[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

අපවත්වී වදාළ සිතුල්පව්ව නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන්

ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මඟුල් මහාවිහාරය ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති, ගාල්ල හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක , උපාධ්‍යාය ධුරන්ධර, ශ්‍රී සද්ධර්මභාරතීශ්වරාචාර්ය, සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීශ්වර රතනසාර, අග්ගමහාපණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ දෙසැම්බර් මස පළමු වන දින කොළඹ දී අපවත් වී වදාළහ. අපවත් වන විට අසූතුන් වැනි වියේ පසු වූ නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව දෙසැම්බර් මස 05 වැනි දා යටගල රාජමහා විහාරස්ථ ආදාහන මළුවේ දී සිදු කෙරුණි. අපවත් වී වදාළ නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය දෙසැම්බර් 02 වන දින පෙරවරුවේ රථ පෙරහරකින් යටගල රාජමහා විහාරය දක්වා රැගෙන ගිය අතර 03 වැනි දා සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය වෙත රැගෙන ගොස් අවසන් ගෞරව දක්වා නැවතත් 04 වන දින යටගල රාජමහා විහාරය වෙත රැගෙන එන ලදී. මඟ දෙපස රැස්ව සිටි ජනතාව නාහිමිපාණන් වහන්සේ වෙත අවසන් ගෞරව දැක්වූහ. මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද කරුණාව දැක් වූ වියත් මහ තෙර නමක වශයෙන් ප්‍රකටව සිටි සිතුල්පව්වේ නාහිමිපාණන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම පිණිස රටේ සතර දිග් භාගයෙන් මහා සංඝරත්නය, සහ ගිහි සැදැහැවත්හු වැළ නො කැඩී පැමිණියහ. දෙසැම්බර් 04 වන දින පෙරවරුවේ සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ දී මතකවස්ත්‍ර පූජාවක් පවත්වන ලද අතර, 05 වන දින සන්ධ්‍යාවේ යටගල රාජමහා විහාරස්ථානයේ දී අවසන්, ආගමික වතාවත් සිදු කරන ලදි. මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ ආගමික වතාවත් සිදු කළ අතර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි, අමරපුර ධර්මරක්ෂිත මහානිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙහිදී අනුශාසනා සිදු කළහ.


උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 26 අඟහරුවාදා පූ.භා. 05.48 න් පුර පසළොස්වක ලබා 27 බදාදා පූ.භා. 06.05 න් ගෙවේ.
26 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]