[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

දුෂ්කර වුව ද යුතුකම් මඟ නොහරින්න

දුෂ්කර වුව ද යුතුකම් මඟ නොහරින්න

කැපකිරීම යනු තමාට සිදුවන පීඩාවක්, අපහසුතාවයක් හෝ පාඩුවක් ඉවසමින් කෙනකු වෙනුවෙන් යමක් උදෙසා උපකාරයක් හෝ ක්‍රියාවක් කිරීමයි.

කැපකිරීම් දෙයාකාරයි. ඒ යහපත උදෙසා කරන කැපකිරීම සහ අයහපත උදෙසා කරන කැපකිරීමයි. යහපත් දෙයකට කැපකිරීමක් කිරීම දුෂ්කර දෙයක්. කැපකිරීම තුළ මෙත්සිත, කරුණාව, මුදිතාව ආදී සිතිවිලි ගැබ්ව තිබෙනවා.

කෙනෙක් තව අයකු උදෙසා යම් ක්‍රියාවක් සිදු කරන්නේ ද්වේෂ සිතින් හෝ වෙනත් කළ හැකි දෙයක් නොමැති නිසා නම්, එය සැබෑ කැපකිරීමක් වන්නේ නැහැ. අති ධාවනකාරි වූ වර්තමාන සමාජය තුළ යමකු වෙනුවෙන් කැපකිරීමක් කළ හැක්කේ ඉතා සීමිතවයි. එයට හේතුව නම් මෙකල ඇතැම් මිනිසුන් කෙලෙස් අධික, බොහෝ දුර්ගුණ ඇති, ප්‍රඥා රහිත සිත් ඇත්තන් වීමයි.

කෙසේ නමුත් මවුපියන් වනාහි දරුවන් කෙරෙහි මහත් වූ මෙත්, කරුණා සිත් ඇත්තෝ යි. තම දරුවා කෙරෙහි මවුපියන්ගේ සිත තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා සතර බ්‍රහ්ම විහරණ තිබෙනවා. ඒ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, බ්‍රහ්මයෝ කියන නාමය මවුපියන්ට කියන නාමයක්. පූර්ව ආචාර්යවරු යන මේ නාමයත් මවුපියන්ට කියන නමක්. දුර සිට වුවද රැගෙන එන ආහාරපානාදියෙන් උපස්ථාන ලැබිය යුතු උතුමන් යන මේ නාමය මවුපියන්ට කියන නමක්. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, දූ දරුවන්ට මවුපියන් බොහෝ උපකාරි වනවා. ඒ අය දරුවන් බිහි කරනවා. පෝෂණය කරනවා. රැක ගන්නවා. ලෝකයේ ජීවත්වන ආකාරය කියා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ දරුවන්ව මවුපියන්ගේ අගය කියා දුන්නේ උපස්ථාන කිරීමට බල කළේ මවුපියන්ගේ ගුණයත්, උපස්ථාන කිරීමෙන් දරුවාට සැලසෙන යහපතත් දන්නා නිසා ය. දක්නා නිසා ය.

දරුවකු කුස පිළිසිඳ ගත් දා පටන් මවුපියන් ඒ නොදුටු සිඟිත්තා වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරනවා. දරුවා බිහිකිරීමට තීරණය කිරීම ද ඔවුන් කරන මහා කැපකිරීමක්. අම්මා, තාත්තා ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප කළා නම් අප කවුරුත් මෙලොව එළිය දැකීමක් සිදු වන්නේ නෑ. දරුවා කුස හොවා මව තම ගතිගුණ,සිතුම් පැතුම් කෑම බීම පවා වෙනසකට ලක් කරද්දී පියා ඒ දරුවා වෙනුවෙන් අපමණ කැපකිරීම් කරනවා.

දරුවා උපන් පසු දරුවා ලෝකයට හඳුන්වා දෙනවා. යහපත අයහපත කියා දෙනවා. ගුණගරුක දරුවකු කරන්නට වෙහෙසෙනවා. දරුවා ඉදිරියේ මවුපියන් බොහෝ සේ ඉවසීම පුරුදු කරනවා. කුඩා දරුවා එකම ප්‍රශ්නය දහ වතාවක් ඇසුවද මවුපියන් එයට ඉවසීමෙන් පිළිතුරු දෙනවා. මෙසේ අපමණ කැපකිරීම් කරන ඒ මහා බ්‍රහ්මයාට සමාන අම්මා සහ තාත්තා දරුවා ඉපදුණ දා සිට ඔහුගේ හෝ ඇයගේ අනාගතය වෙනුවෙන් සුබ සිහින දකිනවා.

සමහර විටෙක මුළු ලෝකයම එක් වී දරුවා ප්‍රතික්ෂේප කරද්දී මවුපියෝ දෙදෙනා දරුවා අත නෑර ඔහු සමඟ සිටිනවා. එයට හොඳම උදාහරණය අංගුලිමාල මහ රහතන් වහන්සේගේ මෑණියන් වන මන්තානි බැමිණියයි.

එදා කොසොල් රජතුමා සේනාව රැස් කොට අංගුලිමාල අල්ලා ගන්නට යන බව ඇසූ ඒ අම්මා මිනීමරුවකුව සිටි තම පුතා වූ අංගුලිමාල වෙත යෑම අතිශයින් ම විස්මිත කැප කිරීමක්. අද පවා මහා අපරාධකරුවන් සිර ගත වූ විට ඔවුන්ට ඉතිරි වන්නේ අම්මා පමණයි.

එසේ අනේක දුක් දොම්නස් මහා කැපකිරීම් සිදු කොට සමාජයට පිවිසෙන දරුවා කලෙක උසස් අධ්‍යාපනය ලබා ඉහළ රැකියාවන්වල නිරත වෙද්දී වයස්ගත මවුපියන් අතහැර දමනුයේ සිත්පිත් නැති ආකාරයටයි. පිටරට රැකියාවට යන දරුවෝ නිසා මහලු මවුපියෝ තනි වෙනවා. එසේත් නැතිනම් මහමඟ හෝ මහලු නිවාසයකට යවන මහලු මවුපියෝ සිත්පිත් නැති ආකාරයට අසරණ කරනවා.

ඔවුන් තමාට කළ උපකාර ඉක්මණින් අමතක කරනවා. විවාහයෙන් පසු තමාට ලැබුණ ස්වාමියා වේවා බිරිඳ වේවා ඒ බහට අවනත වෙනවා. මහලු මඩමේ තනිවෙන අම්මා හෝ තාත්තා බලා සිටින්නේ’ අද නැත්නම් හෙට දරුවෝ ඇවිත් තමන් නිවසට රැගෙන යාවි කියලයි. ඔවුන්ට මුණ ගැසෙන සියලුම දෙනාට කියන්නේ තමා බලන්නට දරුවන් එවන ලෙසයි. ඒ අම්මා තාත්තාගේ සිතින් කැකෑරෙන මග ගිනි කන්දට වගකිව යුත්තේ කවුද? ඒ දෑස පුරා ගලා යන උණු කඳුළු නවතා දැමිය හැක්කේ කාටද? එවන් දුර්ගුණ දරුවන් අතර මහාගුණ ඇති සත්පුරුෂ දරුවන් ද නැතුවා නොවේ.

කාශ්‍යප බුද්ධ ශාසනයේ ජීවත්ව හුන් ඝටීකාර උපාසක එවන් දුර්ලභ සත්පුරුෂයෙක්. අනාගාමී ඵලයට පත් වී සිටි එතුමාට උතුම් පැවිදි ජීවිතයට ඇතුල් වන්න කෙතරම් සිතේ කැමැත්තක් තිබෙන්නට ඇතිද? නමුත් ගිහි ගෙදර රැඳුනේ දෑස නො පෙනෙන මවුපියන් වෙනුවෙන්. එතුමා උතුම් කැපකිරීමක් කළ මහා පුරුෂයෙක්.

මේ ලෝකයේ සෑම දරුවෙක් ම තම මවුපියන් වෙනුවෙන් කැපකිරීම් කරනවා නම් ඒ දෙනෙත්වල කඳුළු ගලන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මහලු මවුපියන් පෝෂණය කරන ගමන් ඔවුන්ට සේඛබල ධර්මවල පිහිටුවන ලෙසයි. ඒ ශ්‍රද්ධා, සීල, සුත (දහම් දැනුම) ත්‍යාග, ප්‍රඥා ඒ අම්මා තාත්තාට තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැත්නම් ඒ ගැන කරුණු කියා දී ශ්‍රද්ධාවෙහි පිහිටුවන්න කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

සීලය ඔවුන් පුරුදු කරන්නේ නැත්නම් සීලයේ සමාදන් කරවන ලෙස වදාළා. මවුපියන්ට දහම් දැනුම පුලුවන් අයුරු ලබා දෙන්න යැයි වදාළා. ඒ වගේම දන් දෙන්න අකැමැති මවුපියන් තා්‍යගයට පුරුදු කරන ලෙසත්, ඔවුන්ගේ ප්‍රඥාව වැඩෙන ලෙස දහම් කතා කරන ලෙසත් දරුවන්ට අවවාද කළේ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ එසේ කරන දරුවා පමණක් අම්මා තාත්තාගෙන් ගත් ණයවලින් නිදහස් බවයි.

දුරුතු අමාවක පෝය

ජනවාරි 21 සෙනසුරාදා පූ.භා. 06.19 න් අමාවක ලබා 22 ඉරිදා පූ.භා. 02.24 න් ගෙවේ.
21 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]