[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

රහසින් පව් කළත් පාපය එලෙස ම ය

රහසින් පව් කළත් පාපය එලෙස ම ය

 

“යාදිසං වපතේ බීජං
තාදිසං හරතේ ඵලං
කල්‍යාණ කාරී කල්‍යාණං
පාපකාරී ච පාපකං”

වපුරන බීජයට අනුරූපීව එහි ඵලය ලැබෙයි. හොඳ ක්‍රියාවක් සිදු කළ විට හොඳ ප්‍රතිඵලත්, නරක ක්‍රියාවක් සිදුකළ විට නරක ප්‍රතිඵලත් බලාපොරොත්තු විය යුතු ය.

ධර්මයෙහි ද ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ මහන්සි වී හම්බකොට, අනුභව කරමින්, සැපවත්ව, ධාර්මිකව ජීවිතය ගතකරන පුද්ගලයා සාර්ථක පුද්ගලයෙක් බවයි. එම නිසා ඔබගේ දෛනික ජීවිතයට බුදු දහම ගැටලුවක් නොකර ගෙන කටයුතු කළ යුතු ය. ඔබ සිදු කරන ක්‍රියාව කොතරම් රහසිගතව සිදු කළ ද, ඔබගේ හෘද සාක්ෂියට එය සැඟවිය නොහැකි බව හැම විටම මෙනෙහි කළ යුතු ය.

ඒ තුළින් ඔබ සිදු කරන නරක ක්‍රියාවන් යම් පාලනයකට නතු කර ගත හැක. යහපත් ගුණ ධර්මයන් දියුණු කර ගැනීම තුළින් ඔබගේ දියුණුව නිරන්තරයෙන්ම සැලසේ.

කෙනකුගේ දියුණුව දෙස බලා ඊර්ෂ්‍යා කිරීම තුළින් තමාගේ පිරිහීම මිස අනෙකාගේ දියුණුවට එය බාධාවක් නොවේ.

“පුබ්බේත කත පුඤ්ඤතා” පූර්ව භවයන්හි සිදු කරන ලද පින් මත මේ ආත්මයේ දී ඔබ බොහෝ දෙය ලබා ඇත. තව ද උත්සාහය මඟින් ද බොහෝ දේ ලබා ගනු ලබයි.

කෙසේ වෙතත් අනෙකාගේ දියුණුව දැක ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී පහත් සිතිවිලි ඇතිකර නොගැනීම තමාගේ දියුණුවට නිරන්තරයෙන් ම ආශිර්වාදයක් වෙයි.

ඔබ අප හැම දෙනා නිරතුªරුව ම බොහෝ වශයෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරයි. ධර්ම දේශනාවන් සූදානම් කරයි. ධර්ම සාකච්ඡාවන්වලට සහභාගි වෙයි. සිල් සමාදන්වීම් කටයුතුවලට සහභාගි වේ. තව ද ආගමික කටයුතුවලට බොහෝ සෙයින් සම්බන්ධ වෙයි. මේ කුමන හෝ යහපත් ක්‍රියාවන් වුව ඔබ ජීවිතයේ හුරු පුරුදු කර ගැනීම ඉතා වැදගත් වූ නමුදු එම ධර්මයේ කටයුතු නොකරන තාක්කල් සසරේ ගමන් කිරීමට ම සිදුවේ.

හැම අවස්ථාවක ම සිදු කළ යුත්තේ ඇසූ බණ අනුව තමාගේ ජීවිතය සකසා ගැනීමයි. ජීවත්ව සිටිය දී සිදු කර ගන්නා පින් සහ කුසල් ඔබ සුගතියකට (සුගති යනු යහපත් ස්ථාන යි) රැගෙන යන අතර, ඔබ පින් සහ කුසල් රැස් නොකර ගතහොත් ඔබ මිය පරලොව ගිය පසු ඔබට දරුවන් සිටී නම් ඔබගේ දරුවන් පමණක් ඔබට පින් අනුමෝදන් කරන අතර, බොහෝ සෙයින් ඔබගේ මුණුබුරන් ඔබට පින් අනුමෝදන් නොකරයි.

උදාහරණයක් ලෙස බොහෝ දෙනෙක් ආච්චිට සහ සීයාට පින් දීමක් සිදු නොකරයි. ඔබට දරුවන් නොසිටින්නේ නම් දරුවන් දෙන පින් පවා ඔබට අහිමි වී යයි. ඔබ ජීවත්ව සිටියදී කරන ලද අකුසල කර්මයන් නිසා දුගතියක (දුගති යනු අයහපත් ස්ථානයි) උත්පත්තිය ලැබුවහොත් දරුවන් දෙන පින අනුමෝදන් වී එම දුගතියෙහි ඔබ කැමති දේ ලැබුව ද සුගතියකට යා නොහැක.

එම නිසා හැම විටම අපා දෙපා සිවුපා ආදී සියලු සත්වයන්ට මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව දක්වා අනෙකාට උදව් උපකාර කරමින්, තමාගේ මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් සාර්ථක කර ගැනීමට මඟ පාදා ගත යුතු ය.

බුදු දහමේ පැහැදිලි කරන ආකාරයට ගොවිතැන් කරන ගොවියකු වී වපුරා හාර පස් මාසයකින් වී අස්වැන්නක් ලබයි. එසේම වී වපුරා තල, මුං, කුරහන් අස්වැන්නක් ලබා ගත නොහැක.

තල, මුං, කුරහං වපුරා වී අස්වැන්නක් ලබාගත නොහැක. වපුරන බිජුවට අනුරූපීව එහි ඵලය ලැබේ.

ඔබ කුසල කර්මයන් සිදු කරන්නේ නම්, එහි ප්‍රතිඵලත් කුසල කර්ම ම වේ. ඔබ අකුසල කර්ම සිදු කරන්නේ නම්, එහි ප්‍රතිඵලය ද අකුසල කර්ම ම වේ.

මේ සියලු ආකාරයෙන් ඔබ උගත යුතු දේ නම් ලැබූ මනුස්ස ආත්ම භවයේ යහපත්ව, ධාර්මිකව කටයුතු කිරීමටයි.


නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]