නමදිමු සිරිපා
බුදු හිමි පහස ලද සිරි සමනොළ කන්දයි
සුමන සමන් දෙවියන් වැඩ සිටි කන්දයි
ලෝ වැසි දනන් සැමට සෙත දෙන පින්බිමයි
සිරිපා වන්දනා ඇරඹුම නෙත් සිත් පිනවයි
දුක්ගිනි නිවා වඩවයි නිති මෙත් සිසිල
හදවත් සනසවයි කරුණා ගුණ මහිම
මෙත් මුදිතා ගුණයෙන් සිත් ඔද තෙද වඩන
කරුණා කරමු සිරිපා දුක් ගිනි නිවන
ලෝ සත වෙතට මෙත් කරුණා ගුණ විහිදූ
අම රස බෙදා දී දන හදවත් සැනසූ
සෝ ගිනිදැල් නිවා ලොව්තුරු මඟ සෑදූ
දොහොත් නඟමු තුම්මිනි සිරිපා සාධූ
ඇල්.ජේ. ආනන්දශීලි පෙරේරා
අබිනික්මන
මව් තුරුල්ලේ උණුසුමේ
සිහනයක දැවටී නිදන
බලා පුතු මුව
සිහින් හඬින් පියමං කොට
සසර ඉම සොයාවින්
නිවන් ගිරි හිස රැඳී
සරාගී හද නිවා
විරාගී බව ලොවට දුන්
නිදුකාණනේ
ඔබ වහන්සේ උදාර ය
පින්බර ය
මාස්පොත ධම්මජෝති හිමි
මීරිගම
සිත රැක ගනිමු
සහනය සතුට සැනසුම ලබා ගනු මැන
පුහුණුව මැදි ම් මාවත වෙයි දකිනු මැන
රහසක් නොමැත හිමි දහමෙහි කිසිම තැන
පහසක් ලබනු බුදු හිමි දෙසු දහම දැන
අහස පොළොව ගැටලන්නට යන්ට එපා
තමා හිසට තම අතමය සෙවණ දෙනා
පමා වුණොත් ලැබු මනු බව අපතෙ තමා
දමා මැදි මඟෙහි සිත රැක ගන්න තමා
විමලසේන හෙට්ටිආරච්චි
මව් සෙනෙහස
මා වෙනුවෙන් ඉපදුණු දරු සෙනෙහසට
ගතේ රුහිරු හැරුණේ රන් කිරිවලට
සම නොම වේ මේ ලොව අන් කිසිවකට
ආදර මවුනි ඔබ මට දුන් සෙනෙහසට
පැමිණි දා පටන් මා ඔබේ කුස තුළට
ඉවත දා සිතින් අන් සැප මුල්ලකට
බිහිවූ දා කුසින් ඔබේ පුතු මේ ලොවට
සතුටින් සිනා පෑවේ මා තුරුලු කොට
ඒ.එම්.අබේසිංහබණ්ඩා
මහනුවර
දුරුතු පොහොය
සම්බුදු බව ලබා නව මසකට පස්සේ
තුන් බෑ ජටිලයන් දමනය කර සිත් සේ
යක්සෙන් දමනයට මහියංගණයට වැඩියේ
සීතල දුරුතු පෝදාකයි මුල් මාසේ
සුමන සමන් දෙවියන් පෙරමුණ ගත්තේ
සත්රියනක් උසට කළ දාගැබ ඇත්තේ
කේශධාතු එහි නිදහන් කර ඇත්තේ
මියුගුණ මහ සෑය ඉදිවිය දුරුත්තේ
සමන් දෙවිඳුගෙ ඇරයුම පිළිගත්තේ
සම්බුදු පාද පිහිටෙව් සමනළ මත්තේ
නරයන් රකින බව සහතික කර ගත්තේ
සිරිපා වැඳුම අරඹයි මේ දුරුත්තේ
පී.ඒ. ලිලියන් අතුකෝරළ
අවසන් බැල්ම
තුරුණු වියේ
දඟකාර විසේටම
මුගුරකින්
නොනැවතී එක දිගට තළමින්
මැරූ උරගයාගේ දෑස් තුළ
අවසන් මොහොතේ තිබූ
අවසාන දිවි යදින
දුක් මුසු “ආයාචනා බැල්ම”
ජීවිතේ අවසාන භාගයේ
මහලු වියේ සයනයේ
පසුවෙනා අද දිනේ
මසිත තුළ නොනැවතී
දරණ ගසමින් පෙනය පුප්පා
දෂ්ට කරනා හැටී
උරග විස සිත පුරා ගත පුරා
මොහොතින් මොහොත පැතිරෙමින්
මා පෙළනා හැටී
කේ. ඩබ්ලිව්. සිරිසේන
මාලබේ
නමදිමු තිලොවග සමිඳු
පරවුණ මල් මිටෙන් අනියත බවක් කියා
දැල් වුණ පහන් ආලෝකය නිවී ගියා
සංවේදනා අප හදවත් පතුලෙ තියා
නිවනෙහි දොරටු නොවසමු නෙත කඳුළු තියා
අටලෝ දහම හැමටම පොදු බවක් කියා
සුසිනිඳු රුවැති මල් පරවී සැලී ගියා
සුපිපුණු සුවඳ මල් බුදු පාමුලේ තියා
නමඳිමු පුදමු අප සම්බුදු තිලොව පියා
චන්ද්‍රලතා ලියනගේ
උත්පලවන්නා
තෙරණින් වහන්සේ
පෙර බව පැතු විලස ගත නිල් පැහැ ගන්නා
සිරිබර සැවැත්පුරයට සිරිකත ගෙන්නා
දන හද පුබුදු කොට කරුණා ගුණ පෙන්නා
රූමත් කුමරියකි ඈ උත්පල වන්නා
අරුණලු සමඟ පිබිදුනු සේ කුසුම් කෙමී
දැහැනින් මිදී නිමලවූ දම් රසින් තෙමී
දෙව්රම් වෙහෙර ගොස් බැතිබර සිතින් නැමී
නැමදූ නිරන්තර සිරිපා ගොයුම් හිමී
ගෙවමින් සසර කතරෙහි ආ ගමන නොබා
නිමකොට අරි අටඟි මඟ වෙත දෙපිය තබා
ඉදු බල පෙන්වමින් අරහත් ඵලය ලබා
ඈ සැනසුණා විඳිමින් අම නිවන පබා
“පදුමුත්තර සුගත හිමිගෙන් වරම ලදූ
එ පිනෙන් මෙකප ලැබ ගති මහ බලය ඉදු
දෙසමින් පෙර පුවත තිලොවග සමිඳු බුදු
මෙහෙණින් අතර ඉදු අග සව් පදවි පිදූ
දඹගල්ලේ කේ.බී. රත්නායක
සෙනෙහස
දහඩිය හෙළා මහ පොළොවත් සමඟ ගැටී
නුඹෙ කුස පුරවන්න ඔහු දුක් වින්ද හැටී
සිහිවෙනවා නම් දරුවනි බොහොම වටී
පියවරුනගේ සෙනෙහස ලෝකයක් වටී
මව හා එකට අත්වැල් බැඳ යන ගමනේ
හිරුමෙන් ශක්තියෙන් දිරි දුන් පියවරුනේ
අප රැකගන්න දුක් විඳිමින් දිවි ගමනේ
අත්වැල නුඹයි පියතුමනි හද විමනේ
සුමනාවතී අත්තනායක
කන්දේගම දම්මින්න
සදහම් සුව
තිලෝගුරු අපෙ බුදු පියාණන් පා තැබූ දින හෙළ බිමේ
යක්ඛයන්, නාගයන්, දමනය වුණේ දහමට මේ බිමේ
තවත් කල් පන්දහස් වසරක් රැකෙන්නට සිරිලක් බිමේ
දෙසුව සුවහස් දනන් හට මෙත් වඩාලා දම් සුවේ
ගාමිණි ජයලත් තල්දෙන |