[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝබකම අතහැර හදවතින්ම දෙන්න පුරුදු වෙන්න - කොළඹ 07 විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සභාපති

ලෝබකම අතහැර හදවතින්ම දෙන්න පුරුදු වෙන්න - කොළඹ 07 විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සභාපති

බුදු, පසේ බුදු, මහ රහත්වීමට නම් බුද්ධකාරක ධර්ම හෙවත් පාරමිතා පුරන්නට අවශ්‍යයි. මේ පාරමිතා අතුරින් මුල්ම පාරමිතාව දාන පාරමිතාවයි. දන් නොදී අනුන්ට යමක් දෙන්නට මැළිකම් දක්වන්නාට අනෙකුත් පින්කම්, පාරමිතාවන් පුරන එක අපහසුයි. ඒ නිසා යමෙක් සසරින් එතෙරවීමට සිතා පින් පුරනවා නම් මුලින්ම හුරුවිය යුත්තේ දන් දීමටයි. එවන් අසීරු කාර්යයක නියැළෙමින් දානමය පින් පුරන සත්පුරුෂයකු මෙවර ‘රුවගුණ වරුණ’ විශේෂාංගයට එක්කර ගතිමි. ඔහු කොළඹ 07 විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සභාපති, විදුර රණසිංහ මහතායි. ඔහුත් සමඟ කළ සාකච්ඡාවකි මේ.

මම ඉපදුණේ කෝට්ටේ. තාත්තා දයාරත්න රණසිංහ. එතුමා ඉරිදා දිවයින පත්‍රයේ ප්‍රධාන කර්තෘ ලෙස සේවය කළා. අම්මා ලලිතා ගමගේ. මට එක සහෝදරයෙක් ඉන්නවා. ඔහු නමින් අර්ජුන රණසිංහ නාවික ඉංජිනේරුවෙක්. අපි කුඩා කාලයේ ගෙදර හොඳ බෞද්ධ පරිසරයක් තිබුණා.

නිවසේ වෙනම ස්ථානයක ලස්සන බුදු ගෙයක් හදල තිබුණා. හැමදාම හවසට ගෙදර හැමෝම එකතුවෙලා පහන තියනවා, බුදුන් වඳීනවා. බුදුගෙයි පහන පත්තු කිරීමට අනිවාර්යයෙන් සම්පුර්ණ කළ යුතු සුදුසුකමක් තිබෙනවා. ඒ තමයි පන්සිල් පද පහ ආරක්ෂා කරන්නට ඕනේ. “පන්සිල් රකින්න බැරි නම් පහන් පත්තු කරන්න එපා “ ඒක තාත්තාගේ නීතියක්. ඒ නිසා අපි දිවිහිමියෙන් පන්සිල් රැක්කා. කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයත් සමග අපේ තාත්තා බොහොම සම්බන්ධයි. එහි තිබුණු සෑම පින්කමකටම අපිවත් එක්කගෙන ගියා.

මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ මහානාම විද්‍යාලයේ. ඒ විද්‍යාලයේ හිටපු ගුරු දෙවිවරු අම්මා, තාත්තා වගේ ආදරයෙන් අපට හොඳ නරක කියා දුන්නා. ඒ ලබපු හික්මීම, විනය, ආදර්ශය ජීවිතය සාර්ථක කර ගැනීමට පිටිවහලක් වුණා.

උසස් අධ්‍යාපනයෙන් පසුව පෞද්ගලික බැංකුවක මට මුල්ම රැකියාව ලැබෙනවා. වසර 05 පමණ සේවා කාලයකින් පසුව බැංකු රැකියාවට සමු දෙනවා. ඒ මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි. විදුරවී ප්‍රින්ටර්ස් නමින් මුද්‍රණාලයක් පටන් ගන්නවා. එවකට මගේ තාත්තා “නිවන “ නමින් පොත් පෙළක් පළ කළා. එම පොත මුද්‍රණය කිරීම සඳහායි මේ මුද්‍රණාලය ආරම්භ කළේ.

මට ඒ අතීතයේ එක දවසක් ගැන හොඳ මතකයක් තිබෙනවා. 1996 මගේ දුව ඉපදුණු දවස. එදා ඇයගේ ජන්ම පත්‍රය පරික්ෂා කළ ඡ්‍යොතිෂ්‍යයන් වයස අවුරුදු 9 දී අය මරණයට පත්වන බව පැවසුවා. එයින් පසු මම මහත් කම්පනයට පත්වුණා. මේ පුවත මගේ හිතවත් ස්වාමින් වහන්සේලාට පැවසුවා. ධර්මානුකුල පිහිටක් පැතුවා. “මරණයට කැප වූ සතුන්ට අභය දානය දෙන්න “ උන්වහන්සේලා පැවසුවා. එදා සිට අද දක්වාම සෑම මාසයකම මරණයට කැප වූ ගවයන්, කුකුලන්, තාරාවන්, ඇතුළු සතුන් 150කට පමණ අභය දානය දෙනවා. මේ සතුන් රත්නපුරේ ආරණ්‍ය සේනාසනයකට භාර දෙනවා. දුවට දැන් වයස අවුරුදු 26යි. මේ මොහොත වන තුරු ඇයට සුළු සීරිමක්වත් නැහැ. අපට හිමි කර්ම ඵලය ධර්මයෙන් වෙනස් කරන්න පුළුවන් බව මෙයින් ප්‍රායෝගිකව අවබෝධ කර ගත්තා. කොළඹ ගංගාරාමයේ සීමාමාලකය අසල වැවේ ඉන්න තාරාවන් ඔබට මතක ද ? එතැන තාරාවන් 400 පමණ ඉන්නවා. ඒ සියලු සතුන් මම නිදහස් කරපු සතුන්.

සමාජයත් සමඟ ගනුදෙනු කිරීමේ දී විවිධ පින්කම් කිරීමේ අවස්ථා රැසක් මට ලැබෙනවා. ඒත් මම විතරක් පින් කරගෙන වැඩක් නැහැ. ගෙදර අයටත් හැමදාම පින්කම් කර ගන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලා හිතුවා. ඒ නිසා නිවසේ ඉදිරිපිට සියලු පහසුකම් සහිත කුඩා කුටියක් සෑදුවා. දීර්ඝ කාලීනව අසනීපව සිටින භික්ෂුන් වහන්සේ වැඩම කරවාගෙන විත් පැය විසිහතර පුරාම උපස්ථාන කරන්න වැඩපිළිවෙලක් සුදානම් කළා. මේ දවස්වල උප්පත්තියෙන් ම කොන්ද ඇද වූ ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටිනවා. මේ අසනීප තත්ත්වය නිසා උන්වහන්සේ නිදාගන්නේ දවසකට පැය දෙකයි. වේදනා නාශක බෙහෙත් බොනවා. ලෑල්ලක නිදාගන්නේ. වසරක පමණ කාලයක සිට දිවුලපිටියේ ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් කොන්දට පත්තු බඳීනවා. අම්මා, බිරිඳ උදැසනින් ම නැඟිටලා කැඳ කෝප්පය පිරිනමනවා. හීල් දානය, දවල් දානය, ගිලන්පස පිරිනමනවා. පොඩි පුතා කොන්දේ තෙල් ටික ගානවා. මේ නිසා දැන් අපේ පවුලේ හැමෝටම තුන්සිය හැටපස් දවස පුරාම දානය දෙන්න, ඇප උපස්ථාන කරන්න අවස්ථාව ලැබී තියෙනවා.

මම පුදුමයට පත්වීමි.

දවස් 365 දානය දෙන්නට පුළුවන් කාටද ? නමුත් විය යුත්තේ එයයි. විදුර රණසිංහ මහතාගේ පවුලේ සැවොම සැදැහැ සිතින් උපරිමයෙන් කැප වී ඒ කටයුතු ඉටු කරති. ඒ නිවසේ උඩම මහලේ අලංකාර විශාල බුදු මැදුරකි. සමාධි සුවයෙන් වැඩ හිඳීන බුද්ධ ප්‍රතිමාවක් එහි තබා ඇත. පාන්දර පහ වන විට ගෙදර සියලු දෙනාම මෙතැනට පැමිණෙති. එක්ව බුදු පහන තියා මල් පුජා කරති. පැයක බුද්ධ වන්දනාවකි. ඉන්පසු විනාඩි විස්සක ආනාපානසති භාවනාවක නියැළෙති. මේ මොහොතේ ඉඳීම ප්‍රගුණ කරති. මේ ආකාරයෙන් ඔවුන් දවස ආරම්භ කරන්නේ හිත හදන වැඩපිළිවෙලකිනි. ඊට අමතරව සෑම ඉරිදාවක ම පාන්දර 5 ට ළඟම තියෙන පන්සලට ගොස් බුද්ධ වන්දනාවේ යෙදෙති. පිරිත් සුත්‍ර 11 සජ්ඣායනය කරති. ඒ පිරිත් පැන් වතුර පවුලේ සැවොම පානය කිරීමටත්, ගෙදර බත් පිසීමටත් ගනිති.

අපවත් වී වදාළ හාරිස්පත්තුවේ අරියවංසාලංකාර ස්වාමින් වහන්සේ සිදු කළ බයිපාස් සැත්කමෙන් පසුව වඩාත් හොඳීන් බලා ගන්න අවශ්‍ය බව වෛද්‍යවරු පැවසුවා. මගේ ගෙදර වැඩමවාගෙන විත් නවත්වා ගත්තා. උන්වහන්සේට ආහාර, ඖෂධ , ව්‍යායාම ලබා දී හොඳීන් ඇප උපස්ථාන කිරීමේ වගකීම මා බාර ගත්තා. පාන්දර 4.30 වෙනකොට ගිලන්පස පිළිගන්වන්න ඕනේ. උදේ වරුවේ පැන් පහසුව සලසා, හිල් දානය පිළිගන්වා ව්‍යායාම කිරීමට ගාලු මුවදොරට එක් කරගෙන යන්න ඕනේ . කිලෝමීටර් දෙකක් දිනපතා ඇවිද්දවන්න ඕනේ. කකුල්වල තෙල් ගාන්න ඕනේ. මේ සියලු කටයුතු අවසාන වන විට හවස් වෙනවා. මේ කාලය තුළදී මම එක දිනයක්වත් මගේ මුද්‍රණාලයට ගියේ නැහැ. නමුත් ඔබ විශ්වාස කරනවා ද ? ඒ මාස තුන ඇතුළත තමයි මම වැඩිම ආදායමක් ලැබුවේ. මට ඒ වෙලාවේ අවබෝධ වුණා මෙතැන කුමක් හෝ ක්‍රමවේදයක් තියනවා කියලා. නොපෙනෙන ශක්තියක් ක්‍රියාත්මක වෙනවා කියලා.

උදාහරණයක් වශයෙන් ගතහොත් විද්‍යුත් ශක්තිය අපට පෙනෙන්නේ නැහැ. නමුත් ඒ විද්‍යුත් ශක්තියෙන් අපට ආලෝකය ලැබෙනවා. යන්ත්‍ර සුත්‍ර ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ දෙයක් මෙතැනත් සිදුවෙන්නේ. ඔබත් මේ ක්‍රමවේදය තේරුම් ගන්න. අනුගත වෙන්න. ටික කාලයක් යනවිට මුදල් ඔබ පසු පස එන ක්‍රමවේදයක් සැකසේවි.

මේ දුෂ්කර අවස්ථාවේ තමන්ට හැකි අයුරින් අනුන්ට උදව් කරන්න, දන් දෙන්න. මේ දන්දීම යුද්ධයක් කරනවා වැනි අමාරුම දෙයක් බව “දානංච යුද්ධං ච සමානමාහු” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

මේ ලෝබකමට ඇතිවීමක් නැහැ. කොපමණ ලැබුණත් හිතන්නේ මට මදි, තව ලැබුණා නම් හොඳයි කියලා. හරියට මහ මුහුදට කොපමණ වතුර ලැබුණත් ඇතිවීමක් නැහැ වගේ. ගින්දර ගොඩකට කොච්චර දර දැමීමත් මදි වගේ මේ ලෝභ ගින්න මහා භයානකයි. ඇතිවීමක් නැහැ. කාට හරී මොනවාහරි දෙන්න හිතුණත් මට බෑ. මට මදිවෙයි. කියන විරුද්ධ චේතනාව අවිත් ඒ දානමය සිතිවිල්ල මැඩ පවත්වන්න උත්සාහ ගන්නවා.

මෙම ලිපියේ ඉතිරි කොටස වෙසක් අව අටවක පෝදා (22) පත්‍රයේ පළවේ.

වෙසක් පුර පසළොස්වක

මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ.
 15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]