රශ්මිය ද, ඡවි (සම) ආදි ස්ථානවලින්, පීත (කහ) රශ්මිය ද, මස් ලේ ආදියෙන් ලෝහිත (රතු) රශ්මිය ද , අස්ථි හා දත්වලින් ඕදාත රශ්මිය ද, අත් පතුල් හා තොල්වලින් මංජෙෂ්ඨ (තැඹිලි) රශ්මිය ද මේ සියලු වර්ණ එක්ව ප්‍රභාෂ්වර රශ්මිය ද නිකුත් වූ බව බෞද්ධ සාහිත්‍ය තුළ සඳහන් වේ.

බුදුරදුන්ගේ ශරීරයෙන් සවනක් රැස් විහිදුවේ ඍද්ධි බලයෙන් නොව පට්ඨාන ධර්මය මෙනෙහි කිරීමෙන් ලේ හා හෘදය ප්‍රසන්න වීමෙන් බව බුද්ධිමතුන්ගේ අදහස වේ. ඕල්කට්තුමාගේ මතය වූයේ සම්මත ජාතික කොඩියේ ප්‍රමාණයට හා හැඩයට ගැලපෙන පරිදි බෞද්ධ කොඩිය ද සකස් විය යුතු බවයි. එම අදහසට අනුව 1886 දී ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය සකස් කළේ ය.

බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා ලෙස ගෞරවය හිමි වූයේ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාට වුව ද, එය තමාගේ නිර්මාණයක් නොවන බව එතුමා පවසා ඇත. ඒ අනුව බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා බෞද්ධාරක්ෂක කමිටුවේ සිටිය සී.පී. ගුණවර්ධන මැතිතුමා බව පිළිගැනීමට සිදු විය.

මෙම ධර්මද්වීපයේ ප්‍රථම වරට බෞද්ධ කොඩිය ඔසවන ලද්දේ 1885 අපේ‍්‍රල් 28 වන දිනට යෙදුනු වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ දී ය. මෙදින මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොටහේන දීපදුත්තාරාමයේ දී ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන් විහාරයේ දී ද, කැලණිය විහාරස්ථානය ඇතුළු ලංකාව පුරා තිබූ විහාරස්ථානවල ද, සියලු බෞද්ධයින් සිය නිවෙස්වල ද, බෞද්ධ ආයතනවල ද බෞද්ධ ධජය එසවීය.

දෙස් විදෙස්වල බුදුදහම ප්‍රචාරය කළ අනගාරික ධර්මපාලතුමා සේ ම ඕල්කට්තුමා වැනි ජාතික වීරයෝ බෞද්ධ කොඩිය ද විවිධ රටවල ව්‍යාප්ත කිරීමට පියවර ගත්හ. මුලින්ම ජපානයේ හා බුරුමයේ රාජ්‍ය නායකයින් මුණගැසී සාකච්ඡා කොට බෞද්ධයින් සංකේතවත් කිරීමට ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය භාවිත කරන මෙන් ඉල්ලා සිටියහ. ඒ රටවල පාලකයින් එම ඉල්ලීම පිළිගත්හ. මේ ආකාරයට තවත් බොහෝ රටවල බෞද්ධ කොඩිය ව්‍යාප්ත විය.

1950 මැයි 28 දින රටවල් 25ක නියෝජිතයන් 148 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මහනුවර පැවති ලෝක බෞද්ධ සම්මේලනයේ දී මහාචාර්ය ජී.වී. මලලසේකර මහතාගේ ඉල්ලීමක් පරිදි අපේ රටේ බෞද්ධ කොඩිය ලෝකයේ ම බෞද්ධ කොඩිය බවට පිළිගන්නා ලෙසයි. ඒ සඳහා සියලු දෙනාගේ කැමැත්ත ලැබුණි. 1951 වසරේ සිට ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය ලෙව සියලු ම බෞද්ධ ජනතාවගේ ආගමික කොඩිය බවට පත්විය.

වෙසක් අමාවක

ජුනි 05 බදාදා අ.භා. 07.59 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.13 ගෙවේ.
 06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]