UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් ආසනයයි නෙළා ගත හැකි සංස්කෘතියයි

මල් ආසනයයි නෙළා ගත හැකි සංස්කෘතියයි

ලංකාවට සාපේක්ෂව ගත්විට අනෙකුත් රටවලට වඩා “මල් ආසනයට” ලංකාව තුළ සුවිශේෂත්වයක් හිමිවෙයි. අලංකාරය තුළ ආගමික නායකයකුට මල්තැබීමක් කළද “මල් ආසනය” අල්තාරයට වඩා බොහෝ සෙයින් වෙනස්කමක් දැකිය හැකියි. එම වෙනස බුදුපියාණන් වහන්සේගේ වන්දනාවෙන් ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළත් එකම ආකාරයට දැකිය හැකි වෙයි. ශ්‍රී ලංකාවේ ජන ජීවිතය වෙනස් කළ වෙනස එම වෙනසට හේතුවෙයි.

දෙවියන්ට හෝ මැවුම්කාරයකුට අල්තාරය තුළ උපහාර පිණිස මල්කලඹක් හෝ මලක් තැබීමට වඩා පූජනීය භාවයකුත්,ආධ්‍යාත්මික භාවයකුත්, ගැඹුරුභාවයකුත් ලාංකේය මල් සංස්කෘතිය තුළ ගැබ්ව තිබුණි. බටහිර ලෝකය තුළ මල් පාවිච්චි කරනු ලබන්නේ උපහාර පිදීම සඳහායි. අප රට තුළ තිබෙන “මල් පූජා කිරීමේ සංස්කෘතිය” ලෝකයේ කිසිදු රටක දක්නට නොමැති තරම්ය. ලෙඩකු රෝගී වූ විට එම රෝගියාට සුවය ප්‍රාර්ථනා කරමින් මල් කළඹක් රෝහලට රැගෙන යාම වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන බටහිර චාරිත්‍රයකි. රෝහලකට මල් කළඹ රැගෙන යාම චාරිත්‍රයක් හැටියට සුබ ප්‍රාර්ථනාවක් වශයෙන් සංකේතයක් ලෙස පාවිච්චි කරනු ලබන්නේ බටහිර ජාතිකයන්ය.

මළ ගෙදරකදී මල් කළඹක් තැබීමත් පුද්ගලයකුට උපහාර පිණිස කරනු ලබන තවත් එක් අවස්ථාවකි. ඊට අමතරව අභාවප්‍රාප්ත ජන නායකයන්ට ඒ වගේම නොහඳුනනා සොල්දාදුවන්ට ඔවුන්ගේ ස්මාරක ඉදිරියේ මල් කළඹක් තැන්පත් කිරීම මල් පාවිච්චියේ තවත් එක්තරා අවස්ථාවකි. මේ සියලුම අවස්ථා සමඟ මල් පාවිච්චි කරන තවත් අවස්ථාවක් වශයෙන් “උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මල් පාවිච්චි කරන තවත් එක අවස්ථාවකි. අලංකාරයක් ලෙස උත්සව සභාව හෝ කථිකාසනය මලින් සැරසීම මුල් සංස්කෘතියේ තව එක අවස්ථාවකි. ඒ වගේම මල් රටා අලංකරණ සහ කැටයම් සඳහා පාවිච්චි කරනු ලබයි.

ආදරයට රෝස මලක් දීමත්, ගුරුභවතුන්ට ගුරු දිනයේදී මල් කළඹක් ලබාදි ආශිර්වාද කිරීමත්, තමාගේ ආයතනයට අලුතෙන් පැමිණෙන පුද්ගලයකු පිළිගැනීම සඳහා මල් දීමත් එක්තරා බටහිර සංස්කෘතිකාංගයක් වෙයි.

මෙම සෑම නියදියක් තුළම දක්නට ලැබෙන්නේ මල් පරිහරණය තුළ ශෝකය කනගාටුව හර්ෂය, ප්‍රහර්ෂය, සතුට හා සුබාශීර්වාදය යන අර්ථයයි. ලෝකයේ මල් පූජා කරන්නේ බුදුහාමුදුරුවන්ට පමණයි.

එම සියලුම අවස්ථාවන්ට වඩා වෙනස් අවස්ථාවක් ලෙස බුදුපියාණන් වහන්සේ පාමුල මල් පූජාකිරීම සැළකිය යුතුයි. එම වෙනස ගාථාව තුළ අන්තර්ගතව තිබේ.

“වණ්ණ ගන්ධ ගුණෝපේතං
ඒතං කුසුම සන්තතිං
පුජායාමි මුනින්දස්ස
සිරිපාද සරෝරු හේ”

“පුජේමි බුද්ධං කුසුමේනනේන
පුඤ්ඥේන මේතේන ලභාමි මොක්ඛං”
පුප්පං මිලායාති යථා ඉදම්මේ
කායෝ තථා යාති විනාසභාවං

යන ගාථා දෙක තුළම මල් පූජාවට අදාළ කරුණු කාරණා ඇතුළත් වෙයි. ප්‍රධාන ශීර්ෂ තුනක් මෙම ගාථාව තුළ දක්නට ලැබෙයි. පළමුවන අවස්ථාව වන්දනාවයි. දෙවන අවස්ථාව ප්‍රාර්ථනාවයි. තුන්වන අවස්ථාව භාවනාවයි. “වන්දනාව“ යනු වැඳීමයි. “ප්‍රාර්ථනාව“ යනු එම වැඳීම නිසාම ඊළඟට අප තුළ බලාපොරොත්තු වන පැතුමයි. “භාවනාව“ යනු එම දෙකටම එහා ගිය අධ්‍යාත්මික වටිනාකමක් සහිත මෙම පූජාවේ අර්ථය නෙළාගනු ලබන අවස්ථාවයි.

“වණ්ණ ගන්ධ ගුණෝපේතං”
ඒතං කුසුම සන්තතිං”

වර්ණයෙන් හා සුවඳින් යුක්ත මේ මල් සමූහය බුදුපියාණන් වහන්සේ පාමුළ පූජා කරමි. බුදුපියාණන් වහන්සේගේ සිරිපා හිසින් වඳීමි. එම ප්‍රකාශය පුරාවටම වන්දනාව හෙවත් වැඳීම ඇතුළත්ව ඇත. “පුජේමි බුද්ධං කුසුමේන නේන” බුදුපියාණන් වහන්සේට පූජාකරන මේ මල්වලින් කියන්නේත් බුද්ධ වන්දනාවයි. මේ අවස්ථාව වන විට බුද්ධ වන්දනාවේ අවසාන කොටසට පැමිණ ඇත.

”පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං”

මේ පිනෙන් මට මෝක්ෂය ලැබේවා

යනු වන්දනාවක් නොවේ. එම වාක්‍ය පැහැදිලි ලෙසම ප්‍රාර්ථනාවයි. වන්දනා කොටසින්ද ප්‍රාර්ථනා කොටසින් පසුව භාවනා කොටස හෙවත් කල්පනා කොටස අඩංගුව ඇත.

භාවනා කොටස හෙවත් කල්පනා කොටසට පුප්පං මිලායාති යථා ඉදම්මේ

මේ මල මැළවී යන්නා සේ මේ මාගේ ශරීරයද එසේ විනාශභාවයට යයි. එය වන්දනාවක් හෝ ප්‍රාර්ථනාවක් නොවේ. එය භාවනා කරන වෘක්ෂයක්වෙයි.

එනිසා බෞද්ධයා සම්බුදුපාමුල මලක් තබන්නේ පැහැදිලි ලෙසම යාඥාවක අංගයක් ලෙස නොවේ.

වන්දනාවක අංගයක් හැටියටද නොවේ. තමන්ට යම්කිසි ප්‍රාර්ථනාවන් නෙළා ගැනීම සඳහා කරනු ලබන ආයෝජනයක් ද වශයෙන් නොවේ.

එම සියලුම කටයුතු කාරණා අවසාන වූවාට පසුව බෞද්ධයාට නියමිතව තිබෙන බුදුපියාණන් පාමුල ගෞරවයෙන් මල් තබා වැඳපුදා දෙහොත් මුදුන් දී නමස්කාර කර මඳ වේලාවක් වාඩිවී කල්පනා කළ යුතු දෙයක් ඉතිරිව තිබේ. මේ මල ලස්සනයි. සුවඳවත් ,වර්ණවත්, අර්ථවත් වගේම මේ මල පරවී යන්නේය. එයද අනිත්‍යයයි. මේ මල මැලවී යන්නේ යම්සේද? ශරීරයේද අනිත්‍ය ස්වභාවය එයයි. එනිසා බෞද්ධයා කල්පනා කළ යුතුයි මලක් පූජා කරමින් බුදුපියාණන් වහන්සේට තිබෙන ආදරය, ගෞරවය භක්තියට පූජාකිරීම උදෙසාය. මම මේ මල නෙලා ගත්තේ. මේ මල හරිම ලස්සනයි. මේ මල ටික ටික පරවේ. කළුවේ, කැතවේ. ගඳගහනු ලැබේ. පණුවන් ගහනු ලැබේ. අවසානයට විසි කරනු ලැබේ’. මාගේ ශරීරයත් එලෙසමයි. මගේ ශරීරය විතරක්ද නොවෙයි. මේ මල විතරක්ද නොවෙයි. වෙන මල් මෙන්ම වෙන ශරීරයක් ඒ ආකාරයෙන් අනිත්‍ය වේ. එහෙම නම් මල පුජා කරන්නෙම මහා දැවැන්ත ගැඹුරු අර්ථයක් ඊට එකතුකර ගෙනය. සැමදාම උදේ පාන්දරම සවසට කටපාඩමින් කියනු තවත් එක්තරා ගාථාවක් ලෙස මල් පුජා කිරීමේ ගාථාව ලඝු කළ නොහැකිය. එය ඒ තරමට වටිනා ගාථාවක්. එනිසා බුද්ධ වන්දනාවෙහි වටිනාකම එන්නේ ඒ ආකාරයට කළොත් පමණයි. බුද්ධ වන්දනාව තුළ විශාල සංස්කෘතියක් ගැබ්ව තිබේ. එම ආධ්‍යාත්මික කාරණාව සමඟම සැළකිය යුතු දෙයක් ලෙස හඳුන්කූරු දැල්වීමද සැළකිය යුතුයි. හඳුන්කූරු දැල්වූ වේලාවෙ සිට ඉඳලම හඳුන්කූරු පිළිස්සි අවසාන වෙන ක්‍රියාව සිදුවෙයි. සුවඳ කර කර අවසන් වේ. එම සුවඳ කර කර අවසන් වෙන එක අපට මහා අර්ථයක් සපයනු ලැබේ. ආරම්භ වු වේලාවේ සිට සියලුම දේට සිදුවන්නේ අවසන් වීමයි. පටන් ගන්නෙම අවසන් වීමයි. හඳුන්කූරු පූජාවෙත් අර්ථය එයයි.

මල් සංස්කෘතියට අදාළ වන කරුණු කාරණා අතර බිම වැටුණු මල් පෙති කැඩුණු මල් පූජා නොකරති. පුජා කරන්නෙම නැති මල් විශේෂයක් අප තුළ වෙනම තිබේ. පූජා නොකරන එම මල් පුජා නොකරන්නේ ඇයි කියලා හේතුවක් නොමැතිවීම ද සංස්කෘතියක් බුදුපියාණන් වහන්සේට මල් පූජා කිරීමේදී මිනිසුන් මේ පිළිබඳව සැළකිලිමත් වේ. පිච්ච මල් පුජා කිරීම විශේෂ කාරණාවක් සලකනු ලැබේ. මල් නෙලන අවස්ථාවේ ශරීරය සෝදා පවිත්‍ර කරගෙන පවිත්‍ර ඇඳුම් ඇඳගෙන හිස පීරාගෙන උඩුකය නිරුවත් නොකර, අපිරිසුදු ඇඳුම් නොඇඳ මල් නෙළනු ලබයි. රාත්‍රි කාලයේදී මල් නෙළනු නොලැබේ. එය මල් සංස්කෘතියේද ස්වභාවයයි. කවරවල දමාගෙන මල් රැගෙන යන්නේ නැත. මල් වට්ටියකට නෙළාගෙන රැගෙන යයි. මල් වට්ටිය ලස්සන ආකාරයට සකස් කරනු ලබයි. මල් නෙළීම පුංචි දරුවන්ට ඉගැන්වීම වැඩිහිටියන් තුළ තිබු වැදගත් සිරිතකි. හැමදාම සවසට මල් පූජාකිරීම සංස්කෘතියකි. අතුත් කඩා දමමින් මල් නෙළා නොගනී. නටුවෙන් අල්ලාගෙන මල් නෙළනවා මිස පෙත්තක් අල්ලා ගෙන මල් නෙළනු නොලැබේ. මල් නෙළනවා මිස මල් කඩනවා යනුවෙන් ප්‍රකාශ නොකරති. “මල් කඩනවා” යන ප්‍රකාශය වර්තමානය වන විට දුරකථනයෙන් කරන පේ‍්‍රමකතාවක් බවට පත්ව තිබේ. ‘මල් පනිනවා’ කියන අර්ථය කේන්ති යන අවස්ථාවට සකස් වී ඇත. මල් ආසනයක් සමඟ බැඳුණු මල් සංස්කෘතිය වර්තමානය වන විට වෙනස් වෙමින් පවතී. ඒ සමඟම මල් වට්ටිය යටින් අතගසනවා මිස මල් වට්ටිය උඩින් අත ගසන්නේ නැත. මල් වට්ටිය දෝතින් දෝතට යවනවා මිස මල් වට්ටිය අතින් අත යවන්නේ නැත. මල් වට්ටි පාස් කරන්නේ නැහැ. මල් දෝවනය කරගෙන මල් පුජාකරන්නේ සුදු ඇඳගෙනය. මල් වට්ටිය උඩින් තබනවා මිස කිසිම අවස්ථාවකට බිම තබන්නේ නෑ. එය එහි ස්වභාවයයි.

මේ මල් සංස්කෘතියේදී ගාථා සජ්ඣායනා කරනවා මිස ගාථා කියන්නේ නැත. සින්දු ගායනය කරයි. කතා පවත්වයි. පොත් කියවයි. ගාථා සජ්ඣායනා කරනු ලැබේ. මල් ආසනය ආධ්‍යාත්මික වටිනාකමකින් පිරි සංස්කෘතිකමය වටිනාකමකින් පිරී තිබේ. හැම නිවසකම රාත්‍රියට දරුවන් වැඩිහිටියන් එකට ඒකරාශි වී මල් පූජා කළ යුතුයි. හැමදාම සුළු වේලාවක් හෝ මල් පූජා කළ හැකි නම්, අම්මාට තාත්තා මුන ගැසෙන, දරුවන්ට දෙමව්පියන් මුන ගැසෙන, දෙමවුපියන්ට දරුවන් මුන ගැසෙන, කෑමට පෙර කරන කෘත්‍යයක් ලෙස දෛනික ජීවිතය එක්තරා රාමුවකට මුණ ගැසෙන හැන්දෑවරුවම සැලසුම් සහගත වේ. පවුලේ සියලුම දෙනා එකට එකතු වීම තුළින් රාත්‍රියට ආහාරයට පෙර සූදානමක් තිබේ. සුහද කතාබහක නිරත වීමෙන් දරුවන්ට හොඳ පූර්වාදර්ශයක් සපයති. මල් ආසනය තුළින් එම සංස්කෘතිය නෙළා ගත හැකියි. එනිසා මල් ආසනය අල්තාරයට වඩා වෙනස් වෙයි.

හේමමාලා රන්දුනු

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]