UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක කියන්නේ තමන් විසින් හදාගත් දෙයක්ද?

දුක කියන්නේ තමන් විසින් හදාගත් දෙයක්ද?

බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය වෙද්දී වැඩසිටියේ රජගහනුවර වේළුවනාරාමයේ. ඉතින් එදා උන්වහන්සේ රජගහ නුවරට උදේ වරුවේ පිණ්ඩපාතේ වැඩියා. ඒ කාලයේ එක එක අදහස් ඇති මිනිසුන් වාසය කළත්, ඒ සියලුම දෙනාට තිබුණා එක පොදු අරමුණක්. ඒ තම මේ දුකින් මිදෙන මාර්ගය සෙවීම. වර්තමාන මනුෂ්‍යාට ඒක නැහැ. වර්තමාන මනුෂ්‍යයාට තිබෙන්නේ ගෙයක් හදාගන්න ඕන, රැකියාවක් කරන්න ඕන, දරුවෝ ඉස්කෝලේ යවා ගන්න ඕන. මේ වගේ දේවල්වල තමා වර්තමාන මනුෂ්‍යයාගේ හිත කැළඹී තිබෙන්නේ.

ඒ කාලේ මිනිසුන්ට දැනුනා දුකක් තිබෙනවා. එයින් මිදෙන්න ඕන කියලා. ඒකට විසඳුම ලෙස මිනිස්සුන් ගේ ඔළුවට ආවේ ‘කිං කුසලගවේසී’ මොනවද කුසල් කියන්නේ? ‘කිං සච්චගවේසි’ මොනවද ඇත්ත කියන්නේ කියා සෙවීම.

ඒ කාලේ නොයෙක් තපස් ක්‍රම, තපස්වරු බිහිවුණා. තපස, ඇදහිලි, ශරීරයට දුක්දීම, නොයෙක් ආකාරයේ දේවල් බිහිවුණා. සමහරු කිව්වා මේ ඇල්ම හට අරගෙන තිබෙන්නේ මේ භෞතික වස්තු නිසා. මේක අතහරින්න කියලා. ඔවුන් ඇඳුම පවා අතහැරියා. එහෙම කෙනෙක් තමා අචේලකස්සප. මේ අචේලකස්සප බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාවේ රජගනුවරට ඇවිල්ලා හිටියේ. භාග්‍යවතුන් වහන්සේ වඩිනවා දැක උන්වන්සේ ළඟට ගියා. “භවත් ගෞතමයන් වහන්ස, මට අවසර දෙනවා නම් මම ප්‍රශ්නයක් අහන්නම්”. භාග්‍යවතුන් වහන්සේ වදාළා කාශ්‍යප, මම මේ පිඬුසිඟා වඩින වෙලාවයි. ප්‍රශ්න වලට උත්තර දෙන වෙලාවක් නොවේ. නමුත් මොහු තුන්වතාවක් ඉල්ලා සිටියා. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයෙන් බලනවා මොහු මීට කලින් ආත්මයක ධර්මය හොයපු, ධර්මය පුරුදු කළ, ධර්මය වඩපු කෙනෙක්ද? කියා. අඳුරු ගල් ගුහාවක පහන් එළියක් වගේ මොහුගේ සිතේ මේක තිබෙනවා. නමුත් දැන් ඔහු ඉන්නේ වෙන ආගමක. ඇඳුමක් හෝ ශරීරයේ නැති තාපසයෙක්. නමුත් ඔහුගේ හිත ඇතුලේ පහන් ආලෝකයක් වගේ ප්‍රඥාව දිලිසෙනවා භාග්‍යවතුන් වහන්සේ දුටුවා.

උන්වහන්සේ වදාළා එහෙනම් කස්සප ඔබ කැමැති දේ අහන්න. කස්සප අසනවා, භවත් ගෞතමයන් වහන්ස, දුක කියා කියන්නේ තමන් හදාපු දෙයක්ද? දුක කියන්නේ තමන් විසින් හදාගත් දෙයක්ද? කියා. එවිට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා කස්සපය, එහෙම කියන්න එපා. එවිට අහනවා එසේනම් භවත් ගෞතමයන් වහන්ස, දුක කියා කියන්නේ පිටස්තර පුද්්ගයෙක් හදපු එකක් ද? කස්සප එසේ කියන්නත් එපා. ඊට පස්සේ අහනවා එහෙනම් ගෞතමයන් වහන්ස, දුක කියන්නේ තමායි පිටස්තර කෙනායි දෙගොල්ලොම එකතු වෙලා කරපු දෙයක් ද? එවිට බුදුරජාණන් වහසේ වදාළා කස්සපය, එහෙම කියන්න එපා. එහෙනම් භවත් ගෞතමන් වහන්ස, දුක කියන්නේ තමා විසින් කළ එකකුත් නොවේනම් පිටස්තර කෙනෙක් කළ එකකුත් නොවේනම් ඉබේ හටගත්තාද? එවිට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා කස්සපය, එහෙම කියන්නත් එපා. දැන් බුදුරජාණන් වහන්සේ අසන හැම දෙයකටම කියනවා කස්සප එහෙම කියන්නත් එපා කියලා. එවිට කස්සප අහනවා ඒ කියන්නේ භවත් ගෞතමයන් වහන්ස ‘දුක’ කියා දෙයක් නැද්ද? එවිට බුදුරජාණන් වහන්සේ කියනවා කස්සපය, දුක නැත්තේ නැහැ. දුක තිබෙනවා. එවිට අහනවා භවත් ගෞතමයන් වහන්ස, ඒ තිබෙන්නා වූ දුක ඔබවහන්සේ දකින්නේ නැද්ද? ඔබවහන්සේ දන්නේ නැද්ද? එවිට බුදුරජාණන් වහන්සේ වදාළා කස්සප, මම දුක නොදන්නා කෙනෙක් නොවේ. නොදකින කෙනෙකුත් නොවේ. මම දුක දකිනවා. මම දුක දන්නවා. එවිට කස්සප කියනවා භවත් ගෞතමයන් වහන්ස, මේ කියාපු දේ මට තේරෙන්නේ නැහැ. අනේ භවත් ගෞතමයන් වහන්ස, මට ‘දුක’ ගැන වදාරණ සේක්වා කියලා.

මේ වගේ චරිතවලට කියන්නේ මහ පින් ඇති අය කියලා. ඇත්ත හොයාගෙන ගස් ගල් යට ඉඳගෙන ඇඳුමක් හෝ නැතිව සීතලට සීතලෙන් විඳවමින්, රස්නෙන් විඳවමින් දූවිලි නාගෙන ඇවිද ගිය මිනිස්සු. ඒ මිනිස්සුන්ට හොඳ වස්ත්‍ර සෙව්වේ නැහැ. හොඳ කෑම සෙව්වේ නැහැ. සපත්තු සෙරප්පු සෙව්වේ නැහැ. සත්‍යයයි සෙව්වේ. ඒ මිනිස්සු උදෙසායි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනවා.

කස්සපය, යමෙක් කිව්වොත් ඔහු කරයි. ( ඒ කියන්නේ දුක කරන්නේ කෙනෙක්) ඔහු විඳියි කියලා කිව්වොත් මුල ඉඳලා පටන් ගත්ත තැන ඉඳලා තමා විසින් කරගන්න දුකක් ය කියලා කල්පනා කළොත් එයා මේක ශාස්වතයි කියා (ඒ කියන්නේ හැමදාම තිබෙන පැවැත්මක්ය කියා මේක අල්ලා ගන්නවා කිව්වා). දුක බාහිර කෙනෙක් කළා, වෙන කෙනෙක් කළා, වෙන කෙනෙක් විඳවනවා එහෙම කිව්වොත් ඒ වේදනාවට යට වූ කෙනා දුක අනුන් විසින් කරන ලද්දේය. ඒ කළ දුක මේ ආත්මෙන් පස්සේ ඉවරයි කියා ‘උච්ජේදයට’ යනවා කිව්වා. එවිට මේ ලෝකයේ අදටත් තිබෙන්නේ මේ දෙක තමා. මොකක්ද ඒ ? ශාස්වත සහ උවිජේද. ‘ශාස්වත’ කියන්නේ හැමදාම පවතින ආත්මයක් තිබේ කියා කීම. ඒ කියන්නේ මරණින් මත්තේ මැරි මැරි ඉපිද ඉපිද අවසන් වෙන්නේ නැහැ කියලා කීම. ඒක මිත්‍යා දෘෂ්ඨියක්. ඒ කිව්වේ වැරැදි දැක්මක්. වැරැදි වැටහීමක්. තව පිරිසක් කියනවා මැරුණට පස්සේ මොකුත් නැහැ කියා. ඒකට කියනවා උච්ජේද. උච්ජේදය කියා කියන්නේ නැසීමට, සිඳීමට, අවසන් වීමට පත්වෙනවා කියන එක. එවිට මරණින් පස්සේ නැසීමට යනවා කියන එක උච්ජේදය. මේ දෙක තුළ තමා මේ ලෝකේ මිනිස්සු ග්‍රහණය වෙලා ඉන්නේ. මේ දෙකට ග්‍රහණය වෙලා ඉන්නකම් ලෝක සත්ත්වයාට හේතුඵල හොයන්න බැහැ.

බුදුරජාණන් වහන්සේ වදාළා කස්සප, මේ අන්ත දෙකට මැදි නොවී මේ අන්ත දෙකට යන්නේ නැතිව තථාගතයන් වහන්සේ මැදින් දහම් දෙසනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ බුද්ධ දේශනාව ශාස්වතයට යන්නේ නැහැ. ශාස්වතයට යන්නේ නැහැ කියන්නේ මරණින් මත්තේ සදාකාලික පැවැත්මක් තිබේ කියන දෘෂ්ටියට යන්නේ නැහ. ඊළඟට උන්වහන්සේගේ ධර්මය මරණින් මත්තේ මොකවත් නැහැ කියන දෘෂ්ඨියට යන්නේත් නැහැ. ඒ දෙක තමා අන්ත දෙක. මේ අන්ත දෙක ප්‍රහාණය වෙන්නේ කෙහේදි ද? සක්කාය දිට්ඨිය, විචිකිච්චා කියන අන්ත දෙක නැතිව යන්නේ කොහේදී ද? මොන අවස්ථාවේදී ද? සෝවාන් මාර්ගයේදී. සෝවාන් මාර්ග ඥානයේ දී මේ අන්ත දෙක ම නැතුව යනවා. එතෙක් මනුෂ්‍යයෙක් තුළ මේ අන්ත දෙක තිබෙනවා. එක අන්තයක් තමා මරණින් මත්තේ සදාකාලිකව ඉන්නවා කියන එක. හිතට හිතෙන ඒවා ගන්නවා. එක්කෝ සංඥාව ගන්නවා. නැත්නම් හිත, එක්කෝ දෘෂ්ටියක් මොනව හරි ගන්නවා.බුදුරජාණන් වහන්සේ වදාළා මේ අන්ත දෙකට මැදිහත් නොවී උන්වහන්සේ මේ ධර්මය වදාරණවා. ඒ ධර්මය තමා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ හට ගනියි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය හටගනියි. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප හටගනියි. නාමරූප ප්‍රත්‍යයෙන් සළායතන හටගනියි. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ෂ හටගනියි. ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව හටනියි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව හටගනියි. තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදාන හටගනියි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය හටගනියි. භවය ප්‍රත්‍යයෙන් ඉපදෙයි. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා, මරණ, සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් ආදි මේ මුළු මහත් දුකම හටගනී.

ඊළඟට උන්වහන්සේ වදාළා ඒ අවිද්‍යාව ම නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙති. සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙයි. විඤ්ඤාණයේ නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙයි. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙයි. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙයි. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙයි. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙයි. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙයි. ඒක තමා මධ්‍යම මාර්ගය.

තථාගතයන් වහන්සේ මේ පටිච්ච සමූප්පාද දේශනාව කළවිට කස්සප කියනවා ස්වාමිනි මනස්කාන්තයි. යටට හරවා තිබුණ දෙයක් උඩට හැරෙව්වා වගෙයි. වැසී තිබුණ දෙයක් විවෘත කළා වගේ. ඇස් තිබෙන කෙනෙක් කරුවලේ යද්දී තෙල් පහනක් දැල්ලුවා වගෙයි. බුදුරජාණන් වහන්ස, මම මේ ධර්මයත්, භාග්‍යවතුන් වහන්සේත් , ශ්‍රාවක සංඝයාත් සරණ යනවා. ස්වාමිනි, මාව මහණ කරගන්න. මට මේ පැවිදි උපසම්පදාව දෙන්න කියලා. අචේල කස්සප භාග්‍යවතුන් වහන්සේ ළඟ මහණ වුණා. පැවිදිවෙලා සුළු කලෙකින් අරහත්භාවයට පත්වුණා.

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]