[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 දුරුතු අමාවක 2023-01-21

නිරවුල් සමාජයකට

දම්වැලක් ශක්තිමත් වන්නේ එහි පුරුක් ගැලවී නො යන සේ එකින් එක සම්බන්ධ වී ඇති විටය. වෙන් වෙන් ව ගත් කල එහි වටිනාකම, බලය, ශක්තිය, ප්‍රයෝජනය හීන ය. මිනිස් සමාජය ද දම්වැලක් මෙනි. සමඟියෙන්, සාමයෙන්, අන්‍යෝන්‍ය විශ්වාසයෙන්, අවබෝධයෙන් ඔවුනොවුන් හා සම්බන්ධ තරමට ය එහි පැවැත්ම, දියුණුව, වටිනාකම තීරණය වනුයේ.

ස්වභාව ධර්මයෙන්ම සමාජයීය සත්වයෙක් වන මිනිසාට සාමාන්‍ය ජීවිතයේ දී ඉන් බැහැර විය නොහැකි ය. යුතුකම් වගකීම් රැසකින් බැඳී සිටින ඔහුට සමාජ සම්මතයට පිටුපෑ නොහැකි ය. යම් හෙයකින් අසම්මතයක් වූයේ නම් ය, ඒ සමාජය තුළ ගැටලු, ප්‍රශ්න, දුක්ඛදෝමනස්සයන්, අහිතකර විපරිනාමයන්ගේ මූලාරම්භය නිර්මාණය වනුයේ,

සමාජයක යහපැවැත්මට, සාමය, සමඟිය, එකමුතුකම, සහජීවනය ඇති කරනු පිණිස ශ්‍රී සද්ධර්මය තුළ අධිපති ධර්ම ත්‍රිත්වයක් පැහැදිලි කර දී ඇත. අත්තාධිපති, ලෝකාධිපති හා ධම්මාධිපති යනුවෙනි.

පුද්ගල වශයෙන් හෝ සාමූහික වශයෙන් හෝ යම් ක්‍රියාවක් කරන්නට පෙර, යම් මතයක්, ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නට පෙර අධිපති ධර්මතාවන් මත පිහිටා කටයුතු කරන්නේ නම් කිසිදු විටෙක අකටයුත්තක්, අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වන්නේ නැත. ශිෂ්ට සම්පන්න යැයි කියන්නේ එවැනි සමාජයකි.

තමන්ගේ හෘද සාක්ෂියට එකඟව බුද්ධිමත්ව සිතා නිවැරැදි ම තීන්දු තීරණ ගැනීම නැණවතාගේ ස්වභාවය වන්නේ ය. එහිදී ජාතිය, ආගම, කුලය, නිලය, බලය කිසිදු ලෙසකින් හෝ බලපෑ නොහැකි ය. තමන් අකැමැති යමක් වේ නම් අනෙක් පුද්ගලයා උදෙසා එය සිදු කිරීම අත්තාධිපති ධර්මයට පටහැනි ය. යම් ක්‍රියාවක් පිළිබඳ තීන්දු තීරණ ගැනීමට පෙර තර්කානුකූලව සිතා බලා වඩාත් නිවැරැදි අවසානයකට එළඹිය යුතු ය.

මේ දේ අයහපත් ය. මේ දේ යහපත්ය යැයි ධර්මයෙහි ඉගැන්වේ. පින් - පව්, හොඳ - නරක ඉගැන්වේ. මුං වපුරා වෙනත් බෝගයක අස්වනු ලැබිය නොහැකි සේ අයහපතක් කළේ නම් අයහපත් ප්‍රතිඵලම මිස යහපත් පල ලැබිය නොහැකි ය.

ධම්මානු ධම්ම පටිපන්න පුද්ගලයා දහමට පිටුපාන්නේ නැත. ධර්මයේ සඳහන් වන්නේ ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව ය.

ලෝක සම්මතයන්ට, සමාජ පිළිගැනීම්වලට පටහැනි නොවන ලෙස කටයුතු කිරීම සෑම සමාජ සාමාජිකයකුගේ ම වගකීමයි. සමාජ සදාචාරයන් උල්ලංඝනය වන ලෙස කටයුතු කරන්නේ නම් ඒ පුද්ගලයා සමාජයට පිළිලයකි. ගැරහුම් ලබන්නෙකි.

පාපකර්මයක්, අකුසලයක් කොට කවර හේතුවක් නිසා හෝ එය සාධාරණී කරණය කරන්නට කිසිවකුට අවසර නැත. යම් හෙයකින් වංචාකාරීව වරද මඟ හැර යන්නට පුළුවන. එහෙත් ගොනු පසු පස එන රිය සක සේ පාපයේ විපාකය ඔහු ලුහුබඳිනු ඇත. පවට බිය විය යුතු එහෙයිනි.

කෙනකුට තමන්ගේ ගෞරවය, කීර්තිය ගැන සිතා පවින් වැළකීමට පුළුවන. ධර්මය අනුව ධම්මචාරී පුද්ගලයකු වී දෙලොව යහපත සලසා ගැනීමට පුළුවන. සම්මතයන්ට පටහැනිවීමෙන් වන ලෝකාපවාදය ගැන සිතා පවට ලජ්ජා බිය ඇතිකර ගත හැකි ය. ලැබූ මිනිසත් බව අර්ථවත් වන්නේ එසේ නුවණැතිව, අර්ථවන්ට ජීවිතය හසුරුවන පුද්ගලයාගේ ය. සමාජ හිතකාමී පුද්ගලයකු වන්නේ ද ඔහුම ය.

දුරුතු අමාවක පෝය

ජනවාරි 21 සෙනසුරාදා පූ.භා. 06.19 න් අමාවක ලබා 22 ඉරිදා පූ.භා. 02.24 න් ගෙවේ.
21 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]