[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ලෝක ප්‍රජාවට බුදුදහමේ සත්‍ය පසක් කරන්නට මඟ පෑදූ බහුශ්‍රැත පඬිරුවන

ලෝක ප්‍රජාවට බුදුදහමේ සත්‍ය පසක් කරන්නට මඟ පෑදූ බහුශ්‍රැත පඬිරුවන

ජර්මනියේ ප්‍රධාන සංඝනායක ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධ පදනමේ සහ සුරිච් බෞද්ධ විහාරස්ථානයෙහි ප්‍රධාන ආධ්‍යාත්මික උපදේශක යටියන ශ්‍රී සුදර්ශන භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ අධිපති ආචාර්ය වල්පොල කල්‍යාණතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ දින පටන් නිර්මල බුදුදහම සුරැකි මහා පවුර ගරුතර සඟරුවන විය. එවන් වූ ශ්‍රී ලාංකික භික්ෂු වංශ කතාවේ ඉතිහාසය දෙස් විදෙස් පතළ ය. ලක්වැසියා දිවි හිමියෙන් සුරැකි බුදු දහම ලොව පුරා ව්‍යාප්ත කරන්නට එවක් පටන් මේ දක්වා කැප වූ යතිවරුන් බොහෝ ය.

ජර්මනියේ ප්‍රධාන සංඝනායක ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධ පදනමේ සහ සුරිච් බෞද්ධ විහාරස්ථානයෙහි ප්‍රධාන ආධ්‍යාත්මික උපදේශක යටියන ශ්‍රී සුදර්ශන භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ අධිපති ආචාර්ය වල්පොල කල්‍යාණතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විදේශීය ධර්මදූත සේවාවේ නියැළී සිටින ස්වාමින් වහන්සේ අතරින් අගයෙන් අගය කළ යුතු විශිෂ්ට ධර්මදූත සේවාවක නියැළී සිටින සුපේශල ශික්ෂාකාමී බහුශ්‍රැත පඬිරුවනක් වශයෙන් හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.

ශ්‍රී ලාංකික බෞද්ධයන් වන අපට ලෝකයට දිය හැකි උතුම් දායාදය නිර්මල ථෙරවාදී බුදුදහමයි. බෞද්ධ දර්ශනය ඔස්සේ නවීන විද්‍යාවේ අක් මුල් සොයා යන බටහිර හා යුරෝපා ගවේශකයන් බුදු දහමේ සත්‍ය බව පසක් කරද්දී ඒ සඳහා මඟ පෑදු පඬිරුවනක ලෙස උන්වහන්සේ අප හඳුන්වමු.

“බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙන විමුක්ති මාර්ගය, විමුක්ති දර්ශනය සාක්ෂාත් කර ගැනීමට අපට විදර්ශනා ඤාණය ඉතාම අවශ්‍ය වෙනවා. ඒ වුණත් මේ විදර්ශනා ඤාණ ලබා ගැනීම සඳහා දයාව, කරුණාව, සෙනෙහස, ළෙන්ගතුකම කියන මේ තොටිල්ලේ නැළවෙන්න අවශ්‍යයි. ඒ මඟින් අපට ඤාණ මාර්ගය අවබෝධ කරගෙන මේ සසර විමුක්තිය සාධනය කරගන්නට පුළුවන්. කරුණා, දයාව, සෙනෙහස දෙන්න ඔබට සතුට ලැබෙයි. ඔබ ඤාණවන්ත වෙන්න ඔබට විමුක්තිය ලැබෙයි යනුවෙන් උන්වහන්සේ ජාත්‍යන්තරය වෙත නිර්මල බුදුදහමේ හරය විග්‍රහකර දෙමින් විමුක්ති මාර්ගය කරා යන ගමන්මඟ පහදා දෙනු ලබයි.

1986 වර්ෂයේ දී ඉන්දියාවේ මහා බෝධි සමාගමට සම්බන්ධ වූ උන්වහන්සේ සාරානාත්හි භික්ෂු පුහුණු අභ්‍යාස විද්‍යාලය ආරම්භ කරමින් එහි විදුහල්පති ස්වාමින් වහන්සේ වශයෙන් ධර්ම ශාස්ත්‍රීය සේවයෙහි නියැළෙමින් ලෝක බෞද්ධ ජනතාවගේ හිතසුව උදෙසා නිර්මල දහමේ හරය අවබෝධ කරදිය හැකි සඟ පරපුරක් සම්බුද්ධ ශාසනය වෙත දායාද කිරීමට අනුපමේය මෙහෙවරක් ඉටුකළහ.

වෙසක් දිනය එක්සත් ජාතීන් විසින් පිළිගැනීම නිමිති කොට ශ්‍රී ලංකා තායිලන්ත මියන්මාර් රාජ්‍ය නියෝජිතයා වශයෙන් ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයා ලෙස ද, අපි‍්‍රකාව, ලතින් අමෙරිකාව, හා දකුණු යුරෝපීය රටවල් 30 ක ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සම්පූර්ණ සහයෝගය වල්පොල කල්‍යාණතිස්ස හිමිපාණන් වහන්සේ විසින් ලබා දුන්හ. යුරෝපයේ පැරැණිතම විහාරස්ථානය වන ජර්මනියේ බර්ලින් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් ජාතික සහ ජාත්‍යන්තරව සිදුකළ සේවය අගැයීමට ලක්කරමින් ස්‍යාමොපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් අභිධර්ම වාගීෂ්වරාචාර්ය ගෞරව නාමයෙන් සම්භාවනාවට පාත්‍ර කරමින් 1992 වර්ෂයේ දී ජර්මනියේ ප්‍රධාන සංඝනායක ධුරය ද උන්වහන්සේ වෙත පිරිනැමීමට ක්‍රියා කළහ.

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ යටියන ශ්‍රී සුදර්ශනාරාම විහාරය ආරම්භ කළ උන්වහන්සේ විහාරාධිපතීන් වහන්සේ වශයෙන් වර්තමානය වන විට එය ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කර ඇත. මෙවන් උදාර ශාසනික සේවයක් ඉටුකළ ආචාර්ය වල්පොල කල්‍යාණතිස්ස නායක හිමිපාණන් වහන්සේ 1996 වර්ෂයේ සිට මේ දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධ පදනම හා සූරිච් බෞද්ධ විහාරයේ ආධ්‍යාත්මික අධ්‍යක්ෂවරයා වශයෙන් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් බුදුදහම ඇසුරු කරමින් එරට වෙසෙන්නන් හට නිවැරැදි ජීවිතාවබෝධයක් ලබා දෙන අතර කටාන මඩම්පැල්ල ස්විස්ලංකා ධම්ම මධ්‍යස්ථානය නමින් භාවනා මධ්‍යස්ථානයක් ද ආරම්භ කර ඇත. උතුම් පරාර්ථචර්යාව ම ගුරුකොට ගනිමින් සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයත්, දෙස් විදෙස් ජනතාවගේ අභිවෘද්ධිය පිණිසත්, උදාර සේවාවන් රැසක් සිදුකරමින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයේ ඉහළින්ම ඔසවා තැබීමට ක්‍රියා කරන වල්පොල කල්‍යාණතිස්ස නායක ස්වාමින් වහන්සේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය වෙතින් ද ගෞරව බහුමානයට පාත්‍රවූහ. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍යපාද වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් එංගලන්ත තේමිස් බෞද්ධ විහාරස්ථානයේ දී ගෞරව උපාධියක් පිරිනැමීමට කටයුතු කළ අවස්ථාය. උතුම් වූ පැවිදි ජීවිතය නිසි ලෙස පවත්වාගෙන යමින් ශාසනික ප්‍රතිපදාවන් කෙරෙහි ඇල්මකින් හා ගෞරවයකින් ක්‍රියා කරන නාහිමිපාණන් වහන්සේ වෙත ස්විට්සර්ලන්තයෙන් මහා ධර්ම ප්‍රචාරක යන ගෞරව උපාධියක්ද වෙනිසියුලා විශ්වවිද්‍යාලයේ සම්මාන ආචාර්ය උපාධියක් ද, පිරිනැමීමට කටයුතු කර ඇත.

විනයානුකූල සුපේශල ශික්ෂාකාමී පාණ්ඩිත්‍යයෙන් අනූන පඬිරුවනක් වශයෙන් ලෝක බෞද්ධ ජනතාව අතර ගෞරවාදරයට පාත්‍රවූ උන්වහන්සේ යටියන සරණතිස්ස නාහිමිපාණන් වහන්සේගේ හා දොරණාගොඩ සදානන්ද මහ පිරිවෙනේ කුරුකොහොගොඩ ජිණානන්ද නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් විය. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උප කුලපති වූ කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වූ අතර, ආඬිඅම්බලමේ සුගුණතිස්ස නාහිමි, යටියන විපුලතිස්ස නාහිමි යන ස්වාමීන් වහන්සේ සහාය ආචාර්යන් වහන්සේ වූහ.

1954 වර්ෂයේ දී ජන්මලාභය ලැබූ උන්වහන්සේ පූර්වෝකෘත පුණ්‍ය මහිමයට අනුව 1967 වර්ෂයේදී සම්මාසම්බුද්ධ ශාසනයේ උතුම් පැවිදි බව ලබා ආඬිඅම්බලම වේළුවනාරාම පිරිවෙන සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙන, පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙන, දෙල්ගොඩ කල්‍යාණදීප පිරිවෙන යන ලංකා ශාසනම්බරය අලෝකවත් කළ පරිවේණස්ථානවලින් ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. අනතුරුව කඳුබොඩ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයෙන් භාවනා පුහුණුව ප්‍රගුණ කළ උන්වහන්සේ ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, ආචාර්ය උපාධියත්, ප්‍රංශයේ ඩිගෝල විශ්වවිද්‍යාලයෙන් ප්‍රංශ භාෂා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ලබා ඇත.

දුරුතු අමාවක පෝය

ජනවාරි 21 සෙනසුරාදා පූ.භා. 06.19 න් අමාවක ලබා 22 ඉරිදා පූ.භා. 02.24 න් ගෙවේ.
21 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]