[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පරාජිත සිතට සමුදෙන්නධෛර්යවත් සිතින් නැඟී සිටින්න

පරාජිත සිතට සමුදෙන්නධෛර්යවත් සිතින් නැඟී සිටින්න

ඉලක්කයක්, අරමුණක් නැතිව යන ගමන අයාලේ යන ගවයකුට සමාන ය. පාසල් අධ්‍යාපනය ලබන කාලය ජීවිතයේ වටිනාම කාලයයි. ඔබගේ අනාගතය තීරණය කරන කාලයයි. ඉගෙනුම ලබන ඕනෑම දරුවකුට හෙට දවස ගැන ශක්තිමත් වූත්, අර්ථවත් වූත්, යහපත් බලාපොරොත්තුවක් තිබිය යුතු ය. එය මුදුන් පමුණුවා ගන්නට නම් හොඳ ඉගෙනුමක් තිබිය යුතු ය.

උදාවී ඇත්තේ මේ වසරේ අවසන් කාල සීමාවයි. දුවේ පුතේ ගෙවුණු වසරේ ඉගෙනීමේ කටයුතුවල අතපසුවීම් වන්නට ඇති. දුර්වලකම් අඩුපාඩු තිබෙන්නට ඇති. එළඹෙන වසරට ඔබ මුහුණ දියයුතු වන්නේ අඩුපාඩු දුර්වලකම් නිසා පරාජිත වූ සිතින් නොවේ. ඒ මතින් නැඟී සිටීමේ ශක්තිමත් ධෛර්යවත් සිතිනි.

ඊයේ දිනයේ සිදු වූ දුර්වලතා, අතපසුවීම්, වැරැදි හඳුනාගන්න. ඒවා සකසා නොගෙන සාර්ථක ඉදිරියක් ගැන සිතීමට නොහැකි ය.

බුදුරජාණන් වහන්සේ කැඩපතක් උපමා කර ගනිමින් රාහුල හිමියන්ට දුන් උපදේශය සිහිපත් කරන්න.

“රාහුල, කැඩපතින් ඇති ප්‍රයෝජනය කුමක්ද?

බුදුරදහු රාහුල හිමියන්ගෙන් විමසූහ.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මුහුණ බලා ගැනීමට ය. ලප කැළැල්, කුණු දූවිලි අඩුපාඩු තිබේ දැයි දැක ගැනීමට ය.”

රාහුල හිමියෝ පිළිතුරු දුන්හ.

එවිට බුදුරදුන් දේශනා කළේ කැඩපතින් මුහුණ බලා අඩුපාඩු, ලප කැළැල් හඳුනා ගන්නා සේ, ඒවාට ප්‍රතිකර්ම කරන්නා සේ ජීවිතයේ ඇති අඩුපාඩු තමන් කළ කී දේ හා කරන කියන දේවල දුර්වලකම් වැරැදි හඳුනා ගන්නා ලෙස ය.

අකුසල් බැහැර කර කුසල් වඩන්නට, නොහැකියාවන් හැකියාවන් දක්වා වර්ධනය කර ගන්නට, නිපුණතා, ශක්‍යතා හඳුනා ගන්නට, ඒවා වැඩි දියුණු කරන්නට අවධානය යොමු කරන ලෙස ය.

ඉලක්ක අරමුණු වෙත පනින්නට නම්, ඒ පිළිබඳ නිතර සිහිපත් කරමින් යටි සිතට කාවැද්දිය යුතු වේ. මම විද්‍යාඥයකු වෙනවා ද? ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක්, සංගීතඥයෙක් වෙනවා ද? යහපත් සමාජ සේවකයෙක්, ව්‍යාපාරිකයෙක් වෙනවා ද? ඒ කවර චරිතයක් වුව ද ඒ තැනට එන්නට නම් ඒ ගැන උදේ සවස සිතමින් සිතට ශක්තිය ද, ධෛර්යය ද දෙමින් ඒ සඳහා අවශ්‍ය දෑ ටිකෙන් ටික ක්‍රමවත් ව සම්පාදනය කළ යුතු ය. බෝසත් චරිතය ඒ ආදර්ශය අපට ලබා දී ඇත.

අප මහ බෝසතාණන් වහන්සේ දීපංකර පාද මූලයේ දී සුමේධ නම් තවුසා ලෙස සිට මතු බුදු බව ලබන්නට ප්‍රාර්ථනයක් ඇතිකර ගත්හ. එය යටි සිතෙහි තැන්පත් කර ගනිමින් ශක්තිමත් අධිෂ්ඨානයක් ඇති කර ගත්හ. වසරක් දෙකක් නොව කල්ප ගණනාවක් යටි සිතේ වූ ඒ අරමුණ සිහිපත් කරමින් අවශ්‍ය දෑ සම්පාදනය කළහ. විවිධ භවයන් හි උපත ලබමින් පාරමිතා සම්පූර්ණ කළහ. එහිදී අනේකවිධ ගැටලු බාධකයන්ට මුහුණ දුන්නත් ඒ සියල්ල විඳ දරා ගනිමින් නොපසුබට උත්සාහයෙන් තමන් වහන්සේගේ අරමුණ වෙත ගියහ.

අපේ පාසල් දරුවන්ට බොහෝ අනාගත බලාපොරොත්තු ඇත. වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක්, යහපත් පුරවැසියෙක් වන්නට සිහින මැවීම පමණක් ප්‍රමාණවත් නොවේ. විමර්ශනශීලී චින්තනයක් ඇති කර ගත යුතු ය.

ඒ ඒ කාලයට, වයසට අවශ්‍ය දේ මිස අනවශ්‍ය දේට සිත නොයෙදිය යුතු ය. උසස් අරමුණක් තිබුණ ද අනවශ්‍ය දේට යොමු වූයේ නම් ඒ තරුණ දුවට පුතාට එතැනින් එහාට සාර්ථක ගමනක් යා නොහැකි ය.

අප්‍රමාණ විසූක දස්සන නිසා විපරීත වන සමාජයක හරසුන් දේ පසුපස හඹා යමින් තාරුණ්‍ය දියකර හරින්නට නොව, ඒ ගොහොරු මඩෙහිම සිටිමින් මඩ නොගෑවී ජීවිතයේ පිවිතුරු බව රැක ගන්නට උත්සාහ කළ යුතු ය. හරියට මඩෙහි හටගත් පිවිතුරු නෙළුමක් මෙනි.

නිල් දිය දහරක් සේ මායාවෙන් අප රැවටුව ද එවැනි ජලාශයක පතුල මඩගොඩකි. එහෙත් දියෙන් මතු වී පිපි නෙළුමට අප හදවතෙහි ඇති කරන්නේ පවිත්‍ර හැඟීමකි. එම නිසා අපි ඒ මල ගෞරවයෙන් නෙළා බුදු පුදට ද ගෙන යමු. අපේ යොවුන් දූ පුතුන් උත්සාහ කළ යුතු වන්නේ එවැනි නෙළුමක් වීමට ය.

ගොහොරු මඩබිමක ඇති අනේක අපද්‍රව්‍ය මෙන් මේ සමාජය නමැති ගොහොරු බිමෙහි ද තරුණ දරුවන් බිලි ගන්නට මත්වතුර, මත්කුඩු, වස විෂ පිරි අපත්‍ය ආහාර, නුසුදුසු මිතුරු මිතුරියන්, ප්‍රේම සම්බන්ධතා ආදී බොහෝ අයහපත් දේ බලා සිටී. හොඳ අවධානයකින් සිට ඒවායේ නො ඇලී නො ගැටී සිටින්නට ප්‍රවේශම් විය යුතුව ඇත. යම් හෙයකින් එවැනි දේ අල්ලා ගත්තේ නම්, ජීවිතයේ ඉලක්ක, අරමුණු ද ඒ සමඟ ම බිඳී යනු ඇත.

සමාජයේ උසස් රැකියා කරන, හොඳින් අධ්‍යාපනය ලැබූ පඬිවරු ලස්සනට ජීවත්වන අය බොහෝ වෙති. ඔවුන් ඒ තැනට එන්නට බොහෝ කැප කිරීම් කර ඇත. ඒ කිසිවක් ඉබේ ලැබුණු දේ නොවේ. කුඩා කල සිට වෙහෙස මහන්සියෙන් කළ කැපකිරීම්වල ප්‍රතිඵලයන් ය.

බුදුරජාණන් වහන්සේට මිතභාණි යැයි කියති. ඒ කිසිවිටෙක උන්වහන්සේ නිස්සාර කතාවෙහි නිරත නොවන බැවිනි. අපේ තරුණ දරුවන් ඒ ආදර්ශය ජීවිතයට සමීප කරගත යුතු ම ය.

සමහර දූ පුතුන් ‘නිද්දාරාමතා’ කොයි වේලාවේත් නින්දට බර ය. ඇතැම් විට නිවාඩු දින පෙරවරු 8 - 10 වන තුරුත් නින්දෙහි ය. මේ ගෙවා දමන්නේ අරමුණු ජය ගන්නට ඇති වටිනා කාලයයි.

කාල සටහනකට අනුව වැඩ කිරීම අරමුණු ඉටු කර ගැනීමේ හොඳම මඟයි.

ඉස්සර දිසාපාමොක්වරුන් විසින් මෙහෙය වූ තක්ෂිලාවන්හි ඔරලෝසු තිබුණේ නැත. ශිෂ්‍යයන් අවදි වන්නේත්, දවස අරඹන්නේත් පාන්දර කුකුළාගේ හඬ ඇසීමෙනි. මෙසේ එක් තක්ෂිලාවක දරුවන් අවදි කළ කුකුළා හදිසියේ මිය ගියේ ය. ඒ වෙනුවෙන් කැලයෙන් ඇහිඳගත් කුකුළු පැටියකු ගෙන ආවේ ය. මේ කුකුළු පැටවාට හඬලන්නට නියමිත වේලාවක් නැත. මැදියම් රැයේත් හඬලයි. මේ නිසා එහි ශිෂ්‍යයෝ ද වෙලාවට පිබිදෙන්නේ නැත. දිනක් දහවල් වනතුරුත් නිදාගත් සිසුවකුට ඇදුරුතුමා දඬුවම් කළේ ය.

මෙසේ දඬුවම් වින්දේ කුකුළු පැටවාගේ අපිළිවෙළ හැඬලීම නිසා යැයි ඒ සිසුවා කුකුළු පැටවා ගැන තරහෙන් ඌ මරා දැම්මේ ය. මේ කුකුළු පැටවා මෙසේ අපිළිවෙළට හැඬලුවේ ඇයි? අම්මා තාත්තා ඒ පිළිවෙළ උගන්වා නොතිබුණු නිසා ය. අම්මා තාත්තාගේ ඇසුරෙන් ඉවත් ව අයාලේ හැදුන නිසා ය. පරිසරය හඳුනා ගන්නට, ජීවන පුරුදු පිළිවෙළට ඉගෙන ගන්නට අම්මා හා තාත්තාගේ ඇල්ම, බැල්ම තිබිය යුතු ම ය.

“ටුඩේ ඊස් ද බෙස්ට් ඩේ” යැයි ඉංගී‍්‍රසි කියමනක් ඇත. අද තමයි හොඳම දවස. යන එහි අර්ථය මඟින් හැඟවෙන්නේ අද කළ යුතු දේ හෙටට කල් නොදැමිය යුතු බවයි.

මිනී වළෙනුත් නැඟිට ඉගෙන ගත් අය ගැන කතා අපේ ජනප්‍රවාදයේ එයි.

එක් ඡ්‍යොතිෂවේදියෙක් තමන් මිය යන දිනය දැන මිනී වළක් කපා එහි සැතපී සිටියේලු. ඔහුට මිය යන්නට ඇත්තේ තවත් විනාඩි 10ක තරම් කාලයකි. මේ අතරතුර තවත් ඡ්‍යොතිෂවේදියෙක් එතැනින් යන්නට ආවේ ය. මේ ඇයිදැයි අසා තොරතුරු දැන ගත්විට ඔබේ වේලාව වැරදියි. ඔබ මිය යන්නට තවත් පැය තුනක් තිබෙනවා යැයි කී විට මිනීවළෙන් නැඟිට ආ ඡ්‍යොතිෂවේදියා ඡ්‍යොතිෂ ක්‍රමයෙහි මට වැරදුණු තැන පෙන්වා දෙන්නැයි අනෙක් ඡ්‍යොතිෂවේදියාගෙන් ඉල්ලා සිටියේලු.

ඉගෙනීමේ අගය, වටිනාකම වටහා ගන්නට මෙවැනි කතාවලින් පවා දෙන ආදර්ශය ඉතා වැදගත් ය.

නිතර කියවන්න, ඇහුම්කන් දෙන්න, ඒ දැනුම හිතට ගන්න. ඒ දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න. මේ උපදෙස් පිළිපදින දූ පුතුනට අනාගත අරමුණු මෙන් ම අභියෝග ජය ගැනීම ද අපහසු නොවනු ඇත.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]