ජීවිතය නුවණින් දකිමු
ජීවිතය පුදුමාකාරයි. විටෙක සතුටින් ගෙවී යනවා. තවත් විටෙක දුක්ඛ දෝමනස්සයන්ගෙන් වගේ
ම විවිධාකාර ප්‍රශ්නවලින් පිරෙනවා.
මේ ලෝකයේ ජීවත්වන තාක් කල් ප්‍රශ්න, දුක් කරදර අපේ ජීවන අත්දැකීම්වල අංගයන් ලෙසින්
පවතිනවා. එක් අවස්ථාවක අපට ලාභ, කීර්ති, ප්‍රශංසා මෙන්ම සතුට ලැබෙනවා. එහෙත් තවත්
විටෙක මීට හාත්පසින්ම විරුද්ධ දේට මුහුණපාන්නට සිදුවෙනවා. මේ ජීවිතය හරියට ම
ඔරලෝසුවක “බට්ටා” වගේ. ඒ අතට යනවා. මේ අතට යනවා. එක් අවස්ථාවක දී අප ඉතා ආදරයෙන්
පිළිගන්නා සැප දෙසට ජීවිතය යනවා. තවත් විටෙක අප හැම වෙරවීර්යයක් ම යොදා වළක්වා
ගන්නට උත්සාහ කරන දුක පැත්තට ජීවිතය යනවා.
මේ සත්‍යය ඇති සැටියෙන් ම තේරුම් ගැනීමට උත්සාහ නොගෙන, මිනිසුන් කරන්නේ තමන්ට
මුහුණපාන්නට සිදුවන ප්‍රශ්න තව තවත් වැඩි කොට විශාල කොට සැලකීම ය. මෙය හරියට කෙන්ද
කන්ද කිරීමක් වැනි ය. තමන් පි‍්‍රය කරන යමකු හෝ වස්තුවක් හෝ නැති වූ විට බොහෝ අය
සිතන්නේ ඉන්පසු කිසි දිනෙක සතුටින් සිටින්නට හැකියාවක් නැතිවෙයි කියලයි.
යමකුගේ වුවමනා – එපාකම්, රුචි – අරුචිකම් ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන අය විසින්
කරදර හිරිහැර කරනු ලැබුණු විට කෙනකු සිතන්නේ ඊට පෙර නොවූ විරූ පරිදි කෲර අන්දමින්
තමන්ට සලකනු ලැබෙන බවයි. මේ ආකාරයෙන් සිතමින් දිගින් දිගට ම ඔවුන් සිතින් දුක්
විඳිමින් කම්පාවට පත් වෙනවා. කම්පාවට පත්වෙමින් දුක් විඳිනවාට වඩා නරකද, “සියලු
සංස්කාර ධර්මයන්ම අනිත්‍යයි. එනිසා සංස්කාර ධර්මයක් වූ මේ දුක්ඛදායක තත්ත්වයත්
කිසියම් දවසක පහවී යනවා ඇතැයි කියා අවබෝධ කොටගෙන තමන්ගේ සිතට වද දෙන සිතිවිලි අමතක
කිරීම.
අපට මේ ජීවිතයේ දී මුහුණ දෙන්නට සිදුවන සියලු දුක් කරදර දුක්ඛ දෝමනස්සයන්ගෙන්
මිදීමට මගක් ඇති බව අප මනා කොට අවබෝධ කර ගත යුතුයි. සදාකාලික දුකකට ගොදුරු වන්නේ,
එසේ වීමට ඉඩ දුන්නොත් පමණි. අපට එන දුක් කරදර කම්කටොළු ආදී සියලුම සංස්කාර ධර්මයන්
ඇති වන්නේ හේතු ප්‍රත්‍යයන් මඟිනුයි. හේතු – ප්‍රත්‍යයන්ට පරිබාහිරව කිසිවක් හට
ගන්නේ නෑ. මේ නිසා අපේ ප්‍රශ්නවලට ඒ වගේම දුක් කරදරවලට මූල හේතූන් සොයා ගත්විට, ඒ
සියල්ල නැතිකර දැමිය හැකි බව අප විසින්ම අවබෝධ කර ගත යුතුයි.
මේ ජීවිතයට ප්‍රශ්න පැමිණි විට, එම ප්‍රශ්න ඉදිරියේ දුර්මුඛ නොවී සිහිනුවණින්
කටයුතු කළ යුතුයි. කිසිම පෘතග්ජන පුද්ගලයකුට ලෞකික අංශයට නැඹුරු වූ අයකුට
ප්‍රශ්නවලින් සම්පූර්ණයෙන්ම මිදී සිටින්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. වෙනස පවතින්නේ ඒ ඒ
තැනැත්තා ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය මතයි.
අප ඉතා අගයන, නැතිනම් ආශා කරන යමක් නැති වෙන්නට පුළුවනි. මේ ආකාරයෙන් සිදුවන
පාඩුවට, හානියට පුද්ගලයන් මුහුණ දෙන ක්‍රම දෙකක් තිබෙනවා. සමහරු නැතිවුණු දේ, බිඳී
ගිය දේ ගැන සිතමින්, පසුතැවිලි වෙමින් අන් අයට දොස් පවරමින් ඒ ගැනම තැවි තැවී
සිටීමයි.
දෙවැනි ක්‍රමය “ගිය දේ ගියාවේ” , “නැති වූ දේ නැති වුණාවේ” තවත් ඒ ගැන සිත සිතා
සිතට දුක් කරදර වෙන්න අවශ්‍ය නෑ යැයි සිතා ඒ සිද්ධිය සිතින් ඉවත්කර දැමීමයි.
ඒ වගේ ම අපට තවත් ක්‍රමයක් තිබෙනවා.
ඒ, පාඩුව සිදුවීමට, එය බිඳී විනාශ වෙන්නට වූ හේතුව සොයා බලා මින් පසුව මෙවැනි දේ
සිදුවීම වළක්වා ගන්නට අපට පියවර ගත හැකියි. සිදු වූ ඒ පාඩුව මැකීමට, ඒ පාඩුවෙන්
ඇතිවන වෙනත් ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගත හැකියි. මේ සිදු වූ සිදුවීම්වලින් එතරම්
බරපතළ පාඩුවක්, නැතිනම් හානියක්, සිදු වී නැත්නම් එය සිතින් අමතක කොට දැමීම සඳහා
සිත වෙනත් අරමුණක පිහිටු විය හැකියි. එනම් මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවයයි” යැයි
සිත සිත හදාගත හැකියි. අපට දරාගත නොහැකි කිසියම් වූ අභාග්‍ය සම්පන්න දෙයක්
සිදුවුවහොත් අප කළ යුත්තේ ලෝකයේ යථා තත්ත්වය පිළිබඳ ලබා ඇති දැනුම ආධාර කොටගෙන එම
සිදුවීමට මුහුණ දීමට ශක්තිය වඩා ගැනීමයි.
එබඳු වූ අවස්ථාවක දී සිත දුබල වන්නට ඉඩ නොදී උද්‍යෝගිමත් මානසික ආකල්පයක් ඇති කර
ගැනීමට ඉටා ගත යුතුයි. යම් ලෙසකින් මෙවන් අවස්ථාවක සිත උකටලීව, දුබලව පැවතුණොත් එය
අපේම වරදින් ඇති වූ මානසික ආකල්පයක් බව තේරුම් ගත යුතුයි.
දුක ඇතිවන්නේ අපේම ක්‍රියාකලාපයන් හේතුකොටගෙන බවත්, අපේම නොදැනීම හේතු කොටගෙන බවත්
බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. දුක නැති කළ හැකි ආකාරය ද උන්වහන්සේ දක්වා
තිබෙනවා. මාර්ගය පෙන්වා ඇතත් සැපත ලැබීමට නම් අප ම ඒ සඳහා කටයුතු කළ යුතුයි.
සියලු ප්‍රශ්නවලට, දුක් කරදරවලට මුල වශයෙන් පවතින්නේ පුහුණුූ නොකරන ලද, දියුණු
නොකරන ලද සිතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් උගන්වන ලද නිවැරැදි භාවනා ක්‍රම
මඟින් සිතෙහි පවතින සියලු උකටලී ස්වභාවයන්, දුබල ස්වභාවයන් මුලිනුපුටා දැමිය
යුතුයි. සිත වනාහී නිරන්තරයෙන් ඒ මේ අත දුවනවා. එක් අරමුණක පිහිටන්නේ නැති බව
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට දී තිබෙනවා.
ඒ වගේ ම සංවර වූ සිත සැප ගෙන දෙන බවත්, නුවණැත්තා සිත සංවර කර ගන්නා බවත් උන්වහන්සේ
දේශනා කොට වදාළා,
අප උත්සාහ ගත යුතු නිරන්තරයෙන් චංචල වන සිත සංවර කොටගෙන, මේ ජීවිතයත්, පරලොව
ජීවිතයත් සාර්ථක කර ගැනීමට යි.
- දීපා පෙරේරා |