[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර පසළොස්වක පෝ දා 2023-11-26

සරු නිසරු දෙය හඳුනාගන්න

සිත තුළ විටින් විට මතුවන දුබලතා, වැරැදි දේ සිතන්නට, වැරැදි දේ කියන්නට, වැරැදි දේ කරන්නට අප පොළඹවයි. වැරැදි දෙය නිවැරැදි ලෙස දකින්නටත්, නිවැරැදි දෙය වැරැදි ලෙස දකින්නටත් යොමු කරවයි. දුබලතා වැඩි වැඩියෙන් ඉස්මතු වන්නේ යම් තරමකට හෝ දියුණු නොකළ සිතෙහි ය.

අපගේ ශාස්තෘන් වහන්සේ, තථාගත බුදුපියාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙස් ධර්මයන් නිසා අපිරිසුදුවන, දුර්වල වන අපගේ සිත පිරිසුදු කොට, ශක්තිමත් කොට මේ ජීවිතයත්, මරණින් මතු ජීවිතයත් භාග්‍ය සම්පන්න කර දෙන්නට ය. එහෙත් බෞද්ධයන් ලෙස අති බහුතරයකට ඒ තත්ත්වයට සිත සකසා ගන්නට නොහැකිවීම ම බුදුමඟ නිවැරැදි ව හඳුනා නොගැනීමේ, ග්‍රහණය කර නොගැනීමේ අභාග්‍යය පසක් කරයි. නිමාවක් නොපෙනෙන අනර්ථ උපදවන මිනිස් ක්‍රියාකාරකම් ඒ සඳහා උදාහරණ සපයයි.

බෞද්ධයාට තම සිත සකසා ගන්නට මාහැඟි අත්පොතක් ඇත. ඒ ධම්මපදයයි. අත්පොත යන්නෙන් අර්ථ ගන්වා ඇත්තේ නිරන්තරයෙන් සමීපයෙහි තබාගෙන පරිශීලනය කළ යුතු බව ය. දුර්වල සිත් ශක්තිමත් කරන්නට, වැරැදි අඩුපාඩු සකසා ගන්නට, ජීවිතයේ මායාව තේරුම් ගෙන මුළාවේ නොවැටෙන්නට එහිලා අන්තර්ගත සදූපදේශයන්හි වටිනාකම ප්‍රමාණ කළ නොහැකි ය. එහෙත් ගැටලුවකට ඇත්තේ ඒ උතුම් ධර්ම පුස්තකය පරිශීලනය කරන බෞද්ධයින්ගේ ප්‍රමාණය පිළිබඳ ය.

අසාරෙ සාරමතිනො - සාරෙ චාසාර දස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගොචරා

ධම්ම පදයේ යමක වග්ගයේ සඳහන් මේ ගාථා ධර්මය ම වුව ද බෞද්ධයාගේ ජීවිතයට මොනතරම් වටිනා උපදේශයක් ලබා දෙනවා ද? නිසරු දෙය සරු ය, සරු දෙය නිසරු ය යන වැරැදි අදහස් ගොදුරු කොට ඇති පුද්ගලයා සරු දෙය නොලබන බව එහි වාච්‍යාර්ථයයි.

පැරදෙනවාට, වරදින්නට අකැමැති වුව ද බොහෝ දෙනා පරදින්නේත්, වරදවා ගන්නේත් සරු නිසරු දෙය හරියාකාරව තේරුම් ගන්නට නොහැකිවීම නිසා ය. ජීවිතය ගොඩගත නෙහැකි තරමට කරදරවල පැටලෙන බොහෝ දෙනකු ඒ දුක්ඛිත බව උරුම කරගෙන ඇත්තේ සරු දෙය නිසරු ලෙසත් නිසරු දෙය සරු ලෙසත් දැකීමේ මිථ්‍යාව නිසා ය.

අනුන් නසමි, වනසමි යන හැඟීම් ඇත්තෝ, අනුන් වෙහෙසමි, පෙළමි යන නපුරු හැඟීම් ඇත්තෝ වැරැදි අදහස් විෂයය කොට ඇත්තෝ ය. සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුළින් ඇරඹී මහා සමාජයේ විවිධ කණ්ඩායම් දක්වා ම මෙවැනි පුද්ගලයෝ වෙති.

අද අම්මා තාත්තා පෙළන දරුවන් ඇත. දරුවන් පෙළන මව්පියවරු ද ඇත. තැනෙක ශිෂ්‍යයින් විසින් ගුරුවරු පෙළනු ලබති. තවත් තැනෙක ගුරුවරු විසින් ශිෂ්‍යයන් පෙළනු ලබති. අසල්වැසියෝ අසල්වැසියන් පෙළති. බොහෝ රැකියා ආයතනයන්හි සේවක සේවිකාවන් අතර තත්ත්වය ද මෙපරිදි ය. රට රටවල් අතර මහා යුද ගැටුම් දක්වා වර්ධනය වන්නේ මිනිස් සිතේ වන පෙර කී දුර්වලතා සක්‍රීය වීම නිසා වන අභාග්‍ය සම්පන්න ක්‍රියාකාරකම් ය.

අසුරු සැණෙකින් වුව මරණයෙන් කෙළවර වන මේ ජීවිතයේ නිස්සාරත්වය තේරුම් ගෙන යථාර්ථය දැන, සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යන මෙත් සිතින් කටයුතු කරන්නට හැකි නම්, යහපත් අදහස් ම වේ නම් මේ ජීවිතයටත්, පරලොවටත් සරු දෙයක් ම ලද හැකි ය.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]