නිරෝගි සුව සැප සතුට දෙන අභය දානය
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
පුරාණ ලංකාදීපයේ ජීවත් වුණා පුංචි පවුලක්. මේ පවුලේ හිටියේ මවුපිය දෙපළත්, ඔවුන්ගේ
දරුවන් දෙදෙනාත් පමණයි. වැඩිහිටි සහෝදරයා තරුණ වයසට පත් වූ කෙනෙක්. බාල සහෝදරයාට
නම් එතරම් වයසක් නෑ. දෙමාපියන් ඔහුට කතා කළේ ‘චක්කන’කියලා. හතර දෙනාම සමගියෙන් සහ
සතුටින් ජීවත් වුණා.
හැමෝගේම අවාසනාවට අකාලයේ ඔවුන්ගේ පියා ඔවුන්ට අහිමි වෙනවා. පවුලේ ජීවන බර ගෙනියන්න
වුණේ වැඩිමහලු පුතාට. ඔහු තමන්ගේ මවගේ සහ බාල සහෝදරයාගේ සහාය ඇති ව පියතුමා කර ගෙන
ආ කුඹුරු වැඩ වීර්යයෙන් කරන්න පටන් ගත්තා.
ඔවුන්ගේ අවාසනාවට හිටි හැටියේ ම මවත් දැඩි සේ අසනීප වුණා. දන්නා බෙහෙත් කළත් සුවයක්
නම් ලැබුණේ නෑ. වෙදරාළ හමු වී මවගේ රෝගී තත්ත්වය ප්‍රකාශ කළා. ඔවුන් විවිධ කසාය
වර්ග හා කල්ක වර්ග නියම කළා. ඒවාගෙන් ද සුවයක් ලැබුණේ නෑ. පුතුන් දෙදෙනාට ම බොහොම
වේදනයි මව සුවපත්කර ගැනීමට නො හැකිවීම ගැන.
තමන්ගේ නෑදෑයින්ටත්, යහළුවන්ටත්, අසල්වැසියන්ටත් මතක් කළා හොඳ වෙද මහතෙක්
හමුවුණොත් ඒ බව දන්වන ලෙසට. දිනක් අසල්වැසියකුට තමන්ගේ යහළුවකුගෙන් අසන්නට ලැබෙනවා
හැම රෝගයකට ම පාහේ බෙහෙත් කරන දක්ෂ වෙද මහතෙක් ගැන. ඔහු මේ පුතුන් දෙදෙනාගේ නිවසට
පැමිණ ඒ බව දන්වා සිටිනවා. ලොකු පුතා ඔහුගෙන් මඟ තොරතුරු අසාගෙන වෙදමහතා හමුවීමට
ගොස් සියලු ම තොරතුරු කියා නිවසට කැඳවාගෙන ඒමට සමත් වෙනවා. වෙද මහතා රෝගියා පරීක්ෂා
කළා. මෙතෙක් සිදු කළ බෙහෙත් ආදියත් හොඳින් අධ්‍යයනය කළා. අනතුරුව වැඩිමහලු පුතා
අමතා
‘පුතේ, අම්මා සුවපත් කරන්න පුළුවන්. තවදුරටත් කාලය ගත නො කර හැකි ඉක්මණින් ම මම
කියන බෙහෙත් ද්‍රව්‍ය ටික සපයා දෙන්න. ප්‍රමාද වුණොත් ජීවිතය ගැන අවධානමක් ගන්න
වෙනවා’යි කියා සිටියා.
එම අවස්ථාවේ දී පුතණුවන් වෙදමහතා අමතා
‘ඔබ, කියන ඕනෑම බෙහෙතක් අපගේ මව වෙනුවෙන් සොයා ගෙනවිත් දෙනවා. අවශ්‍ය දේ කියන්න’යි
කියා සිටිනවා. එය අසා සිටි වෙදරාළ අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය දක්වා අවසානයේ
‘පුතේ, කැලෑවෙන් හොයා ගන්න ඕන බෙහෙත් ටික තමයි ඔය සඳහන් කළේ. ඊට අමතරව තවත් බෙහෙතක්
සකස් කර ගන්න අලුත් හා මස් ටිකකුත් ඕන වෙනවා. ඒවත් හොයාගෙන එන්න’යි අවශ්‍ය බෙහෙත්
වට්ටෝරුව පවසා සිටියා.
මවගේ ජීවිතය බේරා ගන්න තවත් කාලය ගත කරන්න බෑ. මට පමණක් මේ සියල්ල කරන්න අමාරුයි.
මම බෙහෙත්වලින් වැඩි කොටසක් හොයාගෙන එනවා. හා මස් ටික හොයා ගන්න ලෙහෙසියි. අපේ
කුඹුරේ ළපටි ගොයම් පැළ කන්න මේ දවස් ටිකේම හාවෝ ආවා. ඒ නිසා පුංචි හාවෙක් හරි අල්ලා
ගන්න බැරිවෙන එකක් නෑ. ඒ කටයුත්තට චක්කන මල්ලීව පිටත් කර හරිනවා’යි කල්පනා කර තම
බාල සහෝදරයා අමතා
‘මලනුවනි, වෙදමහතා අපගේ මව සුවපත් කරන්න බෙහෙත් වට්ටෝරුවක් ම දුන්නා.ඒවාගෙන් වැඩි
කොටසක් මම හොයාගෙන එන්නම්. ඔබට කරන්න වැඩක් තියනවා. වහාම අපගේ කුඹුරට ගිහින් ළපටි
ගොයම් පැළ කන්න එන හාවෙක් අල්ලාගෙන වහාම එන්න. හා මස් අවශ්‍යයි මේ බෙහෙත හදන්න’යි
පවසා තම බාල සහෝදරයා ඒ සඳහා පිටත් කර හැරියා.
වැඩිමහලු සහෝදරයා සෙසු බෙහෙත් සොයාගෙන එන්න පිටත් වුණා. ඔහු අවශ්‍ය බෙහෙත් නොපමාව
සොයාගෙන නිවසට පැමිණියා. එහෙත් තමන්ගේ මල්ලී බොහෝ වේලා යනතෙක් ම පැමිණියේ නෑ. මවගේ
රෝගී තත්ත්වය තව තවත් උත්සන්න වී තිබුණා. ජීවිතයේ අවසන් මොහොත ගත කරමිනුයි සිටියේ.
බාල සහෝදරයා තමන්ගේ මවගේ ජීවිතය රැක ගැනීමේ බලාපොරොත්තුවෙන් පැවරූ කටයුත්ත බාරගෙන
කුඹුරට ගිහින් හාවෝ එන මාර්ගය දිහා බලමින් බොහෝ වේලාවක් ගත කළා. එහෙත් එක්
හාවෙක්වත් පැමිණියේ නෑ. නිවසට යාමට තීරණය කරගෙන තවත් සුළු මොහොතක් බලනවායි සිතා
මාර්ගය දෙසත් කුඹුර දෙසත් බලමින් සිටින ඔහුට දකින්න ලැබුණා එක් හාවෙක් ඇවිත් ළපටි
ගොයම් පැළ කනවා. වටපිට බලමින් ගොයම් පැළ කන ඌට දකින්න ලැබුණා චක්කනව. බොහෝ සෙයින්
කලබලයට පත් වී හාවා දුවන්න පටන් ගත්තා. චක්කනත් ඌ පසුපස එළවන්න පටන් ගත්තා. එහෙත්
හාවාගේ වේගය ඉතා තියුණු නිසා මද දුරක් යන විට ම නො පෙනී ගියා. මව සුවපත් කර ගැනීමට
අවශ්‍ය හා මස් නොමැතිව ගෙදර යා නොහැකි බව සිතමින් බොහොම කනගාටුවට පත් වුණා. ‘දැන්
කරන්න දෙයක් නෑ. ගෙදර යන්න ඕන’යි හිතලා ගෙදර එන්න පටන් ගත්තා. මද දුරක් එන විට ඔහුට
ඇහෙන්න පටන් ගත්තා ‘කිරි කිරි’ යන හඩින් හඬන හාවාගේ ශබ්දය. ඔහු වහාම ඒ ශබ්දය ඇහෙන
දිහාවට දුවන්න පටන් ගත්තා. ඒ මොහොතේ දකින්න ලැබුණා හාවා මන්දක පැටලී සිටිනවා. වහාම
ක්‍රියාත්මක වෙලා මන්දෙන් මුදවා අල්ලා ගත්තා. ‘මූ මරා මස් ගෙන ගොස් මගේ මව සුවපත්
කරනවා’යි කල්පනා කළා. එහෙත් මොහොතක් ගත වන විට ම ඔහුට මෙහෙමත් කල්පනා වුණා.
‘මගේ මවගේ ජීවිතය බේරා ගන්න තව කෙනකුගේ ජීවිතයක් පැහැර ගැනීම මට ගැළපෙන්නේ නෑ. මම
උපන් තැන් පටන්, මගේ මතකයේ හැටියට අද දක්වා දැන දැන සතකුගේ ජීවිතයක් නැති කළේ නෑ.
අම්මාගේ ජීවිතය බේරා ගැනීමටයි අකැමැත්තෙන් හරි මේ කටයුත්ත බාර ගත්තේ. මම මෙතෙක්
පුරමින් ආ ඒ උතුම් ක්‍රියාව මේ සතාගේ ජීවිතය නැති කළායින් පසු සිඳී යනවා. ඒ දේ මට
කරන්න බෑ’යි කල්පනා කර සතා මුදා හරින්න තීරණය කළා. හාවාගේ හිසත්, ඇගත් හොඳින්
පිරිමදිමින් ආදර වදනින් ‘මිතුර, මම ඔබට කරදරයක් කරන්නේ නෑ. ඔබගේ ජීවිතය මම ආරක්ෂා
කරනවා. ඔබ නිදහසේ මිදී යන්න. වනයේ සිටින නෑදෑයින් හා යහළුවන් සමඟ සතුටින් ජීවත්
වෙන්න. ඔබ කැමැති දෑ කමින්, පිරිසුදු පැන් බොමින් සුව සේ සතුටින් ජීවත් වෙන්න’යි
පවසා හාවා නිදහස් කළා. චක්කන ඉතා සතුටින් නිවසට පැමිණියා. වැඩිමහලු සහෝදරයාත්,
වෙදරාලත්, අසල්වැසියනුත්, ඥාතීනුත් ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් බොහෝ වේලාවක් බලා
සිටිමිනුයි සිටියේ.ඔහු නිවසට ගොඩවුණු වහාම වැඩිමහලු සහෝදරයා ‘මලනුවනි, හාවකු
ලැබුණිද?’යි විමසා සිටියා. එවිට චක්කන ‘ඔව් අය්යේ, ලැබුණා’යි පවසා සිදු වූ සියල්ල
දන්වා සිටියා. එයින් කෝපයට පත් ඔහු චක්කනට දොස් පවරන්න පටන් ගත්තා. චක්කන බොහොම
කනගාටුවටත්, සිත්තැවුලටත් පත් වුණා. මවගේ ජීවිතයේ අවසන් හුස්ම ටික ගත කරමිනුයි
සිටියේ. චක්කන හැඬූ කදුළින් මවගේ ඇද සමීපයට ගියා. මවගේ දෑත් අල්ලා ගත්තා. අනතුරුව
හිස පිරිමදිමින් මෙහෙම කියන්න පටන් ගත්තා.
’අම්මේ, මම උපන් තැන් පටන්, මට දැනුම් තේරුම් ඇති කාලයේ පටන් අද දක්වා දැන දැන
කිසිම සතකුගේ ජීවිතයන් නසා නෑ. මම හැම සතකුටම ආදරයෙන්, කරුණාවෙන් සැලකුවා. ඒ සියල්ල
සත්‍ය නම් මගේ අම්මා සුවපත් වේවා’යි පළමුවත් දෙවනුවත් තෙවනුවත් සත්‍යක්‍රියා කළා.
සත්‍යක්‍රියාව අවසන් වෙනවාත් සමග මව සුවපත් භාවය ලැබුවා. ඇඳෙන් නැඟී සිටියා යි
රසවත් කථා පුවතක් මජ්ඣිම නිකාය අටුවාගේ සම්මා දිට්ඨි සූත්‍රයේ සඳහන් වෙනවා.
මවගේ හෝ පියාගේ හෝ සමීපතමයකුගේ හෝ ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තබා තමන්ගේ
ජීවිතය රැක ගැනීම වෙනුවෙන්වත් ප්‍රාණඝාතය නො කළ යුතු බවත්, එම ශික්ෂාපදය ආරක්ෂා
කළහොත් එහි විපාක ලෙස සතුටින් දිවි ගෙවීමට අවස්ථාව උදාවෙන බවත්, නීරෝගී සුව ලැබෙන
බවත් මේ කතා පුවත පෙන්වා දෙනවා.
කුමන අවශ්‍යතාවක් උදාවුණත් තමන්ගේ ජීවිතය රැක ගැනීමට හෝ අන් අයගේ ජීවිතය රැක ගැනීමට
හෝ සැප සම්පත් ලැබීම වෙනුවෙන් හෝ තවත් කෙනකුගේ ජීවිතයක් නො නැසිය යුතු යි.
මනුෂ්‍යයා ප්‍රමුඛ කොට ගත් සියලු සතුන් වෙත මෛත්‍රීය හා කරුණාව දැක්විය යුතුයි.
එවැනි පුද්ගලයින්ට මෙලොවත් පරලොවත් සතුටින් ජීවත් වීමට භාග්‍ය උදාවෙනවා'යි මේ කතා
පුවත අපට උපදෙස් දෙනවා. |