UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

උපාසිකාවෝ

රන් රිදී කහවණු ද නැතිමුත්
නොකඩ කොට සිව්පසය පුදමින්
උවැසියන් සැදැහැයෙන් දුන්
සතය සතයෙන් ගොඩනැගූ

මහ පිළිමගෙයි සමිඳු රුව වෙත
සැදැහැ පිරි මුදු හද පෙරටු කොට
පළමු මල් මිට පුද කරන්නට
කිමද ඇය හට අකැප අවසර

සුදු පිරුවටෙන් සැදි අයෙක්
පුදන සඳ ඒ පළමු මල්දම
සාදු නද දී දෑත නළලත
ඈ හිඳී වැලි මළුවෙ කොණකම


සෙලක මහිම

කළු ගලක් වැනි සිතක්
මොනතරම් රලු වුවත්
කළු ගලෙන් නිමා කළ
බුදු පිළිමයක දසුන

මුදු කරයි රුදු සිතක්
කිමද මේ අරුමය
එම රුවෙන් පැන නගින
මහා කරුණාව වෙද

පය තබන මහ පොළොව
වියළි රළු කටු ඇනෙන
සුලු වුවත් සෙලක නිමි
මහරු සඳකඩ පහණ
පයට සුවයක් නොවෙද

නිසසලව එකම තැන
සෙලින් සැදි මුර ගලක්
පොරණ ශ්‍රී විභූතිය
පසක් කරාද අපට

කලා වැව සුළඟ මැඬ
නිහඬවම බවුන් වඩන
පිළිම අවුකන රාජ
නොකියයි ද අනිත වත


සඳසිරි මහ නාහිමි

අමරපුර කල්‍යාණවංශික මහා නිකායේ මහානායක ධූරන්ධර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති කල්‍යාණවංශ කීර්ති ශ්‍රී විපස්සනකම්මට්ඨානාචරිය වංගීස වංසාලංකාර දොඩම්පහළ චන්ද්‍රසිරි මහනාහිමියන්ගේ සත් සැත්තෑ වස සපිරීම නිමිත්තෙනි.

රුහුණු පුරාණය සිහි කළ දොඩම්පහළ සුපතල කළ
පුහුණු සිතැඟි සමනය කළ වැඩ වූ යති නිවාත බල
දරුණු කෙලෙස් බවුන් බලෙන් යතිවර සඳ දමනය කළ
වැරුණු සේය රා දොස් දම විනය නයන පිළිවෙත කළ

අරිය දහම් යති සිරිලක බැඳි රුවනක සසුන බැබලි
උපදෙස් දුන් සඳසිරි ගරු මහා නා හිමි දමින් සදලි
නිවාත මිත භානී යතිවර අරුතින් නාමෙ සඳලි
සමිද්ධි දම් මග පුද යති දමිත සුගත ධර සුපුදිලි

සඟ සබ මැද අමතන සුසිලිටි වදනින් දිසෙයි සොබන
බොදු දන සවනතට විහිද සුවසෙත දම් මගයි සෙවණ
පිළිවෙත මොක් මඟට පෑදි දියකඳ සේ සිසිල ගලන
දිගු කල් දිවි මගකට තෙරුවන බල පෑදි ලෙසින


නොනිවෙන පහන්

වැලේ හැදුණු ගෙඩි වැලට බරක් නැතිවා සේ
අපෙ දිවි බර උසුලාගෙන
ගඟුලක සුනිමල් දිය දහරක් සේ පිවිතුරු
සෙනෙහස හද පුරවාගෙන
ඔබ ආ මාවත සුසිනිඳු පාවඩ මත නැත
තිබුණේ මල් අතුරාවන
හිරු සඳු මෙනි අපේ දිවි අඹරේ දිදුලන
මව්නි පියනි ඔබ නිරතුරු


ගෙදර බුදුන්

සෙනෙහස ආදරය කැටිකොට සියලු විට
නිදහස උවා බිඳුවක් නැති නොපසු බට
අනුහස ලැබෙන සුරිඳුන් ගෙන් හතර වට
මගෙ හිස ඔබා නමදිමි මව් තුමිය හට

නිම් නැති වේදනා විඳිමින් සියලු දින
සොම්නස ලබා දෙන මනසට සිසිල දෙන
සම්බුදු සරණ යන නිවසක ඇතුව නැණ
අම්මා ගෙදර බුදු වරයෙකි සුවය දෙන


සැරදේවා

දම් ප්‍රදීපයක් වී සැමට දී එහි කිරණ
රැගෙන හර බර දෙසුම් රට වටේ සැරි සරණ
ලෝක පාලන දෙව් අසිරි ලබා තිසරණ සරණ
දිනේවා , සදාකල් පුවත්පත බුදු සරණ


සිරිපා නමදිමු

මුනි සිරපා කමල වැඳ පින් කරගන්න
යළිත් වරක් කාලය ආවා ඔන්න
සැදැහැ සිතින් සමනොල ගිර නඟිමින්න
තෙරුවන් නැමැඳ නිවනට මඟ පාදන්න


කොළඹ සහ සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝ නායක ශාසනාභිමානී, ලෝකත්ථචාරී, කාව්‍ය කලා ප්‍රසාදනී , වැල්මිල්ලේ සෝමානන්ද නාහිමියන් පසුගියදා අපවත් වීම නිමිත්තෙනි.

බුද්ධ පුත්‍රයාණෙනි

වැල්මිල්ලෙ ගරුතර ස්වාමීනි, අපට සිටිකිවි සක්විතී
සල් මලක් මෙන් මිලින වී දැන් වායුතලයට එක්වෙතී
නිල් අහසේ කළුවළා වඩිමින් වරම් දෙව්වරු දුක්වෙතී
දැල් වූ පහනක් නිවෙන්නා සේ අත් බවෙන් මේ නික්මෙතී

දැයට සමයට කිවිය හමුවෙයි ආදරෙන් සිටි පුදුම විදියට
රටට ඉමහත් සේවයක්කළ ගමේ පන්සලෙ කුඩා කලසිට
බසට සාහිත ලොවට පිරිතට බණට මෙහෙවර හුරුව පෙර සිට
සිතට එකඟව පෑව අදහස් තවම නැඟඑයි අපගෙ මතකෙට

ගම්මානෙ පුරවරයෙ දායක පෙළට තෙවලා දහම් හුරුකොට
සම්මාන යතිවර පදවි ළඟ උපේක්ෂාවෙන් බැලුව හෙමිහිට
මම් කැමැති නැත තවත් දීඝායුෂ පතයි නම් දෙසූ හැම විට
දම් පලස් අතුරමින් සසුනට බවුන් වැඩවූ නිවනේ ගමනට

උතුම් අරහත් ධජය දෙවුරම වසා පොඩි කල සිටම පුරුදුව
පැතුම් සපුරා කඩු අමෝරා ආපු පිළිමල් පිරිස පැරදුව
මහන් සිය සසරෙදි නිවන්නට වැඩිය යහපත් පරිදි සුමුදුව
පහන් සංවේගයෙන් පින්දෙමි නිවන් ගමනට මරුට විරුදුව

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]