සතුටු කතාවක අවසානය කඳුළු කතාවක් නොවන්නට නම්...
කොළඹ 06, හැව්ලොක් සිටි
සාම විහාරාධිපති
අතපත්තුකන්දේ ආනන්ද හිමි
කෙනෙක් භයංකර වූ සැහැසි ක්‍රියාවක් කළේ නම් එය සිහිපත් වන වාරයක් පාසා සිත කම්පනයට
පත්වන්නේ ය. එනිසාම ශාරීරික වශයෙන් දැවීම්, තැවීම් ආදී පීඩා එබඳු පාපකර්ම සඳහා
ලබාදෙන දිට්ඨ ධම්ම වේදනීය විඳවීමක් ද වනු ඇත. ඒ බව ධම්මපද පාලියෙහි බාල වග්ගයෙහි
අර්ථගන්වා ඇත්තේ මෙසේ ය.
නතං කම්මං කතං සාධු
යංකත්වා අනුතප්පතී
යස්ස අස්සුමුඛෝ රෝදං
විපාකං පටි සේවතී
මෙහි ‘අස්සුමුඛෝ රෝදං’ යනුවෙන් දැක්වෙනුයේ හැඬූ කඳුළින් යුතු මුහුණයි. එසේ කඳුළින්
තෙමුණ, දුක්බර මුහුණක් උරුම කරදීම සඳහා හේතුවන්නේ තමා විසින් සිදුකරන ලද ප්‍රාණඝාත
ආදී භයානක දුෂ්චරිතයන් ය.
ඉන් අසහනකාරිව පීඩාවිඳීමින් සිට, පරලොව යාමෙන් අපායගාමී වීමෙන් පසුව ද හඬමින්
වැළපෙමින් අප්‍රමාණ නිරාදුක් විඳීම පිළිබඳ දහමින් අනාවරණය කරනු ලැබේ.
එමෙන්ම ‘න සාධු’ යන වචනයෙන් උපදෙස් දෙනු ලබන්නේ ලබන ලද මිනිස් බවය විවිධ පාප
ධර්මයන්හි නියැළෙමින් අයහපත් කර ගැනීම නුසුදුසු බවයි.
සසර පුරා හැඬීමට වැළපීමට හේතුවන භයානක අකුසල කර්මවලින් තම ශ්‍රාවකයන් අත්මුදවා
ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් මෙහිදී උතුම් මඟ පෙන්වීමක් සිදුකර ඇති අයුරු
දැකගත හැකි ය.
භාග්‍යවතුන් වහන්සේගේ මෙම උතුම් දේශනාව සඳහා විෂයය වී ඇති කරුණ ද ඉතා රසවත් කතා
පුවතකි.
ඒ සඳහා පාදක වී ඇත්තේ සැවැත්නුවර වැසි දිළිඳු ගොවියෙකි. ඔහුට හිමිවීමට නියමිත රාජ
දඬුවම් මෙන්ම සෝවාන් වීම සඳහා ඇති හේතු සම්පත් ද තථාගතයන් වහන්සේට දර්ශනය වූයේ
උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදී ලොව දෙස බැලීමේ දී ය. එබඳු ආකාරයේ අයහපතක් වන්නේ
නම් ඉන් මුදවාගැනීම මෙන් ම, මගඵල ලාභයක් ලැබෙන්නේ නම්, එය ලබා දීමේ අවස්ථාව
උදාකරලීම මහා කාරුණිකයාණන් වහන්සේගේ දිනචර්යාවෙහි ප්‍රමුඛතම කාර්යයක් වන්නේ ය. බොහෝ
දුර බැහැර ගෙවා වුව ද ඒ සඳහා වැඩමවීම සිරිතක් වන්නේ ය.
එම ගොවියා ද දිවා කාලයෙහි එළැඹෙන අවු රශ්මියෙන් මිදී සීසෑම් ආදී කටයුතු සඳහා කුඹුරට
ගොස් සීසෑමෙහි නිරතව සිටි අතර, පෙර දා රාත්‍රියෙහි ධනවතකුගේ නිවසක් බිඳ සොරාගන්නා
ලද ධනයෙන් සඟවා තබන ලද රන්මසු පොදියක් තම කුඹුරෙහි ඇති බව නොදැන සිටියේ ය.
සොරකමෙහි යෙදුන සොරුන්ට ද සොරෙන් එහි සිටි එක් සොරෙක් රන්මසු දහසක් සහිත පියල්ලක්
කුඹුරෙහි සොරොව්ව ආසන්නයෙහි සඟවා තබා ඇති අයුරු බුදු නැණින් දුටුවහ. ඉන් ගොවියාට
සිදුවන හානියෙන් මුදවා ගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ ද උදෑසන අනඳ තෙරුන් සමඟ එම
කුඹුරට වැඩම කළහ.
ගොවියා උන්වහන්සේ වැඳ තම වැඩෙහි ම යෙදෙමින් සිටියේ ය. බුදුරදුන් ද එම මසු පියල්ල
තිබූ ස්ථානය පසුකරමින් ඉදිරියට වැඩමවන අතර, ගොවියාට ද ඇසෙන සේ අනඳ හිමියන් අමතා විෂ
සහිත සර්පයා දුටුවේ දැයි විමසූහ. උන්වහන්සේ ද දුටුබව ප්‍රකාශ කළහ.
එම දෙබස ඇසීමෙන් අනතුරුව එම ස්ථානයට ගිය ගොවියා ප්‍රකාශිත පරිදි විෂ සහිත සර්පයකු
නොදක්නේ නමුදු එහි වූ රන්මසු පොදියක් දැක එය මඩින් වසා දමා තම කටයුත්තෙහි යෙදුණේ ය.
මේ අතර රාජපුරුෂයන් ද තමාට ලැබුණ සොරකම පිළිබඳ පැමිණිල්ලට වහා ක්‍රියාත්මක වෙමින්
ලබන ලද බුද්ධිමය තොරතුරු ඔස්සේ පරීක්ෂණ කරනුයේ පා සලකුණු පිරික්සමින් එම කුඹුරට
පැමිණ සඟවන ලද වස්තුව සමඟ ගොවියා ද අල්වාගෙන දණ්ඩනයට පත්කරන ලදී.
මෙසේ විවිධ ශාරීරික පීඩාවන්ට පත්වෙමින් දඬුවම් විඳීන ගොවියා තමාට සිදුවූ අනපේක්ෂිත
විපත පිළිබඳ කල්පනා කරනුයේ බුදුරදුන් අනඳ තෙරුන්ට විෂ සහිත සර්පයා දුටුවේ දැයි
පෙන්වන ලද්දේ මෙම අනතුර විය හැකි යැයි සිතනුයේ
“ආනන්දය, විෂඝෝර සර්පයා දුටුවේ ද?” යනුවෙන් බුදු මුවින් ප්‍රකාශිත වැකිය නැවත නැවත
ප්‍රකාශ කළේ ය. රාජපුරුෂයන් ඒ පිළිබඳ විමසීමේ දී භාග්‍යවතුන් වහන්සේගේ ඉහත ප්‍රකාශය
ඇතුළු සියලු කරුණු නොසඟවා ප්‍රකාශ කිරීමෙන් පසු දඬුවමින් මුදවනලදුව නිදහස ලැබීය.
මෙම සිදුවීම පාදකකොට ගත් බුදුරදුන්
‘සිහිකරන පමණින් පසුතැවීමට හේතුවන, කඳුළින් තෙමුණ මුහුණින් විපාක විඳීමට සිදුවන
බියකරු වූ නොමනා දේ නොකළ යුතු යැයි’ දේශිත දහම් දෙසුමට සවන් දුන් ගොවියා සෝවාන් බවට
පත්වීමේ පුවත අපේ ධර්ම සාහිත්‍ය මගින් වාර්තාකොට ඇති අයුරු ඉතා මනරම් ය.
|