දීපය ම එකලු කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
ෂඩ් අභිඥාලාභී චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන නො දන්නා
ලාංකිකයෙක් නැතැයි සිතමි. උන්වහන්සේ හෙළ ඉතිහාසයේ ස්වර්ණ ස්ථම්භය යි. තථාගත ගෞතම
ශ්‍රී ශාක්‍ය මුනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරසපුත්‍රයන් වහන්සේ ය. සිංහල
බෞද්ධයාගේ අනුබුදුරජාණන් වහන්සේ ය.
අප ශාස්තෘන් වහන්සේගේ සුවාසු දහසක් වූ ධර්මස්කන්ධය. අඩුවක් නො කොට වැඩියක් නො කොට,
තමන් කැමැති ලෙස වෙනස් නො කොට තථාගත වචනයෙන් ම අපට දායාද කළේ අපගේ මිහිඳු මහ රහතන්
වහන්සේ ය. ධර්මාශෝක රජුන්ගේ පුත්‍රයා වූ ශාක්‍ය වංශයේ ම කුමරෙක් අපට ධර්ම දායාදය
දුන් බව අසිරියක් ම නොවේද?
ශාක්‍ය වංශයේ චින්තාමාණික්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් පසුව තවත්
රාජප්‍රාප්තිය පිණිස උපන් කුමාරයෙක් සිංහලයා වෙනුවෙන් අරහත් ධජය දැරූ අසිරිය
සිතාගන්නට බැරිය. මුළුමහත් දඹදිවක් හිමි ඔටුන්න හිමි කුමාරයෙක් පැවිදි බවට පත්වීම
ගැන මුළුමහත් දඹදිව ම පුදුමයට පත්කරන්නට ඇති බව සැක නැත.
තුන්ලෝකයට නැඟුණු මහා ප්‍රදීපය වූ දසබලධාරීන් වහන්සේ නමැති දිනකරයාණන් වහන්සේ
පිරිනිවන් පෑ සේක. වසර 236කට පසුව මහත්වූ අසිරියක් මුළුමහත් සක්වල පුරා පැතිර ගියේ
ය. දෙවියෝ ද, බඹුන් ද, සාධුකාර දෙන්නට විය. බුද්ධ ශාසනයේ අසිරිමත් දහම් පණිවිඩය ගෙන
නිකෙලෙස් හදමඬලක් ඇති ඒ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා ගල මතට වැඩිය සේක.
ගස් ගල් වඳිමින්, මිසදිටු දෙවියන්, යක්ෂයින් අදහමින් සිටි සිංහල ජනයාගේ රජු වූ
දේවානම්පියතිස්ස මහා පින් ඇති නිරිඳුන් ඒ පොසොන් පෝ දිනයේ දඩයමේ යමින් සිටියේ ය.
අවිහිංසාවාදයේ ප්‍රතිමූර්තිය වූ තථාගතයන් වහන්සේගේ දහම් හසුණ අසන්නට ලැබුණි. රජු
කඳුළු පෙරමින් ස්වකීය මිතුරු මහා අධිරාජයාගේ පුත්‍රයන් වහන්සේගේ පාමුල වැටිණි.
සාධුකාර හඬ මුළුමහත් අනුරාපුරය පුරා රැව් නැඟිණි.
උතුම් තිසරණ සරණ ගිය රජු ඇතුළු සිංහලයෝ දොහොත් මුදුන් දී පංචශීලයේ පිහිටියහ. ඒ
අරහත් ධජය දඹදිවින් ලක්දිවට දායාද විය. සකල ක්ලේෂයෝ නමැති වනයට මුළුමනින් ම ගිනි
තැබූ නුවණැති සිංහලයෝ අරහත්භාවය ද, පිළියෙළ මාර්ගඵලයෝ ද, සාක්ෂාත් කළාහ. හෙළදීපය
කසාවන් මල් පෙති තැබුවාක් මෙන් දෙවියන්ට දිස්විය. රහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය
මුළු මහත් සිංහල දීපය පුරා ම සුව සේ වැඩ සිටියහ. මිහිඳු මහතෙරුන් වහන්සේ ධර්මයත්,
විනයත් දීප තෙරුන් වහන්සේට කටපාඩම් කරවා මහපොළොව ද සසල කරවා බුද්ධ ශාසනය ස්ථාපිත
කරවාලූහ.
මුළුමහත් රාජ්‍ය පාලන තන්ත්‍රය ම වෙනස් විය.දේවානම්පියතිස්ස රජුගේ මහත් වූ ශ්‍රද්ධා
මහිමයෙන් හා අපගේ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ කරුණාවෙන් අපට ඒ බුද්ධ රාජයාණන්
වහන්සේගේ ධාතූන් වහන්සේ ලැබිණි.
සංඝමිත්තා තෙරණිය වැඩමවා කාන්තාවන්ට ද ඒ කසාවත ලබා දෙන්නට කටයුතු කෙරිණි. විහාරාරම
ඉදිවිණි. සිළුමිණ සෑයේ වැඩ සිටි දකුණු අකු ධාතූන් වහන්සේ මෙහි වැඩමවා ථූපරාම සෑ
බැඳිණි. රට පුරා යොදුනෙන් යොදුන සෑ රදුන් බැදිණි. අසිරිමත් ශ්‍රී මහා බෝධින්
වහන්සේගේ දක්ෂිණ ශාඛාව මැනවින් අනුරපුරයේ පිහිටවිණි.
ඒ වගේම අපගේ මිහිඳු මාහිමියන් අප බුද්ධ රාජයාණන් වහන්සේගේ ලංකාගමනය ගැන විස්තර කළහ.
රජු ඇතුළු සිංහලයෝ කඳුළු වගුරුවමින් තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේ ගැන මහත් සේ
ශ්‍රද්ධාවෙන් බලවත් වූවාහ. එපමණක් ද? මේ භද්‍ර කල්පයේ පහළවූ කකුසඳ බුද්ධ රාජයාණන්
වහන්සේ, කෝණාගම බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ, කාශ්‍යප දීපදුත්තමයාණන් වහන්සේ මෙහි
වැඩි බව කියා ඒ සියලු බුදුරජාණන් වහන්සේ ඵල සමාපත්තියෙන් වැඩ සිටි තැන් පෙන්වූවාහ.
තිස්දෙහැවිරිදි වියේ වූ මේ තරුණ රහතන් වහන්සේ වසර හතළිස්අටක්ම වාසය කළේ මේ
සිංහලයාගේ දිවයිනේ ය. ස්වකීය රට වූ දඹදිවට ගොස් සුව සේ වාසය කරන්නට සිතුවේ නැත. තම
පියාණන්, මවුන් සමීපයේ ඉන්නට සිතුවේ නැත. ඒ තබා තමන්ගේ ශාස්තෘන් වහන්සේ ගේ ජාත
භූමියට යන්නට සිතුවේ ද නැත. අප වෙනුවෙන් ම උන්වහන්සේ මෙහි වැඩ සිටිමින් බොහෝ සිංහල
ජනයාගේ යහපතට මඟ සැලසූහ.
සියලු සිංහලයෝ පමණක් නොව සියලු ලාංකිකයෝ ම උන්වහන්සේට ණයගැති ය. මේ තරම්
ශික්ෂාකාමී, සුන්දර රටක් බිහිකරවූයේ මාගේ අනුබුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ මගේ
බුද්ධරාජයාණන් වහන්සේගේ ශාසනය මෙහි බබළවනු පිණිස සියලු කටයුතු කර අවසන් කළ සේක.
මිහින්තලා ගිරි හිස එදා පටන් නැඟෙන සෑම පුන් සඳක් ම සොඳුරුව හිනැහෙන්නේ ය. මේ ගෞතම
බුද්ධ රාජයාණන් වහන්සේගේ ශාසනය පිහිටි සුන්දර දිවයින යැයි කියන්නා සේ ය.
ඒ සුන්දර වූ මිස්සක පව්ව මා සිත නැඟෙයි. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම ධර්මරාජයාණන්
වහන්සේගේ පා පහසින් පූජනීය වූ අසිරිමත් මිහින්තලය ගැන සුන්දර වූ ඉතිහාසය සිංහලයා දත
යුතු ම ය.
කකුසඳ බුදුන් දවස ඕජදීපය නමින් හැඳින්වුණු මේ දිවයිනේ ප්‍රධාන නගරය වූයේ ‘අභයපුරය’.
ඒ අභය නම් නිරිඳුන් රජ කරන සමයේ දී පුණ්ණකාල, රාක්ෂයා නිසා හටගත් ‘පජ්ජරක’ නම්
වසංගත රෝගය සංසිඳුවන්නටත්, දහම් දායාදය දෙන්නටත් තුන්ලොවට තිලකයක් වූ කකුසඳ
බුදුරජාණන් වහන්සේ සතළිස් දහසක් පමණ වූ රහතන් වහන්සේ සමඟ මෙහි වැඩියාහ.
එකල මේ මිහින්තලය “දෙව්කුළු’ නාමයෙන් හඳුන්වා තිබිණි. ඒ බුද්ධ ශාසනය මේ ඕජදීපයේ
බැබැළිනි. අරහත් ධජයෙන් සැරසිණි. බොහෝ ඕජදීප වැසියෝ සුගති සම්පත් සාධනය කර ගනු
ලැබිණි. කාලය ගෙවිණි. කකුසඳ බුද්ධ ශාසනය ඕජදීපයෙන් පමණක් නොව මුළුමහත් සක්වලින් ම
අතුරුදහන් විය. මේ දීපයේ නම වෙනස් විය.
‘වරදීපය’ නමින් හඳුන්වන කාලයේ කෝණාගමන නම් බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ පහළවිය. මෙකල
වරදීපයේ මිනිසුන්ට මහත් වූ දුර්භික්ෂ පීඩාවක් වූවේ ය. ‘සමන්කුළු’ නමින් හැඳින්වුණු
මිහින්තලා ගල මතට තිස්දහසක් පමණ රහතන් වහන්සේ පිරිවරා කෝණාගමන බුද්ධ රාජයාණන් සැපත්
විය. වරදීපයේ අරහත් ධජ බැබළිණි. බුද්ධ ශාසනය තහවුරු විය.
තවත් බොහෝ කලකට පසු දේවාතිදේව, බ්‍රහ්මාතිබ්‍රහ්ම, කෝණාගම, බුද්ධ ශාසනය වරදීපයෙන්
පමණක් නොව සකළ ලෝක අතරින් ම මැකී අතුරුදහන් විය.
තවත් බොහෝ කාලයකට පසුව මේ දීපය ‘මණ්ඩදීපය’ නම් විය. එකල දඹදිව කංචන වර්ණ ඇති,
බ්‍රහ්මස්වර ඇති කාශ්‍යප බුද්ධ රාජයාණන් වහන්සේ පහළ විය. ජයන්ත නම් රජ කෙනෙක් රට
පාලනය කළේ ය.රාජ්‍ය සඳහා මහත් වූ සංග්‍රාමයක් පිණිස සැකසෙමින් තිබිණි. යුද්ධයේ දී
තම පිරිසට ජය ලබා ගන්නට දෙවියන් යදින්නට ‘සුභකූට පර්වතය’ නමින් හැඳින්වුණු මේ
පර්වතය වෙත මහත් වූ පිරිස රැස්වූහ. ඒ මහා කාරුණික කාශ්‍යප බුද්ධ රාජයාණන් වහන්සේ මේ
වෙන්නට යන විපත වළකමි’යි සිතා විසිදහසක් රහතන් වහන්සේ සමඟ මෙහි පැමිණියාහ. මණ්ඩදීප
වැසියෝ තිසරණ සරණ ගියහ. කසාවතින් දසත බැබළිණ. කාශ්‍යප බුද්ධ ශාසනය මැනවින් පිහිටියේ
ය.
කාශ්‍යප බුද්ධ ශාසනයත් මිහිමතින් අතුරුදහන් වී ගියේ ය. මිනිස් වාසය ද සම්පූර්ණයෙන්
ම තුරන් විය. තවත් බොහෝ කල් ගෙවිණි. මේ දිවයින යක්ෂයන්ගේ වාසයට නතු විය. ගෞතම
බුද්ධරාජයාණන් වහන්සේ දඹදිව පහළ වී සිටියාහ. එදා යක්ෂයින්ගේ මහා යුද්ධය වළකා මේ
දේශය මතු සිංහලයා වෙනුවෙන් සුරකින්නට මහියංගනයට වැඩි අප බුදුරජාණන් වහන්සේ නැවත
දෙවැනිවරට නාගදීපයට ද වැඩියා හ.
තවද තෙවැනි ව බුද්ධත්වයෙන් අටවසරක් ගිය තැන මේ දිවයිනට වැඩ මිහින්තලාවේ සේල චෛත්‍ය
පිහිටි ස්ථානයේ සමාපත්ති සුවයෙන් වැඩ සිටියාහ.
ඒ මාගේ අසිරිමත් ශාස්තෘන් වහන්සේගේ බුද්ධ ශාසනය රකින්නට පහළ වූ ජාතිය සිංහල යෝ ය. ඒ
අපගේ යුතුකම මේ බුදුසසුන බැබළවීම ය. ඒ සඳහා යුද කිරීමට හෝ එකිනෙකාගේ අඩුපාඩු කියවා
ගනිමින් එකිනෙකා විනාශ කර ගැනීමෙන් හෝ කරන්නට නොහැකි ය. මැනවින් තිසරණයේ පිහිටා,
සමාදන් වූ සිල්පද මැනවින් රැක ගෙන සතර අපායෙන් සදහට මිදෙන්නට අප්‍රමාදි විය යුතු ම
ය.
අනුබුදු මාහිමියන් මේ සිරිලක් දිවයිනට වැඩම කර අපට ශාසන දායාදය දුන් බව අමතක නොකළ
යුතු ය. ඒ බුදුසසුන බබළවන්නට උත්සාහ කළ යුතු ය. එය ශ්‍රාවකයාගේ යුතුකම ද වන්නේ ය. |