[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තථාගතයන් වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණ සමුදාය අතර ජීවමාන වූ අනුත්තරීය ධර්ම

තථාගතයන් වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණ සමුදාය අතර ජීවමාන වූ අනුත්තරීය ධර්ම

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම සිදුවන්නේ ඉතා කලාතුරකිනි. ඒ බව ‘බුද්ධුප්පාදෝච දුල්ලභො’ යන්නෙන් තහවුරු වේ. පහසුවෙන් ලබා ගත නොහැකි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් පෙරුම් පුරා ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමකගේ පහළ වීම සිදුවේ.

මෙම මහා කල්පය තුළ පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී යන සමත්‍රිංශත් බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් පසු ක්‍රි. පූ. 6 වන ශතවර්ෂයේ දී අනුත්තර සම්මා සම්බෝධියට පත් වූයේ අද වැනි වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනක දී ය. අදින් වර්ෂ 2566 කට පෙර සිදුවූ එම අසිරිමත් සිදුවීම නිමිත්තෙන් මෙම ලිපිය සැකසේ.

බුද්ධ යනු අවබෝධයයි. එනම් චතුරාර්ය සත්‍යාවබෝධයයි. ඒ බව,

“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවේතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ”

සේල නම් බමුණකු විසින් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ ස්වාමීනී ඔබ වහන්සේගේ නම ගෞතම වුව ද මිනිස්සු ඔබ වහන්සේට ‘බුද්ධ’ යනුවෙන් අමතති. එම ඇමතුම පිළිගැනීමට ඔබ වහන්සේ සුදුසු වන්නේ ද? යනුවෙනි.

ඊට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ

බමුණ, මම ලෝකයේ දැනගත යුතු සියල්ල දැනගතිමි. වර්ධනය කළ යුතු සියල්ල වර්ධනය කළෙමි. ප්‍රහීණ කළ යුතු සියල්ල ප්‍රහීණ කළෙමි. එම නිසා මම බුද්ධ යනුවෙන් ඇමතීමට සුදුසු වෙමි යනුවෙනි.

එසේ හෙයින් බුදුරජාණන් වහන්සේ සියලු දතමනා ධර්මයන් මනා කොට දැන භාවිත කළ, මනා ධර්මයන් භාවිත කොට වදාළ, දුරුකළ යුතු ධර්මයන් දුරින්ම දුරු කළ උත්තමයන් වහන්සේ යි.

ඒ අනුව සංස්කාර ධර්මයන් සකසා දැන භාවිත ධර්මයන් විශේෂයෙන් දැන, ලක්ෂණ ධර්ම සංලක්‍ෂණ කොට දැන, ආර්ය සත්‍යයන් විශේෂයෙන් දැන වදාළ උතුමන් වහන්සේ යි.

දේවත්ත්වාරෝපණය කරගෙන සිටි ලෝකයේ වෙනත් ශාස්තෘවරුනට වඩා බුදුරජාණන් වහන්සේගේ විශේෂ ලක්‍ෂණය වන්නේ උන්වහන්සේ මනුෂ්‍යයකු වීමයි. ඒ බව අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ ද්‍රෝණ සූත්‍රයේ දී ද්‍රෝණ නම් බමුණා විසින් විමසන ලද ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ ලබා දුන් පිළිතුරින් පැහැදිලි වේ.

ස්වාමීනී ඔබ වහන්සේ දෙවියෙක් ද? ගාන්ධර්වයෙක් ද? නාගයෙක් ද? යක්ෂයෙක් ද? මනුෂ්‍යයෙක් ද?

බමුණ මම දෙවියකු, ගාන්ධර්වයකු, නාගයකු හෝ යක්ෂයකු නොවෙමි. මිනිසුන් අතර සිටින උත්තරීතර මනුෂ්‍යයෙක්මි. යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දී වදාළහ.

මනුෂ්‍යයකු වුව ද සාමාන්‍ය මිනිසුන් ළඟ ඇති කාමාදී ආශ්‍රව ධර්ම ප්‍රහීණ කළ මිනිසෙකි. සාමාන්‍ය මිනිසකු ද නොවෙමි. උත්තරීතර මිනිසකු වෙමි. යනුවෙන් ද වදාළහ.

එවන් උත්තරීතර ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවීම සිදුවූ මෙවන් පින්බර වෙසඟ පුන් පොහෝ දිනක උන්වහන්සේගේ සුවිශේෂ ගුණ දහසයක් (16) ඇතුළත්ව ඇති ‘සම්පසාදනීය’ සූත්‍රය ආශ්‍රයෙන් බුදුගුණ විමසා බැලීමක් කරමු.

දීඝ නිකායේ තෘතීය භාගයට අයත් පාථික වග්ගයේ පස්වන සූත්‍රය සම්පසාදනීය සූත්‍රයයි.

‘ඒවං මෙසුතං එකං සමයං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බ වනෙ’

දිනක් බුදුරජාණන් වහන්සේ නාලන්දාවට අයත් පාවාරික නම් අඹ වනයෙහි වැඩ වාසය කරන විට එහි වැඩම කළ මහා ප්‍රාඥ සැරියුත් මහ රහතන් වහන්සේ ‘ස්වාමීනී සම්බෝධි ඥානයෙන් බුදුරජාණන් වහන්සේට වඩා අභිඤ්ඤෙය්‍යතර වෙනත් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් අතීතයෙහි ඇති නොවීය. අනාගතයෙහිත් ඇති නොවන්නේ ය. වර්තමානයෙහි ද නැත.’ යනුවෙන් ප්‍රකාශ කළහ.

එවිට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත ඔබ කළේ අභීත උදාර ප්‍රකාශයකි. සිංහ නාදයකි. ඒකාන්ත නිසැක ගැනීමකි. සාරිපුත්ත අතීත බුදුවරු, අනාගත බුදුවරු මෙන්ම මෙකල සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මෙබදු විහරණ විමුක්ති ඇත්තාහුම වෙති. ඔබගේ සිතින් උන්වහන්සේලාගේ සිත් පිරිසිඳ දක්නේ දැ'යි විමසූ සේක.

එවිට සැරියුත් හිමියන් නැත ස්වාමීනී,යි පිළිතුරු දුන්හ. ඔබට එවැනි චේතෝපරියාය ඤාණයක් නැතිනම් ඔබ මෙවැනි අභීත ප්‍රකාශයක්, සිංහනාදයක් කළේ කුමක් නිසා දැයි විමසූහ. ස්වාමීනී, මට එවැනි චේතෝපරියාය ඤාණයක් නැත ද මම අනුමාන ඤාණය තුළින් එසේ ප්‍රකාශ කළෙමි’යි වදාළහ.

“සෙය්‍යථාපි භන්තෙ රඤ්ඤො පාඨචන්තිමං නගරං දළ්හුද්ධානං දළ්හ පාකාරතොරණං එකද්වාරං

තත්‍රස්ස මෙධාවි අඤ්ඤාතානං පණ්ඩිතො විසිත්තො නිවාරෙතො පවෙසෙතො සො තස්ස නගරස්ස සමන්තා අනුපරියාය පථං අනුක්කම්මානො න පස්සෙය්‍ය පාකාර චම්භිං වා විවරං වා අන්තමසො බිළාර නිස්සක්කම මත්තන්ති.” ‘ස්වාමීනී, ඇතුළුවීම සඳහා සහ පිටවීම සඳහා එකම දොරටුවක් පමණක් ඇති අවම වශයෙන් බළලෙකුටවත් රිංගා යාමට කුඩා හෝ සිදුරක්වත් නොමැතිව පවුරු ප්‍රාකාරවලින් වටකරන ලද නගරයකට ඇතුළුවන, පිටවන, ඕනෑම අයකු එකම දොරටුවෙන් පිටවිය යුතු බව දන්නා දොරටුපාලකයකු මෙන් සියලුම බුදුවරයන් වහන්සේලා සිතෙහි කෙලෙස් වඩන, නුවණ දුර්වල කරන පඤ්චනීවරණ ධර්මයන් පහ කර සතර සතිපට්ඨානයෙහි මනාව සිත පිහිටුවා සප්ත බොජ්ඣංගයන් මැනවින් දියුණු කොට සම්මා සම්බුද්ධත්වයට පත්වේ යැයි මැනවින් දනිමි.’ යනුවෙන් වදාළහ.

“ඉදාහං භන්තෙ යෙන භගවා තෙනුපසංකමි ධම්මස්සවනාය’

ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින තැනට පැමිණියේ ධර්ම ශ්‍රවණය සඳහායි. ස්වාමීනි තථාගතයන් වහන්සේ මට උතුම් ධර්මය කුසලාකුසල ආදිය මැනවින් දේශනා කරන ලදහ. එම ධර්මය අසා ඒකාන්තයෙන් ම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයහ. ධර්මය ස්වාක්ඛාතයහ. ශ්‍රාවක සංඝයා සුපටිපන්නයහ. යනාදිය මැනවින් තේරුම් ගතිමි යි වදාළහ.

මෙසේ වදාළ සැරියුත් මහරහතන් වහන්සේ තුන් කල්හි වැඩ සිටින බුදුරජාණන් වහන්සේ නමක් සතු අභිඤ්ඤෙය්‍යතර ලක්ෂණ හෙවත් අනුත්තරීය ධර්ම දහසයක් (16) දේශනා කළහ.

එම අනුත්තරීය ධර්ම දහසය පිළිබඳ විස්තර වෙසක් අව අටවක පෝදා (22)පත්‍රයේ පළවේ.

වෙසක් පුර පසළොස්වක

මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ.
 15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]