[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

  අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනායක මාහිමිපාණන් වහන්සේ

 

සසුනඹර ඒකාලෝක කළ සුපින්බර සුපුන් සඳ අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා යතිවරයාණෝ

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධුරන්දර ව වැඩ විසූ අග්ගමහාපණ්ඩිත, අභිධජමහාරට්ඨගුරු අතිගෞරවාර්හ දොඩම්පහල චන්දසිරි මහනායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ අප සංඝ සභාවේ සංවේගය පළමු ව ප්‍රකාශ කර සිටිමු. හාරදහසකට අධික විහාරස්ථාන සහ දොළොස් දහසකට අධික මහා සංඝරත්නයකින් සමන්විත වූ පාර්ශ්ව විසි දෙකකින් යුතු ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවිය දෙවසරකට ආසන්න කාලයක් ශෝභමානවත් කොට වදාළ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වන විට අසූ හතර වැනි වියෙහි පසු වූහ. දකුණුලක මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල දොඩම්පහල ග්‍රාමයේ විසූ එදිරිවීර පටබැඳීගේ සරනේලිස් සිල්වා මැතිතුමාගේ සහ එදිරිසූරිය කට්ටඩි ආරච්චිලාගේ මිසිනෝනා මැතිනියගේ පුත් රුවනක ලෙස සුගුණදාස නමින් 1939 දෙසැම්බර් මස 20 වන දින මහ නාහිමිපාණන් වහන්සේ ජන්මලාභය ලැබූහ. නිසි වයස් එළඹීමෙන් පසු දොඩම්පහල මහාවිද්‍යාලයෙන් අක්ෂරෝද්ග්‍රහණය කරමින් සිටින අතරතුර සාංසාරික පුණ්‍ය මහිමය ඉස්මතු වීමෙන් වර්ෂ 1950 නොවැම්බර් මස 25 වැනි දින තංගල්ල කුඩාවැල්ලේ වාළුකාරාමයේ දී මාතර ශ්‍රී සද්ධාරාම නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යා සම්පත් ලැබීය. අතිපූජ්‍ය මහානාහිමිපාණන් වහන්සේ කතලුවේ ශ්‍රී ගුණරතනතිස්ස මහනාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් සමාරම්භ අමරපුර කල්‍යාණිවංශ මහානිකායේ නාඔටුන්නේ සඟ පරපුරට අයත් වෙති. මාතර වීරබාහු පිරිවෙනින් හා ගාල්ල විද්‍යාලෝක පිරිවෙනින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට 1962 ජූනි මස 17 වැනි දින මාතර නූපේ ජයමහා විහාරාසන්න නිල්වලා නදී උදකුක්ඛේප සීමාවේ දී මාතර ශ්‍රී මේධානන්ද මහනාහිමියන් උපාධ්‍යාය කොට අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. උපසම්පදාවත් සමඟ ම කොළඹට වැඩම කළ මහනාහිමිපාණන් වහන්සේ ස්වකීය ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර කුඩාවැල්ලේ වංගීස මාහිමියන්ගේ ඇසුරෙහි වැඩ හිඳීමින් විපස්සනා භාවනා පුහුණුව ලදහ. 1962 සැප්තැම්බර් 09 වන දින තම පැවිදි සහෝදර වංගීස මාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මාතිකමාතා සංගමයේ මූලිකත්වයෙන් කලපලුවාවේ ගෝතම තපෝවනය ආරම්භ කළහ.  තමන් වහන්සේ මෙතෙක් සිදුකරගෙන ආ සම්බුද්ධ ශාසනික හා ජාතික සේවය තවත් පුළුල් ලෙස සිදු කිරීමට මෙය ඉමහත් අවකාශයක් විය. ආරම්භක අවස්ථාවේ පටන් අපවත් වන තෙක් ම එහි වැඩසිටිමින් ආයතනික උන්නතිය මෙන්ම ථෙරවාද බුදු දහමේ හරය ලොවට දායාද කිරීම පිණිස තම ජීවිතය කැප කළහ.


වෙසක් අමාවක

මැයි 18 බ්‍රහස්පතින්දා
අ.භා.09.48 න් අමාවක ලබා 19 සිකුරාදා අ.භා. 09.28 න් ගෙවේ.
19 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]