UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධකාලීන සමාජයේ ශ්‍රාවිකා තෙරණිවරු

බුද්ධකාලීන සමාජයේ ශ්‍රාවිකා තෙරණිවරු

ලෝක ඉතිහාසය තුළ කාන්තාව සම්බන්ධ ඉතිහාස කතන්දරය අතිශය සංකීර්ණ වූවක් වේ. කාන්තාව විෂයෙහි හුදෙක් භෞතික සුන්දරත්වය මූලික කොටය ගත් වාණිජමය හෝ භාණ්ඩමය අගයක් ආරෝපණය කිරීම ඇයට වටිනාකම් හා හිංසන කිරීමේ පදනම වූ බව සිතීම සාවද්‍ය නොවේ. ආගමික ශික්ෂණයකින් තොරව සමාජය විසින් කාන්තාවගේ භෞතික ශරීරයෙහි වටිනාකම් නිර්ණය කිරීම ස්වභාව සංසිද්ධියක් වීමට ද ඉඩ තිබේ.

කෙසේ වෙතත් මාතෘත්වය දක්වා පූජනීය වන එහෙත් ඇගයීම් රහිත ප්‍රමාණාතික්‍රාන්ත මෙහෙවරක යෙදෙන කාන්තාවගේ කඳුළු කතාව ලෝක ඉතිහාසයේ වැඩියෙන් චිත්‍රණය වී ඇත. භාරතීය සංස්කෘතිය තුළ කාන්තාවගේ ඉරණම වෙනස් කිරීමේ පරිච්ඡේදය ආරම්භ වන්නේ බුදුසමයේ උදාවෙනි. ගිිහි ජීවිතයේ කාන්තාව විඳි අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන් හින්දු ඉගැන්වීම ආශි‍්‍රත කෘතිවල මෙන්ම මහා භාරතය රාමායණය වැනි සංස්කෘත කාව්‍ය ග්‍රන්ථවල මැනවින් සටහන් වී ඇති අතර ඒ පිළිබඳ පුනරුච්චාරණයක් කිරීම අනවශ්‍ය කරුණකි. කාන්තාව තුළ පවතින අසීමිත දරා ගැනීමේ ශක්තිය තියුණු කර ගනිමින් භික්ෂුණියක් වශයෙන් බුදුදහම තුළ පරමාදර්ශි මෙහෙවරක යෙදුණු ශ්‍රේෂ්ඨ ශ්‍රාවිකාවන් ගැන හඳුනා ගැනීම වර්තමාන ස්ත්‍රී සංහතියට ද අතිශය ප්‍රයෝජනවත් වන්නේ අභියෝග ජය ගැනීමේ උපාය මාර්ග හඳුනා ගැනීමට ඒවා ඉවහල් වන බැවිනි. පහත දැක්වෙන්නේ එබඳු චරිත කිහිපයක් පිළිබඳ විවරණයකි.

බුද්ධකාලීන ශ්‍රාවිකාවන් අතර වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලද භික්ෂුණී ද වෙති. ගිහි කල මෙන්ම පැවිදි වූ පසුව ද ඉමහත් මෙහෙවරක් කරන ලද භික්ෂුණියක ලෙස සිදුහත් බෝසතුන්ගේ සුළු මව වන මහා ප්‍රජාපතී ගෝතමිය පළමුව සඳහන් කිරීම සුදුසුය.ඇය ගිහි කල තම පුත් නන්ද කුමරුන් පැවිදි කරවීමෙන් ද බෝසතුන් පෝෂණය කරවීමෙන් ද බුදුරදුන් විසින් රෝහිණී නදියේ ජලය බෙදා ගැනීමේදී ශාක්‍ය, කෝලිය කුමාරවරුන් අතර පැවති ගැටුම විසඳීමෙන් පසුව පැවිදි වූ කුමාරවරුන් පන්සියයගේ භාර්යාවන්ට නිසි මග යාමට උපදෙස් සැපයීමෙන් ද භික්ෂුණී ශාසනය ඇති කිරීමට මූලිකව ක්‍රියා කිරීමෙන් ද මහඟු මෙහෙවරක් ඉටු කළාය. පන්සියයක් ස්ත්‍රීන් සමඟ රහත් බවට පත් ඇයගේ ජීවන චරිත අතිශය සවේදී බව මහා ප්‍රජාපතී ථේරී අපදානයෙන් පැහැදිලි වේ.ඇයගේ පරිනිර්වාණයේදී දෙවි මිනිසුන් පමණක් නොව මහපොළොව ද කම්පා වූ බව සඳහන් වේ. පිරිවර භික්ෂූන් සමඟ ඇයගේ ආදාහනයට වැඩි බුදුරදුන් වහන්සේ භික්ෂූන් අමතා “මහණෙනි, බුදුවරයෙක් මෙබඳු ආදාහනයක් කරවූ අවස්ථාවක් නැත. මෙය සියලු මහා ශ්‍රාවකයන් හා බුදුන් වහන්සේ ද ඇතුළුව කරන ලද එක ම ආදාහනය වෙයි. එහෙයින් මෙම ආදාහනය ආශ්චර්යමත්ය. පුදුම එළවන සුළුයැ”යි වදාළහ.

බිම්සර රජුගේ බිසොවක වූ ඛේමා අතිශය සුරුපී තැනැත්තියක වූවාය.ඇය තම රූපශ්‍රීය ගැන උදම්ව සිටි බවත් පැවිදි වූ ආකාරයත් ඉතා ප්‍රසිද්ධය. පැවිදි වීමෙන් පසුව සිවුපිළිසිඹියාපත් රහත් තෙරණියක වූ ඇය බුදුන් වහන්සේ විසින් ප්‍රඥාවන්ත ශ්‍රාවිකාවන් අතර අග තැන්හි තබන ලද්දාය. දිනක් රුකක් මුල දිවා විහරණයෙන් සිටි ඛේමා තෙරණිය වෙත තරුණ වෙසක් මවා ගෙන පැමිණි මාරයා දෙදෙනා ම තුරුණු හෙයින් පසල් දනව්වකට ගොස් වසමුයි යෝජනා කළේය. එහිදී ඕ තොමෝ තමා කෙලෙස් නැසු මෙහෙණියක බව පවසා ගාථා පන්තියක් ගයමින් උදම් ඇනුවාය. දිනක් රාත්‍රියක පිරිවර සහිත සක්දෙව් රජ බුදුරදුන් දැක්මට පැමිණියේය. එවිට ඛේමා මෙහෙණිය බුදදුරදුන් දකිමියි අහසින් පැමිණ ශක්‍රයා ඇතුළු පිරිස් බණ අසනු දැක අහසෙහි සිට ම නමස්කාර කොට ගියාය. සක්දෙව් රජ ඒ කවරෙක්දැයි බුදුරදුන්ගෙන් විමසූ කල ඒ මාගේ අග්‍රශ්‍රාවිකා ඛේමාවෝ යැයි මහත් සේ ඇගේ ගුණ වැනූහ. එයින් සක්දෙව් රජ අතිශය ප්‍රමුදිත වූ බව සඳහන් වේ.

බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාවක වන ඛේමා තෙරණියගේ නම සමඟ නිතර සඳහන් වන අනෙක් නාමය උප්පලවණ්ණා යන්නයි. ඇය බුදුන් වහන්සේගේ අනෙක් අග්‍රශ්‍රාවිකාව වන්නීය. ඛේමා තෙරණිය මෙන්ම අතිශය රූප ශෝභාවෙන් යුක්ත වූ ඇය බොහෝ රජ සිටු කුමරුන් විසින් පතන ලද හෙයින් එයින් වන උවදුරු මග හරවනු වස් පිය සිටුතුමා විසින් ඇයගේ කැමැත්ත විමසා පැවිදි කරවන ලදී. නිලුපුල් පැහැති සිරුරක් ඇති හෙයින් උප්පලවණ්ණා නම් වූ ඇයට සිය කැමැත්තෙන් ම සසුන්ගත වීමෙන් පසුව පෝය ගෙහි වතාවන් කරන්නට පැවරුණි. දිනක් පෝය ගෙහි දැල්වෙන පහන දෙස බලා සිටිමින් තේජෝ කසින අරමුණෙහි මනස යොමා බවුන් වඩා රහත් වූවාය. ඉන් අනතුරුව ඇය ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමෙහි මහත්සේ දක්ෂ වූවා ය. බුදුන් වහන්සේ ඇය ඍද්ධිමත් භික්ෂුණීන් අතර අගතැන්හි තැබූ සේක. වරක් තීර්ථකයන්ගෙන් මන් බිඳීමට බුදුරදුන්ගෙන් අවසර ඉල්ලූ ඇය තවත් වරක තම ආනුභාවයෙන් මාරයා පලවා හැරියාය. වරක් ඇයට බරතළ අකරතැබ්බයකට මුහුණ පෑමට සිදු විය. ගිහි කල ඇය පතා සිටි නන්ද නම් තරුණයෙක් දිනක් රහසින් ඇගේ අරමට ඇතුළුව ඇඳ යට සැඟවී සිටියේය. ඇය අරමට පැමිණ දොර වැසූ කල්හි කාමයෙන් අන්ධ වූ තරුණයා ඇය අල්වා ගත්තේය. ඍද්ධියක් පෑමට තරම් කාලයක් නොතිබූ හෙයින් නො නැසෙව නො නැසෙව යි මෙහෙණිය කීව ද ඔහුට එය අවබෝධ නොවුණි. ඔහු අරමෙන් පිටතට පැමිණි සැනින් මහපොළොව පළා නැගි ගිනි දැලකින් වෙළී නිරා ගත විය. රූප ශෝභාවෙන් අනූන තවත් මෙහෙණියක වූයේ රූපනන්දා මෙහෙණියයි. මහාප්‍රජාපතී ගෝතමියගේ නැගණියක වූ ඕ තොමෝ නමින් නන්දා නම් වූ අතර රූමත් නිසා රූපනන්දා නමින් ප්‍රසිද්ධ වූවාය. ජනපද කල්‍යාණි නමින් ප්‍රසිද්ධව සිටියේ ද මෙම රූපනන්දා මෙෙණිය ම වේ. බුදුරදුන් රූපයෙහි දොස් දකින කෙනෙකි යන හැඟීමෙන් ඛේමා මෙන් බුදුරදුන් හමුවට නො ගිය මැය පසුව බුදුරදුන් දැක බණ අසා රහත් වූවාය. ධ්‍යාන සුවයෙහි සිත් අලවා නිබඳව විසූ ඕ තොමෝ බුදුරදුන් විසින් ධ්‍යානයෙහි ඇලුණු භික්ෂුණීන් අතර අග තැන්හි තබනු ලැබුවාය.

පටාචාරා මෙහෙණිය පිළිබඳ බොහෝ තොරතුරු ඉතා ප්‍රසිද්ධය. අතිශය රූමත් වූ ඕ තොමෝ ගිහි ජීවිතයේදී අපමණ සම්බාධකවලට භාජනය වූ තැනැත්තියකි. බුදුදහම නිසා ම සැනසුම් සුසුම් හෙළන ලද්දියකි. සිවුපිළිසිඹියාපත් රහත් තෙරණියක් වූ ඇය බුදුරදුන් විසින් විනයධර ශ්‍රාවිකාවන් අතර අග තැන්හි තබන ලදී. එසේම විශාඛා නම් සිටු කුමරෙකු සරණ පාවා ගත් ධම්මදින්නා නම් කුමරිය බුදු බණ අසා සෝවාන් වූ තම සැමියා අනුව යමින් සසුන්ගත වුවාය. පසුව රහත් වූ ඕ තොමෝ ධර්ම කථික ශ්‍රාවිකාවන් අතර අග්‍ර වූවාය. ශ්‍රාවකයන් අතර මහාකච්චාන මහා කොට්ඨිත වැනි හිමිවරුන් මෙන්ම ශ්‍රාවිකාවන් අතර ධම්මදින්නා භික්ෂුණිය ධර්මය විස්තර වශයෙන් දෙසීමෙහි දක්ෂ තැනැත්තියක වූවාය. ධර්මය සම්බන්ධයෙන් පැන නඟින ගැටලු විසඳීමෙහිලා නෙළුම් දණ්ඩක් තියුණු අවියකින් සිඳලන්නාක් මෙන් සූක්ෂ්ම ඥානයක් ධම්මදින්නා භික්ෂුණිය තුළ පැවැති බව කියැවේ’. ස්වාමියා සහිතව තාපස ජීවිතයක් ගත කොට භික්ෂුණී ශාසනය ආරම්භ වීමෙන් පසු මහා ප්‍රජාපතී ගෝතමිය වෙත ගොස් පැවිදි වූ අනෙක් තැනැත්තිය වන්නේ භද්‍රා කාපිලානි තෙරණියයි. ඇය පසු කලෙක පෙරවිසූ කඳ පිළිවෙළ සිහි කරන මෙහෙණියන් අතර ප්‍රමුඛ තැනැත්තිය වූවා, ගිහි ජීවිතය වූ කලී අතිශය සංකීර්ණ ගැටලු සහිත වූවක් බව ඉතිහාසය විසින් තහවුරු කරන ලද්දකි. රජ සිටු කුලයක උපන්න ද රූමත් වුවද ඒ සියල්ල ස්ත්‍රියට ස්ත්‍රිත්වය හේතුවෙන් මහත් සම්බාධක උපදවා ඇත. පටාචාරා උප්පලවණ්නා, සුභාජීවකම්භවනිකා වැනි ථේරී අපදාන තුළින් එය මැනවින් අනාවරණය වේ. දරුවන් දස දෙනෙකු බිහි කොට ඔවුනට ආවාහ විවාහාදී යුතුකම් ද ඉටු කොට දරුවන් නො සැලකූ හෙයින් පැවිදි වූ බහුපුත්තික සෝණා තෙරණිය වෙතින් යම් යම් වැරැදි සිදුවන විට භික්ෂුණිහු ඇයට දඬුවම් පැමිණ වූහ. පෙර දරුවෝ ද පැමිණ ඇයට නිග්‍රහ කළහ. එයින් ඉතා සංවේගයට පත් සෝණා තෙරණිය දැඩි වීර්යය කොට පිළිකුල් බවුන් වඩා රහත් බවට පත් වූවාය. දිනක් සෙසු භික්ෂුණිහු ඇයට පැන් උණු කරන්නැයි කියා ගියහ. තම රහත් බව ප්‍රකට කරනු වස් දිය සැලිය ලිපෙහි තබා ඕ තොමෝ දිය ගිනි නො දල්වා සිටියාය. යළි පැමිණි භික්ෂුණීහු තවම ගිනි දල්වා නැතැයි චෝදනා කළහ. එවිට ඇය ඔබට ගින්නෙන් කවර ප්‍රයෝජන ද උනු පැන් අවශ්‍ය නම් එයින් ගන්නැයි කීවාය. භික්ෂුණීහු ඉන් පැන් ගෙන උණු පැන් බව දත්හ. කෙතෙක් පැන් ගත්ත ද පැන් අඩු නොවන බව දැක විස්මයට පත් වූහ. බාල භික්ෂුණීහු එය දැක පාමුල වැතිර වැඳ සමාව ගත්හ. බුදුන් වහන්සේ මෙම තෙරණිය පසු කලෙක පටන් ගන්නා ලද වීර්යය ඇති භික්ෂුණීන් අතර අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක. එසේම දරුවන් හා සැමියා මළ සොවින් පැවිදි වූ කිසා ගෝතමිය බුදුරදුන් විසින් රළු සිවුරු දරන භික්ෂුණින් අතර අතර අග තැන්හි තැබීමෙන් වර්ණනා කරන ලද්දීය. සකුලා භික්ෂුණිය දිවැස් ඇතියවුන් අතර අග්‍ර වූවාය.

යථෝක්ත භික්ෂුණීන් වහන්සේලා ලා කිහිප නමගේ ජීවන චරිත විවිධ පැතිකඩ අනුව සසුනට පිවිස කරන ලද ස්වාර්ථ හා පරාර්ථ සේවාවන් දැකගත හැකිය. ථෙරි අපදානය පිරික්සීමෙන් තවත් මෙබඳු ශ්‍රාවිකා චරිත ගැන තොරතුරු දැක ගත හැකිය. සමස්තයක් වශයෙන් බැලූ විට මෙහෙණි සස්න බිහිකිරීම භික්ෂුණීන්ට උපදෙස් දීම යනාදි ක්‍රියාවලදී මහා ප්‍රජාපතී ගෝතමියගේ කාර්යභාරය අත්‍යුත්කෘෂ්ට වේ. වෙනත් බොහෝ භික්ෂුණීහු ද උසස් සම්භවයකින් හෙබි අය වූ අතර මහාප්‍රජාපතී ගෝතමිට මහත් සේ ගරු කරමින් ශාසන බ්‍රහ්මචරියාවහෙි නියුතු වූ බව හැඟේ. ඇයගේ පරිනිර්වාණය දෙවි මිනිසුන් පවා කම්පා කරවන බුදුරදුන්ගේ ද වර්ණනාවට භාජනය වූවක් වූයේ එහෙයිනි. කෙසේ වුවත් මෙකී භික්ෂුණීන් වහන්සේලා කාන්තාවන්ගේ ආශ්වාදය හා ශාසනික උන්නතිය සඳහා ඉමහත් කැප කිරීමක් කළ බව පැහැදිලි කරුණකි.

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]