[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහ සඟ රුවනට ගුණ සපිරි දාන වේලක්

මහ සඟ රුවනට ගුණ සපිරි දාන වේලක්

අපගේ ගරුතර බුද්ධ පුත්‍රයන් වහන්සේ ආරක්ෂා කර ගන්නට දායක දායිකාවන්ගෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුවිය යුතු වනවා. උන්වහන්සේට දානය සැකසීමේ දී වඩාත් සෞඛ්‍යවත් ව හා ආරක්ෂිත ව දානය පිළියෙළ කිරීම ඉතාම වැදගත්. එය පින් පිරෙන උතුම් පින්කමක් ද වනවා.

සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරාගෙන දානය සකස් කිරීමට මාහැඟි මඟ පෙන්වීමක් මීට වසර කිහිපයකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය හා බෝ නොවන රෝග ඒකකය විසින් ඉදිරිපත් කළ “පූජනීය භික්ෂු මහා සංඝරත්නය සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක්” යන මැයෙන් කළ ප්‍රකාශනයේ ඇතුළත් වෙනවා. කාලීන අවශ්‍යතාව සලකා සෑම පුර පසළොස්වක පෝදාකම බුදුසරණ කලාපයේ එය කොටස් වශයෙන් පළ කෙරෙනවා.

අධික මේදය සිරුරට හානිකරයි

ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් සාර්ථක ව ඉටුකර ගැනීමටත්, නීරෝගී බව ආරක්ෂා කර ගැනීමටත්, ආහාරයේ යම් මේද ප්‍රමාණයක් අඩංගු විය යුතු ය. වැඩිපුර මේද භාවිතය මඟින් අධිබර තත්ත්වය, හෘද රෝග, අංශභාගය හා පිළිකා වැනි බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ යයි.

මේදය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. එනම් හෘදයට හිතකර නොවන කොලෙස්ටරෝල් ඉහළ නැංවීමේ ප්‍රවණතාව අති සංතෘප්ත මේදය ලෙසත්, හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාව අඩු කරන හිතකර මේදය අඩංගු අසංතෘප්ත මේදය ලෙසත් ය.

සංතෘප්ත මේදය අඩංගු ආහාර ලෙස යොදය සහිත කිරි හා කිරි ආහාර, පොල්, පොල් කිරි, පොල් තෙල් සහ ෆාම් තෙල් එකතු කරන ලද ආහාර සැලකිය හැකි අතර මෙම ආහාර සීමා සහිතව ආහාරයට එකතු කර ගැනීම සුදුසු වේ.

අසංතෘප්ත මේදය අඩංගු කජු, රට කජු, තල, අලිගැටපේර වැනි ආහාර දානය සඳහා භාවිත කළ හැකි අතර, එවැනි ආහාර අනුභවයට ස්වාමීන් වහන්සේ උනන්දුවීම තුළින් බෝ නොවන රෝග වළකා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මාළුවල ද ඇත්තේ සිරුරට හිතකර මේද (ඔමේගා 03) විශේෂයක් වන අතර මස්වල ඇත්තේ ශරීරයට හිතකර නොවන සංතෘප්ත මේදය වේ. එය හෘද රෝග හා පිළිකා වැළඳීමේ අවදානම වැඩි කරයි.

තෙල් යොදා පිසූ ආහාර පිළිගැනීම සීමා කිරීම සුදුසු ය.

ගැඹුරු තෙලේ බදින ලද ආහාර ඉඳහිට පිළිගැනීම සුදුසු ය.

තෙම්පරාදු කරන ලද ආහාර ගණන සීමා කිරීම සුදුසු ය. (එක් වේලකට එකක් හෝ දෙකක්)

කේක් වර්ග, විවිධ ප්‍රේස්ට්‍රි වර්ග, බිස්කට් වැනි ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ දී භාවිත කරන තෙල් අධික උෂ්ණත්වයට ලක්වීමෙන් අහිතකර මේද ගණයට වැටෙන ට්‍රාන්ස් මේදය බවට පත්විය හැකි බැවින්, මෙම ආහාර හෘද රෝග හා පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි. එබැවින් මෙවැනි ආහාර නිතර දානය සඳහා පිළිගැනීම සුදුසු නැත.

චතුමධුර පිළියෙළ කිරීමේ දී සංතෘප්ත මේදය අඩංගු ගිතෙල් හා බටර් භාවිත කරන බැවින් එය නිතර අනුභවයට ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකි ය.

ලුණු භාවිතයත් සීමා කරන්න ඕනෑ

දිනපතා භාවිත වන ආහාරවල ස්වභාවික ව අඩංගු ලුණු (සෝඩියම්) ශරීරයේ සියලු අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ය. ලුණු අඩුවෙන් පරිභෝජනය මඟින් අධි රුධිර පීඩනය, පිළිකා ඇතුළු බෝ නොවන රෝග සඳහා ඇති අවදානම අඩු කර ගත හැකි ය. එක් භික්ෂූන් වහන්සේ නමක් දිනකට ආහාරයට ගත යුතු ලුණු ප්‍රමාණය ග්‍රෑම් පහකට (දළ වශයෙන් තේ හැන්දකට) වඩා අඩු විය යුතු ය.

පැණි රස කෑම අඩුවෙන් ගන්න

භික්ෂූන් වහන්සේට පිරිනැමෙන දානයෙහි සීනි අධික ආහාර බහුල වශයෙන් අඩංගු ය. අතුරුපස ලෙස ලබා දෙන රසකැවිලි, දොදොල්, කොණ්ඩ කැවුම්, අතිරස, මුං අලුවා, ආස්මි, නාරං කැවුම් ආදී සියලුම ද්‍රව්‍යවල සීනි හෝ පැණි බහුලව අඩංගු ය.

තේ හා කෝපිවලට එකතු කරන ලද සීනි, මුදවපු කිරි සමඟ භාවිත වන කිතුල් හෝ පොල් පැණි ද, අයිස්ක්‍රීම්, වටලප්පන්, පුඩිම් හා කේක් වර්ග සීනි යෙදූ පලතුරු යුෂ හා පලතුරු සලාද, කෘත්‍රිම බීම වර්ග හා විවිධ පාන වර්ග ද සීනි භාවිතය ඉහළ දමයි. පිරිත් සජ්ඣායනාවල දී භාවිත වන ‘චතු මධුර’ තුළ ද උක් හකුරු, මී පැණි වැනි සීනි අධික ද්‍රව්‍ය අඩංගු වී ඇත. අධික සීනි භාවිතය මඟින් අධිබර හා තරබාරු තත්ත්ව මෙන්ම දියවැඩියාව, කිරීටක හෘද රෝග හා සමහර පිළිකා වර්ග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ යයි.

එබැවින් සීනි යෙදූ ආහාර පිළිගැනීම සීමා කළ යුතු වේ.

එම ආහාර වැළඳීමේ දී කුඩා ප්‍රමාණයක් වැළඳීම සුදුසු ය.

සීනි අධික අතුරුපස වෙනුවට පලතුරු, තල නිෂ්පාදන, කජු, රට කජු හා ධාන්‍යමය වෙනත් ආහාර (මුං ඇට, කඩල හා බඩඉරිඟු පිටිවලින් සාදා ගත් ආහාර) සෞඛ්‍යවත් අතුරුපස ලෙස පිළිගැනීම සුදුසු ය.

ගිලන්පස පිළිගැන්වීමේ දී සීනි නොයොදා පිළියෙළ කිරීම සුදුසු අතර ස්වාමීන් වහන්සේගේ අවශ්‍යතාව මත පමණක් තේ, කෝපි සහ අනෙකුත් පානයන්ට සීනි එකතු කිරීම සුදුසු ය.

සුදු සීනි වෙනුවට කිතුල්, පොල් හෝ උක් හකුරු ස්වල්පයක් පිළිගැනීම සුදුසු ය.

ස්වභාවික රසකාරකවලට මුල්තැන දෙමු

ආහාර රස ගැන්වීම සඳහා යොදා ගන්නා කුළුබඩුවල රසයට අමතරව, ශරීරයේ නීරෝගී බව ආරක්ෂා කරන විවිධ ප්‍රතිඔක්සිකාරක හා සෞඛ්‍ය ප්‍රවර්ධනයට උපකාරී වන විවිධ රසායනික සංඝටක අඩංගුව ඇත. එමඟින් රුධිර ගත සීනි හා කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරන අතර පිළිකා සෑදීමට ඇති අවදානම පහත හෙලයි.

දානය පිළියෙළ කිරීමේ දී, අධික තෙල් හා ලුණු යොදා ආහාර රසකර ගැනීම වෙනුවට ඒ සඳහා විවිධ කුළුබඩු හා ස්වභාවික රසකාරක (කුªරුඳු, කරාබු නැටි, ඉඟුරු, සාදික්කා, වසාවාසී, සුදුලූනු, ගම්මිරිස්, උළුහාල්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, අබ, කහ, මිරිස්, දෙහි, තක්කාලි, සියඹලා හා ගොරකා, රම්පේ, කරපිංචා යනාදිය) පදමට යොදා ගැනීමෙන් ආහාරවලට ස්වභාවික රසය ලබා ගැනීමට හැකි වේ.

කෘත්‍රිම රස කාරක හා සුප් කැට, කෘත්‍රිම වර්ණක, සුවඳ කාරක හා සෝස් වර්ග දානය පිළියෙල කිරීම සඳහා සුදුසු නොවේ.

රසායනික ද්‍රව්‍ය යොදා කල් තබා ගන්නා ලද ආහාර දානය සඳහා පිළිගැනීම ශරීර සෞඛ්‍යයට හිතකර නොවේ. උදා - චට්නි, සෝස්, ජෑම් හා ටින් කරන ලද ආහාර.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]