[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පිනක විපාකය බලවත් වූ හැටි

පිනක විපාකය බලවත් වූ හැටි

පින්වත් දෙව්දුව, ඔබේ මේ ඇත් වාහනය උත්තම එකක්. නොයෙක් මැණික්වලින් මේ ඇතා සරසලයි තියෙන්නේ. හරිම සිත්කලුයි. ශක්ති සම්පන්නයි. වේගවත් ගමනක් තියෙන්නේ. අහසින් ගමන් කරන්නේ.

පින්වත් දෙව්දුව, ඔබේ ඇස් පවා නෙළුම්පෙති වගේ. මේ ඇතා බබළන්නෙත් නෙළුම් මහනෙල් පාටිනුයි. නෙළුම් රේණුවලින් මේ ඇතාගේ ඇඟ වැහෙනතුරුම සැරසිලා තියෙනවා. රනින් කළ නෙළුම් මල් මාලාවක් මේ ඇතා පැළඳගෙන ඉන්නවා. මේ ඇතා ගමන් කරන්නේ නෙළුම් පිරුණු මාවතක. ඒ නෙළුම් පත්වලින් මේ මාවත බබළනවා. සුන්දර විදිහට මේ ඇතා පා තබමින් යන හැටි හරිම අපූරුයි. ඒ ඇත් වාහනය ගමන් කරද්දී මිහිරි නාදය පැතිරෙනවා. රනින් කළ සීනුවලිනුයි ඒ නාදය පැතිරෙන්නේ. පංචාංගික තූර්ය නාදය වගේම එය සුන්දරයි. මේ ඇත් රජාගේ පිට උඩ ඉන්න ඔබ දිව්‍ය සළුපිළිවලින් ලස්සනට සැරසිලයි ඉන්නේ. ඔබව පිරිවරාගත් අනෙක් දිව්‍ය අප්සරාවන්ටත් වඩා සුන්දරත්වයෙන් බබළන්නේ ඔබම යි. ඔබ මේ පුණ්‍ය විපාකය ලැබුවේ දානයක් පූජා කරලා ද? එහෙම නැත්නම් උතුම් සීලයක් රැකලා ද? ඒ දෙවඟනගෙන් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ'යි මෙලෙස ඇසුවේ.

ඒ ගැන අහල දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම්වලින් ද මේ සැප ලැබුණේ කියලා මෙසේ කිව්වා.

දිනක් මම සත්පුරුෂයන් වහන්සේ නමක් දුටුවා. උන්වහන්සේ ගුණ සම්පන්නයි. ධ්‍යාන වඩනවා. ධ්‍යානයෙහි ඇලී වාසය කරනවා. ඉතිං මම ලස්සනට මල් අතුරලා අලුත් පිරුවටයකින් සරසලා ආසනයක් පිළියෙළ කරලා උන්වහන්සේට පූජා කළා.

ආසනය වටේ බිම ලස්සනට නෙළුම් මල් මාලාවන් තැන්පත් කළා. නෙළුම් මල් පෙති ලස්සනට විසුරුවා දැනුමෙන් මේ දෑතින්මයි. ඒ කුසල කර්මයේ විපාක වශයෙන් තමා මෙවැනි සම්පත් ලැබුණේ.

ඇත්තෙන් ම අවබෝධයෙන් ම, කෙලෙසුන්ගෙන් නිදහස් වුණ ශාන්ත ජීවිත ඇති බ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි හිත පහදවා ගන්නවා නම්, ආසනයක් පූජා කර ගන්නවා නම් එබඳු කෙනකුට මම වගේම දිව්‍ය සම්පත් ලබාගෙන සතුටු වෙන්න පුළුවනි. අන්න ඒ නිසා තමාගේ යහපත කැමති, පුණ්‍ය විපාක ලබන්න මහත් ආශා ඇති කෙනා අවසන් දේහ දරා වැඩ සිටින ඒ රහතන් වහන්සේට ආසනයක්මයි පූජා කර ගන්න ඕන.

වෙසක් අමාවක

මැයි 18 බ්‍රහස්පතින්දා
අ.භා.09.48 න් අමාවක ලබා 19 සිකුරාදා අ.භා. 09.28 න් ගෙවේ.
19 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]