[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිරිගුණාලංකාර බුදුබල පහන් පිළිවෙතින් මිහින්තලා පුදබිමේ පින්කම් මාලාවක්

සිරිගුණාලංකාර බුදුබල පහන් පිළිවෙතින් මිහින්තලා පුදබිමේ පින්කම් මාලාවක්

මාතර කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාමාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ අතිපූජ්‍ය කපුදූව සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේගේ 110 වෙනි ජන්ම දිනය හා උන්වහන්සේ විසින් ආරම්භ කළසිරිගුණාලංකාර බුදුබල පහන් පිළිවෙතට වසර 64 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන පින්කම් මාලාව මෙවර ඵෙතිහාසික මිහින්තලේ රාජමහා විහාර පුදබිමේ දී පසුගිය ඔක්තෝබර් 7 සහ 8 යන දෙදින තුළ පැවැත්විණි.

බෞද්ධ පංචශීල ප්‍රතිපදාවට හුරු කරමින් අදෘෂ්‍යමාන බලවේග ඔස්සේ මනුෂ්‍ය ජීවිතවලට එල්ලවන කරදර බාධක දුක් පීඩා දුරුකොට නිරෝගීව යහපත් ජීවිත ගත කිරීම උදෙසා යොමු කරන මෙම බුදුබල පහන් පිළිවෙත අතිපූජ්‍ය කපුදූව සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේ විසින් 1959 සැප්තැම්බර් මස 20 වෙනි දින ආරම්භ කරන ලදි.

උන්වහන්සේ හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ විහාරාධිපති ව එහි විහාරාරාංග සම්පූර්ණ කර වැඩවාසය කරන අතරේ දී දිනපතා සෙත්පිරිත් සජ්ඣායනය කරමින් පංචශීල ප්‍රතිපදාව ප්‍රගුණ කිරීමෙන් ලද ආධ්‍යාත්මික ශක්තිය ඔස්සේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට මෙම ප්‍රතිපත්තිය කියා දෙමින් ඒ අනුව ජීවිත හුරුකරවා ඔවුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කර එම පවුල් වෙත යහපත උදාකර ඇත.

නිතිපතා බුදු දහමත්, පංචශීල ප්‍රතිපත්තියත් අව්‍යාජව හා ප්‍රතිපත්ති ගරුකව අනුගමනය කිරීමෙන් මනසේ ගොඩනැඟෙන නිවැරැදි තිරසාර ආධ්‍යාත්මික ශක්තිය තුළ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි බව දැඩිව විශ්වාස කළ සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේ, ඒ අනුව ජීවිත හැඩගස්වා ගනිමින් ධාර්මිකව දෛනික කටයුතු සිදුකිරීම තුළ පවුලේත්, සමාජයේත් යහපත උදා කර ගත හැකි බව පසක් කරමින් මෙම සෙත් පහන් පිළිවෙත දිවයින පුරා ව්‍යාප්ත කිරීමට දැඩි වෙහෙසක් ගත්හ. මේ වන විට දිවයින පුරා සැබැවින්ම පන්සිල් රකින, ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් මෙම පහන් පිළිවෙතට සම්බන්ධ වී ජීවිත ආලෝකවත් කර ගෙන සිටිති.

සිරිගුණාලංකාර පිළිවෙත් සුරැකීමේ සංවිධානයේ රජරට බුදුබල පහන් මධ්‍යස්ථානයේ චන්ද්‍රපාල සෙනරත් මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම පින්කම් මාලාවේ දී සහභාගි වූ පිරිස තිසරණය සහිත අටසිල් සාමාදන් වූ අතර, ධර්ම දේශනා, සාංඝික දාන පිරිනැමීම, සේල චෛත්‍යට සහ මිහින්තලා මහා සෑයට කංචුක පැළඳවීම, මල් පහන්, අෂ්ඨපාන, ගිලන්පස, බෙහෙත් කෂාය, චතුමධුර, දැහැත්, සුවද දුම්, සිවුරු පිරිකර පූජා කිරීම, රාත්‍රී පිරිත් දේශනාව පැවැත්වීම සහ පසුදින කිරි ආහාර සහිත ගිලන්පස බුද්ධ පුජාවන් පැවත්වීම ද සිදු කෙරිණි.

එසේම මිහින්තලා රාජමහා විහාරස්ථානයේ පවත්වා ගෙන යනු ලබන ශ්‍රී රතනසාර දහම් පාසලේ දරු දැරියන් සියලු දෙනා වෙත රුපියල් ලක්‍ෂ හතරකට වැඩි වටිනාකමක් ඇති පාසල් අභ්‍යාස පොත්, පෑන් පැන්සල් ද, එහි ගුරු භවතුන් වෙත ත්‍යාග සහ ලිපිද්‍රව්‍ය පිරිනැමීම ද මෙම පින්කමේ දී සිදු කෙරිණි.

මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම පින්කම් මාලවේ ආගමික වතාවත් මිහින්තලා රාජමහා විහාරවාසී සුරුක්කුලමේ ඉන්දරතන හිමි, වලවාහැංගුණවැවේ ජෝතිරතන හිමි, ඇල්පිටිය කුරුදුගහ ශ්‍රී බුද්ධගයා විහාරාධිපති ශාස්ත්‍රපති නින්දානේ සමිත හිමි, දොම්පේ චංකමනාරාම තපෝවනාරාමාධිපති වාරියපොල ජනානන්ද හිමි යන ස්වාමින් වහන්සේ විසින් සිදුකරන ලදහ.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]