[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

යහපත් බව නපුරට එරෙහි පලිහකි

යහපත් බව නපුරට එරෙහි පලිහකි

නුවණැත්තා තම සුර පුර තමා ම සාදා ගන්නා අතර අනුවණ තැනැත්තා තම නිරය තෙමේ ම සාදා ගන්නේ ය.

සුර පුර හා නිරය පිළිබඳ බෞද්ධ සංකල්පය වෙනත් ආගම්වල එම සංකල්පයට වඩා බෙහෙවින් වෙනස් ය. බෞද්ධයෝ එම ආයතන සදාතනික සේ නොසලකති. මිනිසකු නිරයට සදාතනිකව ගර්හිත කරනු ලැබීම අසාධාරණ ය. ඔහුගේ මානුෂික දුර්වලතා නැති කර ගැනීමට හා තම සංවර්ධනය ඇති කර ගැනීමට හැකි සෑම අවස්ථාවක් ම ලබා දීම යුක්ති සහගත ය. බෞද්ධ මතයට අනුව අපාගත වුව ද පූර්ව ජාතියේ කළ කුසලයන් ඇතොත් ඒවා පලදීමෙන් ඉහළට පැමිණීමට ද ඉඩ ඇත්තේ ය.

නිරයේ දොරටුවලට යතුරු දමා නැත. නිරය තාවකාලික එකකි. එහි සදාතනික තැවීමකට සත්වයාට කිසිදු හේතුවක් නොමැත. බුද්ධ දේශනාවට අනුව සුරපුර හා නිරය ඇත්තේ මෙලොව ඉක්මවා යෑමෙන් පමණක් නොවේ. මෙලොවදීමත් ලැබිය හැකි ය. ඒ අනුව සුරපුර හා නිරය පිළිබඳ බෞද්ධ සංකල්පය ඉතා සහෙතුක ය. නිදසුනක් ලෙස බුදු රදුන් වදාළ කරුණක් දැක්විය හැකි ය. එනම් කිසියම් සාමාන්‍ය අඥාන පුද්ගලයකු මහ සයුරට යට නිරය හෝ පාතාල ලෝකයක් ඇති බව තිර කෙරෙන කාරණා ගෙනහැර දක්වන්නේ නම්, ඔහුගේ ප්‍රකාශනය සාවද්‍ය ය. පදනම් විරහිත ය. නිරය හෝ අපාය යන පදයෙන් අදහස් වන්නේ පීඩාකාරී වේදනාත්මක හැඟීම් ය.

බෞද්ධ සංකල්පයට අනුව නිරය යනු දෙවියන් මවු එක්තරා බිමක් හෝ සූදානම් කළ තැනක් ලෙසින් නොපිළිගැනේ. මෙලොව ඇති නිරයේ තාපය මෙලොවින් පිටත ඇති නිරයේ තාපයට වඩා වැඩි ය. කෝපයට වැඩි ගින්නක් තිබේද? කාමය හෝ ලෝභය හා අවිද්‍යාව ද එසේම ය. බුද්ධමතයට අනුව එකොළොස් වර්ගයක භෞතික වේදනා හා මානසික පීඩනයන්ගෙන් තැවෙන්නේ ය. කාමය, ද්වේෂය, මායාව, ලෙඩ රෝග, දිරීම, මරණය, මනස්තාපය, වැලපීම (ශාරීරික මානසික) වේදනාව කනස්සල්ල හා දුක ආදිය යි. මිනිසුනට එකී මනෝ විසංගත තත්ත්වයන් සමහරක් නිසා ඇතිවන ගින්නෙන් මුළු ලොවම වුව ද දවා අළුකළ හැකි ය. බෞද්ධ දර්ශනයට අනුව සුර පුර හා නිරය ඉතා පහසුවෙන් නිර්වචනය කළ හැකි වේ. එනම් මහත් දුක් වේදනා ඇත්තේ යම් තැනෙක ද? එය මෙලොව හෝ වේවා. අන් කිසියම් තලයක වේවා, එතැන දුක් පීඩා විඳින වුනට අපායෙකි.

එමෙන්ම මහත් සුව සතුට ඇත්තේ යම් තැනෙක ද? එය මෙ ලොව හෝ වේවා, අන් කිසි තලයක හෝ හෝ වේවා එතැන ලෞකික සුව විඳින්නවුනට සුර පුරයෙකි.

ඒ කෙසේ වෙතත් මානව ජීවිතය දුක සැප දෙක ම මිශ්‍රණය වූ තැනක් සෙයින් මිනිසුන් දුක සැප දෙකම ප්‍රත්‍යක්ෂණය කරන අතර, මනුෂ්‍ය ජීවිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කර ගැනීමට සමත්විය හැකි ය. නමුත් බොහෝ වෙනස් තලයන්හි ජීවත් වීමේ දී එහි වසන්නන්ට එබඳු අවබෝධයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ ප්‍රස්ථා අඩු ය. ඇතැම් භවයන්හි සතුටට වඩා දුක් වේදනාවන් අඩු ය. තවත් තැන්වල දුක් පීඩනවලට වඩා සතුට පී‍්‍රතිය ඇත්තේ ය.

බෞද්ධයන් විශ්වාස කරන්නේ මරණින් මතු පුනරුත්පත්තිය ක්‍රියාත්මක වී කිසියම් භවයක ඉපදිය හැකි බවයි. එකී අනාගත භවය තීරණය වන්නේ පුද්ගලයා මැරෙන මොහොතේ ප්‍රතිසංවේදනය කරන ප්‍රතිසන්ධි චිත්තය අනුව ය. හෙවත් මැරෙන මොහොතේ දැනෙන අවසාන නිමේෂය අනුව ය. එකී පුනරුත්පත්තිය තීරණය කරන අවසාන සිතිවිල්ල මිනිසාගේ පූර්ව ආත්මයේ හෝ මේ ජීවිතයේ දී කරනු ලැබූ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයෙකි. මේ නිසා ප්‍රබලතම සිතිවිල්ල පරාවර්තනය වූයේ කුසල ක්‍රියාවන් අනුව නම් ඒ තැනැත්තාගේ අනාගත භවය සුවදායක තැනක් වේ. නමුත් ඒ භවය තාවකාලික ය. එය ගෙවී අවසන් වත්ම නව ජීවිතයක් පටන් ගැනීම යළි ඇරඹේ. එය ද තීරණය වන්නේ වෙනත් ප්‍රබල කර්ම බල වේගයකිනි. යමකු නිවැරැදි දැකුම ලබන තෙක් මේ අවිච්ෂේද ක්‍රියා පිළිවෙළ අවසානයක් නොමැතිව සිදු වන්නක් බැවින් අධිෂ්ඨානශීලීව අවසාන සුවය වූ නිවන උපදවන ආර්ය මාර්ගය අනුගමනය කළ යුතු ය.

සුරපුර ද තාවකාලික ය. එහි ද කුසල ක්‍රියාවන් කළ තැනැත්තනට අධික ඉන්ද්‍රිය පිනවීම් සහිත දීර්ඝ කාලයක් ප්‍රත්‍යක්ෂණය කළ හැකි ය. අපාය ද තාවකාලිකය. එහිද අකුසල් කළ තැනැත්තාට අධික කායික මානසික දුක්වේදනා ප්‍රත්‍යක්ෂණය හෙවත් ප්‍රතිසංවේදනය සිදුවෙයි. එකී ආයතනයන් ස්ථිර ඒවා ලෙස විශ්වාස කිරීම සාධාරණ නොවේ.

සුර පුර, නිරය යන දර්ශන දෙකෙහි ම පිටුපස දෙවියෙක් නොමැත. ප්‍රතිසංවේදනය සඳහා ඇත්තේ ඔහු ගේ කුසල කර්මය හෝ අකුසල කර්මයයි. බෞද්ධයෝ කිසි දිනක නිරයේ ගිනි දැල් පෙන්වා මිනිසුන් බිය පත් කර හෝ පාරාදීසය පෙන්වා මිනිසුන් කුල්මත් කර බුදු සමය ඉදිරිපත් නොකරති. ඔවුන්ගේ ප්‍රධාන අදහස බෞද්ධයාගේ චරිතය ක්‍රමානුකූලව ගොඩනැඟීමයි. මනස පුහුණු කිරීමයි.

බෞද්ධයනට තම ප්‍රගුණ කිරීමේ දී සුරපුරය ඉලක්ක කර ගැනීමක් හෝ නිරය කෙරෙහි බිය වැඩිකර ගැනුමකින් තොරව කළ හැකි ය. ඔවුන්ගේ වගකීම වන්නේ මානසික සාමය සාධාරණ ගතිගුණවලින් හෙබි සිල්වත් දිවිපෙවෙතක් ගෙන යෑම ය.

දේව විශ්වාසය

බෞද්ධයෝ දෙවි දේවතාවුන්ගේ පැවැත්මක් නැතැයි නො කියති.

ඉඳුරන් පිනවීම අතින් බලන විට දෙවි දේවතාවෝ මිනිසුනට වඩා වාසනාවන්තයෝ ය. මිනිසුනට නැති ඇතැම් බලයක් ඔවුනට තිබේ. ඔවුහු ද තමනට ඇති බලය කෙතරම් වුවත් ඇතැම් සීමාවනට යටත් ය. තාවකාලික ය. ඔවුහු මිනිසුනට වඩා දීර්ඝ කාලයක් ජීවත්වන්නාහු ය. සැපවත් වාසස්ථාන ඇත්තෝ ය. පී‍්‍රතිමත් ජීවිත ගත කරන්නෝ ය. ඔවුන්ගේ ද කුසල කර්මයන් ගෙවී යත්ම (පූර්ව භවයන්හිදී රැස්කර ගත් පරිදි) කුසලා කුසල කර්ම බල අනුව යළි පුනරුත්පත්තියක් යම් කිසි තැනෙක ලබන්නාහුය. බුද්ධ මතය අනුව මිනිසත් බව ලැබීම නිසා වඩා යහපත් තත්ත්වයන්හි ඉපදීමට කුසල් රැස් කළ හැකි ය. ඒ සඳහා දෙවියනට ඇත්තේ අවම අවස්ථා ය. බෞද්ධයන් අතර ඇති පොදු විශ්වාසයක් නම් කිසියම් කුසල කර්මයක් කළ කල්හි ඒ කුශලානිශංසයන් දෙවි දේවතාවුනට අනුමෝදන් කිරීමෙන් ඔවුන්ගෙන් පිහිටාධාර ලබා ගත හැකි බවයි. මේ මතය පදනම් වී ඇත්තේ බුදු රදුන් විසින් දෙවි දේවතාවනට ආගම ධර්මානුකූලව ජීවිත ගත කරන්නවුනට ආරක්ෂාව සැලසිය යුතු ය යන නියෝගයයි.

බෞද්ධයන් දෙවියනට පින් අනුමෝදන් කිරීමට හෝ ඔවුන් සිහි කිරීමට සෑම පුණ්‍යකර්මයකින් පසුව පුරුදු වී සිටින්නේ එම හේතුව නිසා ය. එහෙත් ඒ දෙවියනට වැඳුම් පිදුම් කිරීමට උනන්දු කිරීමක් නොකළ සේක. එහෙත් ඇතැම් බෞද්ධ සිරිත් දෙවියන් වටා සිදු කෙරෙනු පෙනේ. මිනිසුන්ට මහත් දුෂ්කරතා පැමිණි විට ඒ දුක්මුසු ප්‍රකාශනයන් ඉදිරිපත් කර අස් වැසිලි ලැබීම් වස් දේවාලයට පිවිසෙන බැව් පෙනේ. එසේ කිරීමෙන් කිසියම් සැනසිලි සුවයක් ඔවුන්ගේ හදවත් තුළ ඇති වේ. එයින් සැනසීමක් ද ලබති. එසේ වෙතත් විද්‍යාර්ථියකු, ප්‍රබල අධිෂ්ඨානයක් ඇත්තකු හොඳ අධ්‍යාපනයක් හා අවබෝධයක් ඇත්තකු එවැනි විශ්වාසයට හා පිළිවෙත්වලට නැඹුරුවීමක් ඇති නො කරනු පෙනේ.

බුදු සමයෙහි නියත වශයෙන් ම සඳහන් නැති දෙයකි නිවන් සුවය පතා දෙවි දේවතාවුන් වන්දනා කිරීම. බෞද්ධයන් විශ්වාස කරනුයේ කුසල් අකුසල් පුද්ගලයා මත පිහිටා ඇති බවත් කිසිදු බාහිරයකුට අනිකකු පවිත්‍ර කළ නොහැකි බවත් ය. (ධම්මපද)

බුද්ධත්වය හා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම බාහිර මූලාශ්‍රයක ආධාර නොමැතිව කර ගත හැක්කකි. බෞද්ධයනට තම ආගම පිළිපැදීම දෙවියන් ඇතිව හෝ නැතිව කළ හැකි ය.

අවතාර ලෝකය

පෙනෙන නොපෙනෙන ආලෝක තිබෙන්නා සේ ම දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන සත්වයන් හෝ දෘෂ්ටි තිබිය හැකි ය.

යහපත් හෝ අයහපත් දෘෂ්ටි නැතැයි බුදු සමය නොකියයි. පෙනෙන හා නොපෙනෙන සත්වයන් හෝ දෘෂ්ටීන් පෙනෙන නොපෙනෙන ආලෝකයක් තිබෙන්නාක් මෙන් තිබිය හැකි ය. නො පෙනෙන ආලෝකයන් දැකීම සඳහා විශේෂ උපකරණ අවශ්‍ය වන්නා සේ නො පෙනෙන සත්වයන් දැකීම සඳහා විශේෂ සංවේදනයන් අපට අවශ්‍ය විය හැකි ය.

අපගේ මසැසට නො පෙනෙන නිසාම එවැනි ඇතැම් දිෂ්ටි නැතහොත් අවතාරයන්ගේ පැවතීමක් නැතැයි අපට කිව නො හැකි ය. මෙකී දිෂ්ටි ද ඉපදීම හා මරණයට යටත්ව ඇත්තේ ය. ඇතැම් ඒවා දිෂ්ටි රූපයෙන් සදාකාලිකව ම නොපවතිනු ඇත. ඒවා ද අප ජීවත්වන ලෝකයේ ම පවතින්නේ ය.

බුදුරජාණන් වහන්සේගේ අනාවරණය පර්යාප්ති මාලාවට අනුව ජීවිතය හැඩ ගසාගත් තැනැත්තා පරම බෞද්ධයෙකි. ඔහු මේ දෙවිදේවතාවුන් හා අවතාර සඳහා කෙරෙන පුද පූජාවන් කෙරෙහි සැලකිලිමත් නො වෙයි. ඒ කෙසේ වෙතත් මෙකී පුද පූජා බොහෝ දෙනකුගේ අභිරුචියට හා ආකර්ෂණයට යොමුවීම නිසා මෙකී ක්‍රියාකාරකම්වලට බෞද්ධයන් සම්බන්ධ වීම ස්වභාවික ය.

අයහපත් දෘෂ්ටිවලින් ආරක්ෂා වීම ගැන සලකා බැලීමේ දී යහපත් භාවය නපුරට විරුද්ධ පලිහක් බඳු වෙයි. සම්‍යක් දෘෂ්ටිය පාපයන්ට කඩා වැදීමට නොහැකි පවුරක් බඳු ය. යහපත් මනුෂ්‍යයා එහි දොර විවෘත නො කළහොත් පවිටු බලවේගයන්ට එහි ඇතුළත් විය නොහැකි ය. පුද්ගලයකු සැබෑ සිල්වත් හා පවිත්‍ර ජීවිතයක් ගත කරද්දී සදාචාර සම්පන්න උතුම් ජීවනයක මනා ආවරණය ලබද්දී පවා ඒ පුද්ගලයා කිසියම් පවිටු බලයකින් තමාට හානි පැමිණිය හැකි යැයි සිතීමෙන් ඔහුගේ ආරක්ෂණ ආවරණය මඳක් පහත වැටිය හැකි ය. බුදුරජාණන් වහන්සේ කිසිදු අවස්ථාවක දී තමන් වහන්සේගේ අනුගාමිකයනට ඊනියා දෘෂ්ටීන් නොහොත් අවතාර නැමදීමට හෝ බියවීමට අවවාදානුශාසනා නොකළ සේක. ඔවුන් කෙරෙහි වූ බෞද්ධ ආකල්පය නම් ඔවුනට පුණ්‍යානුමෝදනා කිරීම හෝ පින් පැවරීම ය. ඔවුන් කෙරෙහි මෛත්‍රිය පැතිරවීම ය. බෞද්ධයෝ ඔවුනට හානි නො පමුණුවති. අනික් අතට පුද්ගලයකු ආගම මාමක නම් සිල්වත් හා මනස පිරිසුදු නම් ඔහු බුද්ධිමත් අධිෂ්ඨානශීලී අවබෝධ ශක්තියක් ඇත්තකු නම් එවැනි තැනැත්තකු ඊනියා දිෂ්ටි, අවතාර ආදියට වඩා ප්‍රබල වෙනු නියත ය. පවිටු අවතාර ඔහුගෙන් මෑත් වෙයි. යහපත් දිෂ්ටීන් ආරක්ෂාවට එනු ඇත.

මළගිය අයට පින්දීම

ඔබට ඔබේ මියගිය අයට සැබෑ ලෙස ගරුසරු දැක්වීමටත්, උදව්වීමටත් වුවමනා නම් එවිට කළ යුත්තේ කිසියම් පුණ්‍ය ක්‍රියාවක් ඔවුන්ගේ නමින් සිදු කොට පින් අනුමෝදන් කරවීමයි. බුදු සමයට අනුව යහපත් ක්‍රියා හෝ පුණ්‍ය ක්‍රියා එම ක්‍රියා කාරකයනට මෙලොවදීත් පරලොවදීත් සැප සම්පත් ගෙන දෙයි.

පුණ්‍යක්‍රියා අවසාන නිෂ්ඨාව වූ සදාතනික සුවය කරා යොමු කරවන බව ද විශ්වාස කරති. පුණ්‍ය ක්‍රියා සිත කය වචන යන තුන් දොරින්ම කළ හැකි වේ. සෑම යහපත් ක්‍රියාවකින්ම කුසල් ඇති වෙයි. ක්‍රියා කාරකයා වෙනුවෙන් ඒ කුසල් රැස්වෙයි. බුදු සමය පවසන පරිදි රැස්කළ කුසල් අනුනට අනුමෝදන් කළ හැකි ය. එය අනුන් සමඟ ඔවුන් වෙනුවෙන් බෙදා හදාගත හැකි ය. වෙනත් වචනවලින් කියතොත් එම පින ආපසු සිහි කර තවත් අය සමඟ බෙදා ගත හැකි ය. එම පින ලබන්නා ජීවත්වන්නකු හෝ මිය ගිය අයකු විය හැකි ය. පින් අනුමෝදන් කරන්නේ ඉතා සරල ක්‍රමයකිනි. පළමුව කිසියම් කුසල් ක්‍රියාවක් කෙරෙයි. එම කුසල ක්‍රියාව කළ තැනැත්තා හුදු ප්‍රාර්ථනයක් මඟින් තමන් ලබා ගෙන ඇති පින. “අනුනට ද අත්වේවා”යි විශේෂයෙන් යමකුට හෝ නැත්නම් සියලු සත්වයන් සඳහා වේවා'යි ද, යනුවෙන් ප්‍රාර්ථනා කිරීම යි. එකී පැතුම මානසිකව ද, වාචසිකව ද ප්‍රකාශ කළ හැකි ය.

එකී පැතුම, එම පින ලාභියාගේ දැනුම ඇතුව කළ හැකි ය. ප්‍රතිලාභියා එම පින්දීම දකී නම් අන්‍යොන්‍ය වශයෙන් පින භුක්තිවිඳීමේ පී‍්‍රතියක් ඇති වේ. ප්‍රතිලාභියා ද එම ප්‍රතික්‍රියාවට එකතු වීම නිසා එයට මුලින් සහභාගි වූවකු ගේ තත්ත්වයට පත් වේ. ප්‍රතිලාභියා ද එම පුණ්‍ය ක්‍රියාව හා කරන්නා තමන් සේ හඳුනා ගැනීම කළහොත් ඔහුට ඇතැම් විට මුල් ක්‍රියාව කළ තැනැත්තාට වඩා වැඩි පිනක් අත්කර ගත හැකි ය. මක්නිසාදයත්? ඔහු එම පිනෙන් ප්‍රමෝදයට පත්වීම හෝ එම ක්‍රියාව ඇගයීම තම දහම් දැනුම මත කළ නිසා මහත්ඵල මහානිශංසදායී වෙයි. එවන් සිදුවීම් පිළිබඳ කතා පුවත් බෞද්ධ ග්‍රන්ථවල දක්නට ලැබේ.

පුණ්‍ය ක්‍රියාව කළ තැනැත්තාගේ දැනුමක් ඇතිව හෝ නැතිව ද පින් අනුමෝදන් වීමේ පී‍්‍රතිය සිදුවිය හැකි ය. මෙහි දී අවශ්‍ය වන්නේ ප්‍රතිලාභියා පුණ්‍ය ක්‍රියාව දැන ගැනීම නිසා ඔහුගේ සිතෙහි පහළ වන සොම්නස් සහගත වින්දනයයි. ඔහු කැමති නම් ඔහුගේ පී‍්‍රතිය සාධු නදීන් ප්‍රකාශ කළ හැකි ය. එහි තේරුම යහපති, කදිමයි යනු යි.

මෙහිදී ඔහු කෙළේ එක්තරා මානසික හා වාචසික පී‍්‍රති ඝෝෂාවක් මවාපාමින් අන්‍යයකු කළ කුසල කර්මයට හවුල් වීමකි. තවද මෙහි දී වැදගත් වන කරුණක් නම් එකී කුසල ක්‍රියාව යථා පරිදි අනුමත කිරීම් හා ප්‍රතිලාභියාගේ සිත්හි පැන නඟින්නා වූ පී‍්‍රති ප්‍රමෝදය යි. කිසියම් පුණ්‍ය කර්මයක් කරන්නාට එහි පින අනුන්ට අනුමෝදන් කිරීමේ ආශාවක් නො මැති වුව ද අන්‍යයන් ඒ පින් අනුමෝදන් වීම ඔහුට වැළකිය හැකි නොවේ.

මක්නිසාදයත්? අනුන්ගේ සිතුවිලිවලට ඉහළින් බලපෑමේ ශක්තියක් නොමැති බැවිනි. බුද්ධ වචනයට අනුව සියලු ක්‍රියාවන්හි දී සිතිවිල්ල වඩා වැදගත් වන්නේ ය. අනුමෝදන් කිරීම ද මමෝමය හෙවත් චෛතසික ක්‍රියාවකි.

පින් අනුමෝදන් කිරීමෙන් තමන් කළ කුසල කර්මයේ පින පුද්ගලයකුට අඩුවීමක් නො වන්නේ ය. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස දක්වතොත් පුණ්‍යානුමෝදනා ක්‍රියාව ම කුසලයෙකි. ඒ අනුව මෙතෙක් කරන ලද කුසලයේ පින ද තවදුරටත් වැඩි වේ.

මිය පරලොව ගියවුනට දිය හැකි අග්‍ර තිළිණයෙකි.

යම් කිසිවකුට පිරිනැමිය හැකි මහඟු තිළිණය ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ මිය ගිය ඥාතීන් වෙනුවෙන් පින්දහම් කිරීම හා එම පින අනුමෝදන් කරවීම යි. තවද පින් අනුමෝදන් කරන්නා එමඟින් තවත් පින් රැස් කර ගන්නා බව ද උන්වහන්සේ වදාළ සේක. කුසල් කිරීමේ යෙදුණු විශේෂයෙන්ම ‘මහණ බමුණන්ට දන් දීමේ යෙදුණු අයට එම කුසල් තම මිය පරලොව ගිය ඥාතීනට අනුමෝදන් කරන ලෙස බුදුරදුන් ඔවුනට උපදෙස් දී ඇත. දන්දීමේ දී මියගිය ඥාතීන් වෙනුවෙන් දන්දීමට ද, දන් දෙන විට මෙසේ සිහිපත් කරන ලෙස ද උන්වහන්සේ උනන්දු කළ සේක. එනම් ඔහු ජීවත්ව සිටිය දී ඔහු මෙවන් සම්පත් මට දී ඇත. ඔහු මේ දේ මා වෙනුවෙන් කර ඇත. ඔහු මගේ අසවල් ඥාතියා ය. මගේ හවුල් කරු ය. යනාදී වශයෙනි.

තිරෝකුඩ්ඩ සූත්‍රය ඛුද්දකපාඨ

ඇඬීමෙන් පලක් නැත. දොම්නස් වැලපීම්, ළතෝනි දීම්වලින් මලගියවුනට කිසිදු යහපතක් නො වන්නේ ය. මළගිය ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කරවීමේ පොදු විශ්වාසය පදනම් වී ඇත්තේ කෙනකු මිය ගිය විට ඔහුගේ පින්පව් එකිනෙක ගෙන තුලනය කිරීමෙන් ඔහුගේ ඉරණම තීරණය කිරීම ගැන ය. ඔහුගේ ක්‍රියා කලාපය ඔහු යහපත් ස්ථානයක ප්‍රතිසන්ධිය ලබා ගනී ද, අයහපත් රාජධානියකට වැටේ ද යන්න තීරණය කරත්ම මිය ගිය අයගේ ආත්මය අනික් මිය ගිය අයගේ ආත්ම ඇති ලෝකයකට ගමන් කරන බව සමහර අයගේ විශ්වාසයකි.

පහත් ලෝකවල උපදින අයට අලුතෙන් පින් රැස්කර ගැනීමට නො හැකි ය. මෙලොව දී උපයා ගත් පින් මහිමයෙන් එහි ජීවත් විය යුතු ය. අනුනට හානි නො කර ජීවිත කාලය තුළ දී කුසල් රැස් කරගත් අය නිරායාසයෙන් පහසු ස්ථානයන්හි උපත ලබන්නට වාසනාව ලබති. එවැනි අයට ජීවත්ව සිටින ඥාතීන්ගේ ආධාරය අනවශ්‍ය යි. කෙසේ වෙතත් සුවදායක ස්ථානයන්හි ඉපදීමට තරම් අවස්ථා නැති අය ජීවත්ව සිටින ඥාතීන් ගේ පින් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නේ තමන්ගේ ඌණතාව සපුරාගෙන සතුටුදායක වාසස්ථානයක ඉපදීමට හැකිවීම සඳහා ය.

අවාසනාවත් ආත්ම භාවයන්හි පුනරුත්පත්තිය ලැබූවන් ඔවුන්ගේ වේදනාකාරී තත්ත්වයන්ගෙන් මුදවාගත හැක්කේ තම මිතුරන් ඥාතීන් කරන්නා වූ කුසල කර්මයන්ගේ පින පවරා දීමෙන් හෙවත් අනුමෝදන් කිරීමෙනි. මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බෞද්ධ මතය පැරැණි යුග සිසාරා පැමිණි හින්දු සමයේ චාරිත්‍රයක අනුරූපයකි. මිය ගිය ඥාතීන්ගේ ආත්මයට සාමයෙන් ජීවත්වීමට විවිධ උත්සව පවත්වමින් ආධාර කරති. මේ චාරිත්‍රය ඇතැම් බෞද්ධ රටවල සමාජ ජීවිතයේ මහත් බලපෑමක් කෙරෙයි.

කිසියම් යහපත් වැඩක් කළ කල්හි මිය ගිය අය සිහි කරති. බොහෝ විට එය කරනු ලබන්නේ ඔවුන්ගේ ජීවිත හා සම්බන්ධ අවස්ථාවලදී ය. එනම් උපන් දිනය හෝ අභාවය ස්මරණය කරන සංවත්සරවල දී ය. එවැනි අවස්ථාවල සාමාන්‍යයෙන් පවත්වනු ලබන පුද පූජා ද වෙයි. පවරන්නා හෙවත් අනුමෝදකයා නම් භාජනයකින් ජලය ගෙන වෙනත් භාජනයකට වත් කරමින් පාලි ගාථාවන් කියයි. එහි අන්තර්ගත අදහස මෙසේ ය.

යම් සේ ගංගාවන් පිරී ගිය කල

වහා ගලා ගොස් මහ සමුදුරට වදී ද

එසේ ම මෙතැනින් වෑහෙන ජලය ගලායන සේ

එහි සිටින මියගියවුනට ඵලදායී වේවා

උස් තැනින් වැගුරූ මේ ජලය

පහළට වැගිරී යන සේ මේ දුන් පින

එහි සිටින ජීවීන්ට අත්වේවා

නිධිකණ්ඩ සූත්‍රය - ඛුද්දක පාඨ

පින් අනුමෝදන් කිරීමේ මූලාරම්භය හා වැදගත්කම ශාස්ත්‍රීය විවාදයකට විවෘත වූවකි. මෙකී පැරැණි සිරිත අද දක්වා බොහෝ බෞද්ධ රටවල පවතින නමුදු මෙය අනුගමනය කරන බෞද්ධයන් අතුරෙන් මෙම පුණ්‍යානුමෝදනාවේ අර්ථය හා යෝග්‍ය ක්‍රියා පිළිවෙළ අවබෝධ කරගෙන ඇත්තේ ඉතා ටික දෙනෙකි. සමහරු නිකරුණේ කාලය හා ධනය මිය ගිය අය සිහි කිරීමේ උත්සව සහ පරිසාධනයන් සඳහා නාස්ති කෙරෙති. මේ පුද්ගලයෝ අධික වියදමින් භූමදානාගාර, සොහොන් කොත් තොරණ හා වෙනත් ආම්පන්න ගොඩ නැඟීමෙන් මිය ගිය වුනට සෙතක් සැලසිය නොහැකි බැව් වටහා ගෙන නොමැත. හඳුන්කූරු, සුවඳ කඩදාසි දැල්වීමෙන් පරලොව ගිය අයට ආධාර දිය හැකි ද? නැතහොත් සත්ව ඝාතනය කරමින් සතුන් බිලිපූජාවලට යොදා ගනිමින් ආහාර පානාදිය දීමෙන් මිය ගිය ඇත්තනට පිළිසරණ විය හැකි ද? තවද දුප්පතුනට දිය හැකි, මියගිය ඇත්තන් පරිහරණය කළ දෑ ගිනි දෙවියනට පුද කිරීමෙන් මිය ගිය අයට සැලසෙන සෙතක් නැත. එය නාස්ති කිරීමක් පමණකි. මිය ගිය අයට උදව් විය හැකි එකම ක්‍රමය නම් ඔවුන් සිහිකර ආගමානුකූල ක්‍රමයකට කිසියම් කුසල ක්‍රියාවක යෙදීම ය. එකී පුණ්‍ය ක්‍රියාවකට දන්දීම, පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, විහාරස්ථාන, අනාථ නිවාස, පුස්තකාල ආරෝග්‍යශාලා, දහම් පත් පොත් බෙදාදීම වැනි කටයුතු ඇතුළත් විය හැකි ය.

බුදුරදුන්ගේ අනුගාමිකයන් නැණවත් ලෙස කටයුතු කළ යුතු ය. කිසිවකු අන්ධානුකරණය නො කළ යුතු ය. වෙනත් අය මිය ගියවුන් වෙනුවෙන් යාඥා පවත්වන අතර බෞද්ධයෝ ඔවුන්ගේ මෛත්‍රී සහගත චෛතසික තරංග මිය ගිය අය වෙත පතුරුවති.

පුණ්‍ය ක්‍රියාවල යෙදෙමින් එම පින් මිය පරලොව ගියවුන්ගේ ශුභ සාධනය සඳහා අනුමෝදන් කෙරෙති. මිය ගිය අයගේ නම පැවතීමටත් ඔවුනට සැබෑ අන්දමින් හරසර දැක්වීමටත් හොඳම ක්‍රමය එයයි. ඔවුන් සුවපත් වූ විට මිය ගිය ඇත්තනට ද ඔවුන්ගේ ජීවමාන ඥාති මිත්‍රාදීනට ද ඒ අයගේ ආශීර්වාදය ද අන්‍යොන්‍ය කරණය ද සිදු විය හැකි ය.

එබැවින් ජීවතුන් අතර සිටින ඥාතීන්ගේ යුතුකම වන්නේ පින් අනුමෝදන් කරවීමෙන් හා කෙළින් ම මෛත්‍රිය පැතිරවීමෙන් තම මිය පරලොව ගිය අය සිහිපත් කිරීම ය.

දුරුතු අමාවක පෝය

ජනවාරි 21 සෙනසුරාදා පූ.භා. 06.19 න් අමාවක ලබා 22 ඉරිදා පූ.භා. 02.24 න් ගෙවේ.
21 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]