[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දෙගුරුන් විසින් තම දරුවන්ට දියයුතු නොමද ධන නම්

දෙගුරුන් විසින් තම දරුවන්ට දියයුතු නොමද ධන නම්

අධ්‍යාපනයේ පරමාර්ථය විය යුත්තේ රටට සමාජයට සුවඳ හමන මිනිසකු බිහිකර ගැනීමයි. එය දරුවා කුඩා කල පටන්ම සිදු කර ගත යුත්තකි. මෙහිදී ආරයටත් වඩා වැදගත් වන්නේ පරිසරයයි. දරුවාට ආදර්ශවත් ගුණගරුක වටාපිටාවක් සකස් නොකොට ඔවුන්ගෙන් සභාමැද බබළන වියතුන් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු සෙවීමක් වැනි ය.

මේ ගුණවත් බවින් යුතු උගත්කම බුදුදහම හඳුන්වන්නේ ‘අත්ථකුසලතාව’ යන නමිනි. කරණීයමෙත්ත සූත්‍රයේ මෙම අත්ථකුසලතාව සඳහා කාරණා 15 ක් පෙන්වා දෙයි.

සැබෑ දක්ෂයා

සක්කෝ - සක්කෝ යනු දක්ෂබවයි. දක්ෂබව නම් හුදු පොතේ දැනුම පමණක් නොවේ. කළ පුරුද්ද, පළපුරුද්ද හා වැඩ කිරීමෙන් සතුටු වන බවයි. දරුවා පාප මිත්‍රයින්ගේ වට්ටෝරුව කියයි. එමෙන්ම කල්‍යාණ මිත්‍රයින්ගේ විස්තර, ගතිලක්ෂණ ද පැහැදිලි කරයි. එහෙත් ඔහුට සමාජයේ දී; ඇසුරට ගතයුතු මිතුරා හඳුනාගත නොහැකි වේ නම් ඔහුගේ දක්ෂබවක් කොයින්ද?

මෙහිදී දෙමාපියන්ට විශාල වගකීමක් පැවරෙයි. මුලින්ම ඔබ දක්ෂයෙක් වන්න. හරි දේ නිවැරැදි ව, අනලස් ව කරන්න. එවිට ඔබේ දරුවාට මඟ නොවරදිනු ඇත. ඔහු කටුකොහොල් හඳුනාගනු ඇත. ඒවා මඟහැර; හැකි නම් ඉවත් කර තම ගමන යනු ඇත.

කරන දේ කියන්න කියන දේ කරන්න

උජූ - උජු යනු ඍජුබවයි. එනම් අවංක බවයි. කරන දේ කියනා බවයි. කියන දේ කරනා බවයි. මෙම ගුණය හැඳීන්වෙන්නේ ‘යථාවාදී තථාකාරී -යථාකාරී තථාවාදී’ ගුණය ලෙසිනි. මෙය අද සමාජයට අත්‍යවශ්‍ය ගුණයකි.

ජීවිතයේ මිහිර විඳින්න

සූජූ - සූජූ යනු මනසෙහි අවංක බවයි. වර්තමානයේ කොතරම් අනුන්ගෙන් කඩාවඩා ගැනීමට මානබලන අය සිටිත් ද ? අනුන්ගෙන් කන්න, අනුන්ගෙන් බොන්න, අනුන්ගෙන් බස්එකේ ටිකට් එක කඩාගන්න අය කොතරම්ද? මේ අයුරින් අනුන්ට වංචා කර; අනුන් රවටා ඔබ උපයන දෑ රැගෙන යන්නේ කොහිද? එම නිසා හැමවිට ම ඔබ උපයන දෑ ධාර්මිකව උපයන්න. ධාර්මිකව උපයා ගත් දෑ වියදම් කරන්න. ඒ තුළින් ඔබ ලබන ජීවිතයේ මිහිර කොතරම් ද?

අනුන්ට කන් දෙන්න

සුවචෝ - සුවච යනු සමාජයට කන් දෙන බවයි. එසේ නොවන බව දුබ්බච නම් වේ. අන්අය පවසන තමාගේ අඩුපාඩුකම් වේ නම් ඒවා නිවැරැදි කර ගන්නා බව මින් අදහස් වේ. අප නොදැනුවත්වම, පුරුද්දට, අන් අය කරන නිසා අප අතින් වැරැදි සිදුවීමට පුළුවන. ඒවා පෙන්වා දෙන්නන් තමාට නිධානයක් පෙන්වා දෙන්නන් ලෙසින් සැලකිය යුතු බව බුද්ධ දේශනාවයි. ‘නිධීනංව පවත්තාරං’ ලෙසින් එය දැක්වෙයි.

දුබලතාවට ගරහන්න එපා

මුදු - මුදු යනු මොළොක් බවයි. අප සමාජයේ ජීවත් වන විට අනෙකාගේ දුබලතා පමණක් නොව ප්‍රබලතා ද අපට පෙනිය යුතු ය. ප්‍රබලතා ඇගයීම අත්‍යවශ්‍ය වෙයි. දුබලතා දැක ගැරහීම නොව අනුකම්පා කළ යුතු ය. මැදහත් සිත් ඇතිකරගත යුතු ය. කළ හැකි උදව්වක් වේ නම් ඉදිරිපත්ව එය කළ යුතු ය. එසේ නොමැතිව දැඩිබව, සංවේදනා නැත්තකු සේ කටයුතු කිරීම නුසුදුසු ය.

ඇතුළත හිස් නම් ...

අනතිමානී - අතිමානය නොමැති බවයි. මානය හිසෙහි පුරවා ගත්තෝ හිස් බට වැනි ය. අපේ දහමේ ‘උන්නල’ යන වචනය ඔවුන් සඳහා යෙදී ඇත. ඉහළට ඔසවා ගත් ‘මානනළ’ ඇත්තෝ යනු එහි අදහසයි. එනම් දුරට පෙනෙන බවයි. එනමුත් අභ්‍යන්තරය හිස් ය. ඇතුළත හිස් වූ ‘මෝල්ගස්’ ගිලින ලද පිඹුරන් වැනි හුලංබටවලින් කවර නම් වියත්සභා ද?

ඇති දෙයින් සතුටු වෙමු

සන්තුස්සකෝ - තමාට ඇති දෙයින් සතුටු වන බව මින් අදහස් වේ. ‘අත්‍ථිසුඛය’ යන වචනයෙන් ද මෙය හැඳීන්වේ. ඇතැමුන්ට කොතරම් තිබුණත් මදි ය. මොන දේ දුන්නත් සතුටු කළ නොහැක. කිසිදා තෘප්තිමත් නොවන ‘මෝයකටක්’ වැනි මොවුහු හැමදාම, හැමවෙලේ ම අතෘප්තිකර ව සීමිත සම්පත් අසීමිතව පරිහරණය කරති.

අවශ්‍යතාව ළඟ නතර වෙන්න

සුභරෝ - පහසුවෙන් පෝෂණය කළ හැකි බව මින් අදහස් වේ. එනම් අල්පේච්ඡ බවයි. අවශ්‍යතාව ළඟ නතර වීමයි. තමාගේ උවමනාවන් සම්පූර්ණ වේ නම් ඉන් එහා වෙහෙස වීමක් මෙහිදී අපේක්ෂා නොකෙරේ. අනවශ්‍ය ආශාවන් පසුපස හඹා නොයන බවයි. ආහාරය බඩගින්නේ ප්‍රමාණයට ය. ඇඳුම් සිරුරේ ප්‍රමාණයට ය. අනෙකා දෙස බලමින් වෙහෙසට පත්වනවාට වඩා තමා කවුදැයි යන්න මැනවින් වටහා ගෙන තම අවශ්‍යතා අනන්‍ය කර ගැනීම කොතරම් බුද්ධිමත් ද?

බාලයාගේ අදහස ...

අප්පකිච්චෝ - වැඩ අඩුවිය යුතු බවයි. අත්ථකුසලතාව සොයන්නා අනවශ්‍ය ලෙස වැඩ පටලවා ගන්නෙක් නොවේ. බොහෝ දෙනාට ඇති ලෙඩක් නම්; හැමදේම තම මූලිකත්වයෙන් සිදුවිය යුතු බවයි. තම නම හැමතැනම කියවිය යුතු බවයි. ‘මමේව කතමඤ්ඤන්තු’ බුදුරදුන් පෙන්වා දෙන්නේ මෙය බාලයාගේ මෝඩ අදහසක් බවයි. මේ තුළ ඔහුගේ තෘෂ්ණාව සහ මානය ම වැඩේ.

සැහැල්ලු පැවතුම ආභරණයක්

සල්ලහුකවුත්ති - සැහැල්ලු පැවතුම් ඇති බවයි. ඔබේ ජීවිතය සැහැල්ලු විය යුතු ය. සංකීර්ණ නොවිය යුතු ය. ගැටලු අඩුවිය යුතු ය. අවශ්‍යතා අඩුවිය යුතු ය . ඕනෑම පරිසර තත්වයක් තුළ පහසුවෙන් ජීවිතය පවත්වා ගෙන යාහැකි විය යුතු ය. පවත්නා සම්පත්වලින් උපරිම ඵලප්‍රයෝජන නෙළා ගන්නෙක් විය යුතු ය.

ඉඳුරන් අසංවර වුණොත් ...

සන්තින්ද්‍රියෝ - සංයත ඉඳුරන් ඇති බවයි. කට තිබූ පමණින් වාචාල දොඩවන්නෙක් නොවේ. ඇස තිබුණාට අනවශ්‍ය දෑ බලන්නෙක් නොවේ. මේ අයුරින් ඔහුගේ මුළු ජීවිතය ම පාලනයකින් යුතුව සමාජයේ හැසිරෙයි. සරලව ගතහොත් ඔහුගෙන් මේ සමාජයට කිසිදු හිංසාවක් පීඩාවක් සිදුවන්නේ නොවේ.

උගත්කම ප්‍රඥාවෙන් සම්පූර්ණ කර ගන්න

නිපකෝ - නිපක නම් ප්‍රඥාවයි. උගත්කම සම්පූර්ණ වීමට ප්‍රඥාව අත්‍යවශ්‍ය වෙයි. ප්‍රඥාවෙන් තොර උගත්කම මෝඩයකු බිහිකරයි. අන්තවාදීන් ඇතිකරයි.

කපටි වෙන්න එපා

අප්පගබ්භෝ - මින් අදහස් වන්නේ කපටි නොවන බවයි. සටකපට බවත් සමඟම ආත්මාර්ථකාමී බව මතුවෙයි. මේ හේතුවෙන් ප්‍රගල්භ වූවෝ ‘ආඳන්’ මෙන් ඒ ඒ තැනින් ලිස්සා යමින් තම පැවැත්ම ම තහවුරු කර ගනිති. සමාජයේ බොහෝ දෙනෙක් පීඩාවට ද පත් කරති.

අගතියට ගියොත් ...

කුලේසු අනනුගිද්ධෝ - යම් යම් පුද්ගලයින්ට; තම හිතවත්කම්, ඥාතිකම්, ජාති - ආගම් භේද සලකා ආදානග්‍රාහීව කටයුතු නොකිරීම මින් අදහස් වේ. ඡන්දයෙන් අගතියට යාම තුළ සමාජ ප්‍රගමණය අඩාල වෙයි. දක්ෂයින්ට ම සුදුස්සාට ම සුදුසු තැන දිය යුතු ය. ‘දෙයක් වේ නම් යම් - සුදුස්සාටම අයිති විය යුතු’. එසේ නැතහොත් සමාජ දේහයම කඩා වැටේ.

අනුන්ගෙන් දොස් නො අසන්න

නච ඛුද්දං සමාචරේ කිඤ්චි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං - මින් අදහස් වන්නේ සමාජයේ නුවණැත්තන්ගෙන් දොස් ඇසීමට සිදුවන දේ නොකළ යුතු බවයි. සමාජයක ජීවත් වන විට දොස් නොඅසා කිසිවකුට ජීවත් විය නොහැක. නමුත් සමාජයේ නූගත්, නොවැදගත් මිනිසුන්ගෙන් දොස් ඇසීම හා උගත් වැදගත් මිනිසුන්ගෙන් දොස් ඇසීම අතර විශාල පරතරයත් පවතී.

මේ අයුරින් කරණීයමෙත්ත සූත්‍රයේ අත්ථකුසලතාවට අදාළව දැක්වෙන මෙම කරුණු ඔබේ උගත්කම සැබෑ වූ උගත්කමක් බවට පත් කරයි. වියතුන්ගේ සභා මැද ඉදිරියෙන් ඔබව හිඳුවන සැබෑ උගත්කම වන්නේ මෙම කුසලතා පිරි උගත්කමයි.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]