[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සාහිත්‍ය රසයෙන් අනූන ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයක වරුණ

මිලින්ද ප්‍රශ්නය:

සාහිත්‍ය රසයෙන් අනූන ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයක වරුණ

නාගසේන මහරහතන් වහන්සේ හා මිළිඳු රජු අතර සිදුවන සංවාදයක ස්වරූපයෙන් ත්‍රිපිටකයත්, පාලි අට්ඨකථාවන්ටත් අතර කාලයේ මිලින්ද ප්‍රශ්නය කෘතිය රචනා වී තිබේ. “මෙනැන්ඩර්” යන ග්‍රීක පදයේ පාලි භාවිතය “මිලින්ද” ලෙස ද, සිංහල භාවිතය “මිළිඳු” ලෙස ද යෙදෙයි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500කට පසුව මෙම කෘතිය රචනා වී තිබේ.

මිළිඳු රජු ශාස්ත්‍රයන්හි පාරප්‍රාප්ත, තර්කයෙන් පරාජය කළ නොහැකි රජකු සේ සැලකේ. ඔහු පරාජය කිරීමට සමත් එකම කෙනා නාගසේන මහරහතන් වහන්සේ වූහ.

ධර්මය පිළිබඳ මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම පිණිස මිලින්ද ප්‍රශ්නය තරම් වටිනා තවත් කෘතියක් ථේරවාදි පාලි සාහිත්‍යයේ නැති තරම් ය. අටුවාචාරි බුද්ධඝෝෂ හිමියන් ද පාලි අටුවාකරණයේ දී මිලින්ද ප්‍රශ්නයෙන් බොහෝ කරුණු උපුටාගෙන තිබේ. මෙම සංවාදය අවසානයේ දී මිළිඳු රජු සිය රාජ්‍යය පුත්‍රයාට පවරා දී පැවිදි වී මහරහත් බවට පත් වී තිබේ.

පාලි මිලින්ද ප්‍රශ්න ග්‍රන්ථයෙහි පරිච්ඡේද 7කි. එනම්

බාහිර කථා, ලක්ඛණ පඤ්හ, විමතිච්ඡේදන පඤ්හ, මෙණ්ඩක පඤ්හ, අනුමාන පඤ්හ, ධූතාංග කථා, ඕපම්මකථා පඤ්හ යනුවෙනි.

මෙයින් බාහිර කථා යනු මිලින්ද ප්‍රශ්නයේ භූමිකාවයි. එහිදී නාගසේන මහරහතන් වහන්සේ සතු ත්‍රිපිටක වෛශාරද්‍ය බව, මිළිඳු - නාගසේන දෙදෙනාගේ පූර්ව ජන්ම පිළිබඳ ආදි මූලික විස්තර සවිස්තරව දක්නට ඇත.

දෙවැනි කොටසේ දී අනාත්මවාදය හා පුනර්භවය පිළිබඳ ගැටලුව විසඳනු ලැබෙයි.

තෙවැනි විමතිච්ඡේදන කොටසේ දී බුදුදහම සම්බන්ධ සාමාන්‍ය ගැටලු විසඳනු ලබයි.

සිව්වැන්නෙහි දක්නට ඇත්තේ කුතුහලය උපදවන ප්‍රශ්න හා මනවඩන පිළිතුරු ඇතුළත් ග්‍රන්ථයෙහි විශාලතම පරිච්ඡේදයයි.

අනුමාන ඥානයෙන් දෙන පිළිතුරු පිළිබඳ පස්වන පරිච්ඡේදයෙහි ද අපූරු ප්‍රශ්නෝත්තර මාලාවක් දක්නට ලැබේ.

සවැනි පරිච්ඡේදයේ දී විශුද්ධි මාර්ගයේ දෙවැනි පරිච්ඡේදය මෙන් ධූතාංග පිළිබඳ විස්තර වී ඇති බැවින් ඒ නම යෙදී තිබේ. උපමා මගින් කළ අපූරු විග්‍රහයක් බැවින් සත්වන පරිච්ඡේදයට ඒ නම යෙදෙන්නට ඇත.

මිලින්ද ප්‍රශ්නය ග්‍රන්ථය බෞද්ධ මහජනතාව අතර ජනාදරයට පත්වීමට හේතුවක් ලෙස කෘතියේ ඇති දාර්ශනික භාවය පෙන්වා දිය හැකි ය.

මිළිඳු රජතුමා මුලින් ම නාගසේන හිමියන්ගෙන් විමසා සිටින්නේ ඔබ වහන්සේ කවුරුන් ද යන්නයි.

එවිට උන්වහන්සේ රජතුමාට පිළිතුරු ලබා දෙනුයේ තමන් වහන්සේ නාගසේන වන බවත්, සබ්‍රහ්මචාරීන් සූරසේන, වීරසේන, සිංහසේන යන නම් පවසන බවත්, නාගසේන යනු සංඥාමාත්‍රයක් බවත්, නාගසේන කියා පුද්ගලයකු නැති බවත් ය.

එවිට රජතෙමේ නැවත පෙරළා ප්‍රශ්න කරනුයේ ඉදින් පුද්ගලයෙක් නොමැති නම් කවරෙක් සිල් රකින්නේ ද? කවරෙක් භාවනා කරන්නේ ද? කවරෙක් නිවන් ලබන්නේ ද? නාගසේන යනු පඤ්චස්ඛන්ධය ද? නාගසේන යනු දෙතිස් කුණුප කොට්ඨාසයන් ද? යනුවෙනි.

නාගසේන හිමියන් මිළිඳු රජුගෙන් තමන් පැමිණි රථයේ රථ ඉස, රථය ද? රථ චක්‍රය, රථය ද? රථ පඤ්ජරය, රථය ද? යනාදි වශයෙන් විමසූ විට රජුගේ පිළිතුර වූයේ නැත යන්නයි.

එවිට නාගසේන හිමියන් ප්‍රකාශ කර සිටියේ නොයෙක් අංගෝපාංගයන් එකතු වූ විට රථය යැයි කියනු ලැබේ ද, එපරිද්දෙන් නාම - රූප ධර්මයන් එකතු වූ විට සම්මුති වශයෙන් සත්ත්වයා යැයි පවසන බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බව ය.

“යථාහි අංගසම්භාරෝ - හෝති සද්ධෝ රථෝ ඉති

ඒවං ඛන්ධේසු සත්තේසු - හෝති සත්තෝති සම්මුති”

බුදුදහමේ පුද්ගලයා පිළිබඳ දක්වා ඇති සංකල්පය මේ තුළින් ස්ඵුට වන අතර, දෙවැනි ධර්ම සංගායනාවෙන් පසුව ඇති වූ පුද්ගලවාදය ද මේ තුළින් ඛණ්ඩනය වන්නේ ය. එමෙන් ම පරවාද මථනය ද මෙයින් නිරූපණය වෙයි.

මෙම කෘතිය බෞද්ධ - අබෞද්ධ සියලු දෙනා අතර ප්‍රචළිත වීම සඳහා හේතු වූ කරුණක් ලෙස ආගමික පැතිකඩ ද පෙන්වා දියහැක.

මිළිඳු රජතුමා වීර්යය කවර ලක්ෂණ දැයි විමසූ විට නාගසේන හිමියන් ප්‍රකාශ කර සිටියේ වීර්යය උපස්ථම්භන ලක්ෂණ වන බවත්, වීර්යය ආධාර වූවා වූ සියලු කුසල ධර්මයෝ නොපිරිහෙන බවත් ය.

වීර්යය ඇති ශ්‍රාවක තෙමේ අකුසල දුරු කොට කුසලයන් වඩන බවත්, සාවද්‍ය ධර්මයන් දුරු කොට නිරවද්‍ය ධර්මයන් සිතෙහි වඩන බවත්, ක්ලේශයන්ගෙන් පිරිසුදු වූ ආත්මය පරිහරණය කරන බවත් බුදුන් වහන්සේ දේශනා කර ඇති බව නාගසේන හිමියන් මිළිඳු රජුට ප්‍රකාශ කළහ.

මෙම ග්‍රන්ථය ජනාදරයට පත්වීමට හේතු වූ තවත් කරුණක් ලෙස මෙහි ඇති විද්‍යාත්මක පැතිකඩ ද පෙන්වා දිය හැකි ය. මිළිඳු රජතුමා නාගසේන හිමියන්ගෙන් කවර කරුණක් නිසා මුහුදෙහි ජලය ලුණු රසය වී ඇත්දැයි විමසූ විට නාගසේන හිමියන් පවසා සිටියේ මුහුදු ජලය ලුණු රස වූයේ බොහෝ කල් තැන්පත් ව තිබීමෙන් බව ය.

ලුණු ආදි සියලු ධාතු වර්ග තිබෙන්නේ පොළොවෙහි ය. වර්ෂාවෙන් පොළොව සේදී යන විට ලුණු ස්වල්පයක් ද දිය වී ජලය සමඟ බැස යයි. ඒ ජලය ක්‍රමයෙන් මුහුදට වැටෙයි. සූර්යතාපයෙන් මුහුදේ ජලය දිනපතාම වාෂ්ප බවට පමුණුවා ඉහළ නංවයි. වැසි වැසීම සිදු වන්නේ ඒ ජලය වාෂ්ප එකතු වීමෙනි. ජලය වාෂ්ප බවට හැරෙන විට ලුණු ඒ සමඟ නො යයි. මුහුදෙන් දිනපතාම මිරිදිය පමණක් වාෂ්ප බවට හැරී යන නිසා ලුණු එහිම ඉතිරි වෙයි. මෙසේ අවුරුදු දහස් ගණන් මුළුල්ලේ මිරිදිය පමණක් වාෂ්ප බවට හැරුණු නිසා මුහුදේ බොහෝ කල් ඉතිරි වුණ ජලය ලුණු රසයෙන් යුක්ත විය. මුල දී මුහුදේ ජලය ලුණු රස වූයේ ස්වල්ප වශයෙනි. එනයින් ගත් කළ නාගසේන හිමියන්ගේ පිළිතුර විද්‍යාව හා සැසඳේ.

මිලින්ද ප්‍රශ්නය ග්‍රන්ථය බෞද්ධ ජනතාව අතර ප්‍රචළිත වීමට බල පෑ තවත් ප්‍රධාන සාධකයක් ලෙස මෙහි ඇති සාහිත්‍යාත්මක පැතිකඩ පෙන්වා දිය හැක. මිළිඳු රජු විමසන සෑම ප්‍රශ්නයකට ම පාහේ පිළිතුරු ලබා දෙන විට මිළිඳු රජතුමා එය උපමා භාවිතයෙන් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියි.

මෙම ග්‍රන්ථයේ මුල සිට අවසන දක්වාම ඇත්තේ උපමා භාවිතය යි. ඒ වෙනුවෙන් 7වැනි පරිච්ඡේදය ද වෙන් කර ඇත.

ඇතැම් ප්‍රශ්නවල දී නැවත නැවතත් උපමා මගින් එකම ප්‍රශ්නය පහදා දෙන ලෙස ඉල්ලා සිටි විට නාගසේන හිමියන් ඒ සෑම අවස්ථාවක දී ම උපමා මඟින් පැහැදිලි කර ඇත.

නිදසුනක් ලෙස මිළිඳු රජතුමා සීලයේ ස්වභාවය උපමා මගින් පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටි විට නාගසේන හිමියන් ප්‍රකාශ කර සිටියේ කරණම් ගසන්නා ශිල්ප දක්වනු කැමතිව පොළොව සාරවා, ගල්, බොරලු බැහැර කරවා, භූමිය සමතලා කරවා, සිව්මැලි භූමියක සිට කරණම් ගසයි. මහරජාණෙනි, ඔය පරිද්දෙන් ම සීලය මත පිහිටන යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිටම පඤ්ච ඉන්ද්‍රිය වඩයි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත.

“සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ - චිත්තං පඤ්ඤං ච භාවයං

ආතාපි නිපකෝ භික්ඛූ - සෝ ඉමං විජටයේ ජටං”

ප්‍රඥාව සහිත වූ මනුෂ්‍ය තෙමේ සීලය මත සිට සිතයි. ප්‍රඥාවත් වඩයි. කෙලෙස් තවනා වීර්යයෙන් යුතු අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් හෙබි ඒ භික්ෂුව මේ අවුල ලිහා දමන්නේ ය.

ප්‍රාණීන් හට පිහිටක් තිබෙන මේ පොළොව මෙන් කුසලාභිවෘද්ධියට මුල් වන්නේ මෙයයි. සියලු බුද්ධානුශාසනයට මුඛ්‍ය කරුණ ද මෙයයි. එනම් යමෙක් උතුම් ප්‍රාතිමෝක්ෂාදියෙහි සීල සම්පන්නව වාසය කරත් ද, එයයි.

මෙම කෘතියේ මුල සිට අවසන දක්වා ම ඇත්තේ ධර්ම කරුණු නිරාකරණය කර ගැනීමකි. මිළිඳු රජතුමාට ඇති වී තිබූ දහම් ගැටලු නාගසේන හිමියන්ගෙන් විමසන විට එම දහම් ගැටලුවලට පිළිතුරු ලබා දීම නාගසේන හිමියන් විසින් සිදු කෙරිණි. එබැවින් නිවැරැදි ධර්මය අවබෝධ කර ගැනීම සඳහා පාදක වන ග්‍රන්ථයක් නිසාවෙන් මෙය බෞද්ධ මහජනයා අතර ජනාදරයට පත් විය.


නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]