[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දියුණුවට බාධා කරන ළාමක පිළිවෙත්ගැන දන්නවාද ?

දියුණුවට බාධා කරන ළාමක පිළිවෙත්ගැන දන්නවාද ?

දීඝනිකායේ සඳහන් වන ඉතා වැදගත් සූත්‍ර ධර්මයක් වන සිඟාලෝවාද සූත්‍රය පුද්ගලයාගේ දෙලොව දියුණුව සඳහා මඟ කියා දෙන්නකි. බොහෝ සෙයින් ගෘහ ජීවිතයක් පවත්වා ගත යුත්තේ කෙසේ ද යන්න මෙයින් මනාව පිළිබිඹු වේ.

පියාගේ අවවාද පිළිපැදීමක් වශයෙන් ‘සිඟාල’ නම් ගෘහ පුත්‍රයා පාන්දරින්ම නැඟිට ස්නානය කොට තෙත රෙදි හා තෙත කෙස්පිටින් සදිසා නමස්කාරයෙහි යෙදී සිටින අයුරු බුදුරජාණන් වහන්සේ දුටු සේක.

ආර්ය විනයෙහි සදිසා නමස්කාරය සිදු කරනු ලබන්නේ මෙලෙස නොවේ යැයි දේශනා කළ බුදුන් වහන්සේගෙන් සිඟාල ගෘහපති විසින් විමසනු ලබන්නේ, ඒ කෙසේදැයි කියා ය.

ඉන්පසු බුදු හිමියෝ සිඟාලෝවාද සූත්‍රය දේශනා කරමින් නිවැරැදි මඟ මැනවින් පෙන්වා දුන් සේක. ඒ අතර තුදුස් ළාමක ධර්ම වශයෙන් අපගේ දෙලොව දිවිමඟ සාර්ථක කර ගැනීමෙහිලා ඉවහල් වන කරුණු 14 ක් ද බුද්ධ දේශනාවෙහි සඳහන් වෙයි.

පුද්ගලයා පාපයෙන් තොරව නිවැරැදි, දැහැමි මාවතක් වෙත යොමු වීම මෙම තුදුස් ළාමක ධර්ම වටහාගෙන එයින් වැළකී සිටීමෙන් සිදුවෙයි. ඒ

සතර කර්ම ක්ලේශ

සතර අගති

ධන විනාශ මුඛ හය යන ඒවා ය.

සතර කර්ම ක්ලේශ

ප්‍රාණඝාතය - පංචශීල ප්‍රතිපදාවේ පළමුවන ශික්ෂා පදය මඟින් අදහස් කරන්නේ සත්ත්ව ඝාතනයෙන් වැළකීමයි. පුද්ගලයා හැමවිටම මනුෂ්‍යයා ඇතුළු සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාවෙන්, දයාවෙන් හා අනුකම්පාවෙන් යුතුව ක්‍රියා කළ යුතු බවත් ප්‍රාණඝාතයෙන් වැළකිය යුතු බවත්, බුදුහිමියන් මනාව දේශනා කොට ඇත.

අදත්තාදානය - සොරකම හෙවත් නොදුන් දේ ගැනීම පංචශීලයෙහි දෙවැනි ශික්ෂා පදයයි. පුද්ගලයා සොරකමට යොමුවීම සමාජයේ නොයෙක් ගැටලුකාරී තත්ත්වයන් පැන නැඟීම සඳහා හේතුවක් වෙයි. මේ නිසා සෑම අයුරින්ම සමාජ පරිහානිය සිදුවන අතර, සාමකාමී ධාර්මික සමාජයක් බිහි කිරීම උදෙසා සොරකමින් වැළකීම ඉතා වැදගත් පිළිවෙතක් බව බුද්ධ දේශනාවයි.

කාමයෙහි වරදවා හැසිරීම - ගිහි දිවියක් ගත කරන පුද්ගලයා පංචකාම සම්පත් අනුභව කරයි. එහෙත් එයින් අගතියට ගොස් ක්‍රියා කිරීම පරිහානියට මඟක් බව බුදුහිමියෝ පෙන්වා දෙයි. මේ නිසා කාමයේ වරදවා හැසිරීමෙන් වෙන්වීම සාමකාමී, සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීම සඳහා ඉතා වැදගත් වන බව බුදුදහම පෙන්වාදෙයි.

මුසාවාදය - සතර කර්ම ක්ලේශයන්හි අවසාන කරුණ වන මෙයින් පෙන්වා දෙනු ලබන්නේ බොරු කීමෙන් වැළකිය යුතු බවයි. බොරු කීම තුළින් සමාජයෙහි බොහෝ ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වන අතර, එකිනෙකා අතර ඇති සුහදතාව ද විනාශයට පත් වෙයි. මේ නිසා ඇතැම් විට ජීවිත මඟින් ද වන්දි ගෙවීමට සිදුවන අවස්ථා අපට සමාජය තුළින් දැකගත හැකි ය. තුදුස් ළාමක ධර්මයන්හි සඳහන් වන මුසාවාදයෙන් තොරවීම නිසා මිනිසා දැහැමි වන අතර, සාමකාමී සමාජයක් නිර්මාණය කිරීමට එය හේතු වෙයි.

සතර අගති

ඡන්දය - ඡන්දය යනු කැමැත්තයි. පුද්ගලයා යමක් ලබා ගැනීම උදෙසා අගතිගාමීව ක්‍රියා කිරීමට පෙළඹීම සමාජයේ නොයෙක් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරයි. මෙය ජන ජීවිතය හා සාමකාමී බව විනාශ වීමට හේතුවන බව බුදුහිමියෝ පෙන්වා දෙති.

ද්වේශය - මෙයින් අදහස් කරන්නේ තරහව හෙවත් කේන්තියයි. මේ නිසා ජීවිතය හා දේපළ හානි බෙහෙවින් සිදුවන අතර, ද්වේශ සහගත පුද්ගලයා මුළුමහත් සමාජයට ම ගැටලුවක් වන බව මෙයින් පෙන්වා දෙයි.

භය - භය යනු බියෙන් අගතියට යාමයි. පුද්ගලයා බිය හේතු කොටගෙන අන් සත්ත්වයන්ට හිංසා පීඩා කිරීම සඳහා පෙළඹෙයි. මෙම අගතියට පැමිණීම නිසා පුද්ගලයා අයුක්තිය, අසාධාරණය හමුවේ ද ඇතැම් විට මුනිවත රකියි. සමාජ පරිහානිය සඳහා මෙය මහත් ගැටලුකාරී තත්ත්වයක් බව මෙයින් මනාව අවධාරණය වෙයි.

මෝහය - සතර අගතීන්හි අවසාන කරුණ වන මෝහය යනු මෝඩකමයි. කර්මය හා කර්ම ඵලය විශ්වාස නොකිරීම යන පැහැදිලි කිරීම මේ සඳහා බෙහෙවින් උචිත වෙයි. මෝහය නිසා පුද්ගලයා මොහොතින් මොහොත පරිහානියෙහි මඟට යොමු වන අතර, සමාජ ගැටලු සඳහා එය හේතු වෙයි.

අපාය මුඛ

තුදුස් ළාමක ධර්ම අතර සඳහන් වන අපාය මුඛ යන වදනින් පැහැදිලි වන්නේ පුද්ගලයා පිරිහීමට හෙවත් අගතියට යොමු වන කරුණු යන්නයි. මෙයින් ඈත් වී යහමඟට යොමු වීම තුළ අර්ථවත් සදාචාර සම්පන්න. සමාජයක් බිහි කිරීමට හැකි බව බුද්ධ දේශනාව තුළ මනාව පෙන්වා දී ඇත.

රහමෙර පානය - පංචශීල ප්‍රතිපදාවෙහි අවසාන ශික්ෂා පදය වන මෙය, පුද්ගලයා අගතියට හෙවත් පිරිහීමට පත් කරන ප්‍රබල කරුණකි. වත්මන් සමාජය දෙස අවධානය යොමු කිරීමේ දී රහමෙර පානය හේතුවෙන් නොයෙක් ගැටලු පැන නැඟී ඇති අතර, ඇතැම් අය තම වටිනා ජීවිතය එයින් විනාශයට පත්කර ගනිති. සුරාවෙහි ආදීනව සිඟාලෝවාද සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙයි.

තමාගේ ධනය විනාශයට පත්වීම, කලකෝලාහලවලට යොමුවීම, විවිධ රෝගාබාධවලට ගොදුරු වීම, අප කීර්තියට පත්වීම හා නුවණ දුර්වල වීම ය.

නොකල්හි වීථි සංචාරය

කාලය රන් හා සමානයි යන කියමනට අනුව, පුද්ගලයා තම වටිනා කාලය නිකරුණේ කඩපිල් මත හෝ මහ මඟ නිකරුණේ වැය නොකළ යුතු ය. එලෙස ජීවත් වීම මඟින් ඔහුට නොයෙක් අන්දමේ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවන බව මෙම සූත්‍රය මඟින් බුදුහිමියෝ පෙන්වා දී ඇත. තමා අනාරක්ෂිතයකු වීම, තම අඹු දරුවන් ද අනාරක්ෂිත වීම, ස්වකීය වස්තුවද අනාරක්ෂිත වීම, පාප ක්‍රියාවන්හි සැක කටයුත්තකු වීම, අභූත චෝදනාවන්ට ලක්වීම හා බොහෝ කරදර හිරිහැරවලට ලක්වීම ය.

උත්සව දර්ශනාදියෙහි ලොල් වීම

ගිහි දිවියක් හෙවත් පංච කාම භෝගී දිවි පෙවෙතක් ගත කරන පුද්ගලයාට උත්සව දර්ශනාදිය නැරැඹීම තහනමක් නොවේ. එහෙත් ඒවා කෙරෙහි දැඩිව ලොල්වීමෙන් ක්‍රියා කිරීම තුළ පරිහානියට පත්වන බව බුද්ධ දේශනා මඟින් මැනවින් පෙන්වා දී ඇත.

දූකෙළියෙහි යෙදීම

පරිහානියට පත්වන ප්‍රබල හේතුවක් වන දූකෙළිය හෙවත් සූදුව නිසා පුද්ගලයා දිනෙන් දින විනාශය කරා ගමන් කරයි. සූදුවට ලොල් වීම තුළ ඇති ආදීනව 6 ක් සිඟාලෝවාද සූත්‍රය පෙන්වා දී ඇත.

දිනන්නා වෛරයට ලක්වෙයි
පරදින්නා ශෝකයට පත්වෙයි
දැක දැක ධනය විනාශ වෙයි
ඔහුගේ වචන පිළිගනු නොලැබෙයි
මිත්‍රාදීන්ගේ පරිභවයට ලක්වෙයි
අවාහ විවාහාදියෙහි දී බැහැර කරයි

පාපමිත්‍ර සේවනය

මෙලොව දිවි පෙවෙතක් ගත කරනු ලබන අප සියලු දෙනා ඇසුරට සුදුසු පරිසරයක් තෝරා ගත යුතු ය. බුදුරදුන් පෙන්වා දෙන්නේ පාප මිත්‍ර සේවනයෙන් බැහැරව කල්‍යාණ මිත්‍රයන් ඇසුරට, තෝරා ගත යුතු බවයි.

අලසකම

පුද්ගලයා ජීවිතය ගත කළ යුත්තේ උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙනි. අලසකමින් කටයුතු කිරීම පරිහානියට හේතු වේ. උත්සාහයෙන් තොරව අලසකමින් කටයුතු කිරීම තුළ ඇති ආදීනව බුදුහිමියෝ සිඟාල ගෘහපතියාට පෙන්වාදී ඇත. මෙසේ ක්‍රියා කරන තැනැත්තාට දියුණුවක් කෙසේවත් අපේක්ෂා කළ නොහැකි බව මනාව පැහැදිලි කොට ඇත.

ඉහත සඳහන් කරන ලද තුදුස් ළාමක ධර්ම පිළිබඳ දැන සිටීම අපගේ දිවි මඟ සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් හේතුවෙයි. ගෘහ දිවියක් ගත කරන හැම දෙනාටම ඒවා දැන සිටීමෙන් ජීවිතයට ලැබෙන පිටිවහල ඉතා විශාල ය.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රය දේශනා කිරීම මඟින් අපේක්ෂා වූයේ ද පුද්ගලයාගේ දිවි පෙවෙත සාර්ථක මඟට යොමු කිරීමයි. “උභය ලෝක විජයාය”

දෙලොව දියුණුව ඇති කර ගැනීම උදෙසා බුද්ධිමත් ඔබත් මෙම වටිනා දහම් කරුණු පිළිබඳ අවබෝධය ඔබේ වටිනා මිනිසත් බව ආලෝකවත් කර ගැනීමට උපයෝගි කර ගන්න.

බිනර අව අටවක පෝය

 සැප්තැම්බර් 17 සෙනසුරාදා අපරභාග 02.18 අව අටවක ලබා 18 ඉරිදා අපරභාග 04.36 ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]