UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශාරීරික සුවතාව හා මානසික සුවතාවය

ශාරීරික සුවතාව හා මානසික සුවතාවය

අපගේ ශාරීරික නිරෝගීතාවය පිළිබඳව සලකා බැලීමේදී මානසික නිරෝගිතාවයට ජීවිතයේ වැඩි කොටසක් අයිතිවන බව දැන ගත යුතුයි. පුද්ගලයා යනු පඤ්චස්කන්ධයක් වුවද රූපස්කන්ධයට අමතරව වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතරම මානසික අංශයට සම්බන්ධ වේ. මනස සහ සිරුර කොටස් දෙකක් වශයෙන් සැලකුවද එය අවියෝජනීය ලෙස එකිනෙකට බැඳී පවතී. මානසික සෞඛ්‍යය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව බොහෝ දෙනා අමතක කර ඇත. ගේ, දොර, වතුපිටි, යාන වාහන, ඇඳුම්, පැළඳුම්, බේත්හේත් ආදී සියල්ලම ශරීරය යහපත්ව පවත්වා ගැනීමට සෘජුවම බලපානු ලබන කාරණා වන අතර ඒවා වක්‍රාකාරයෙන් යම් මානසික සතුටකට බලපෑමක් කළහැකි නමුදු එවැනි තත්ත්වයන් සෘජු මානසික සංවර්ධනයකට බල නොපායි.

අප නිතරම කායික සෞඛ්‍ය පැත්ත පිළිබඳ සැලකිලිමත් වන අතරම මානසික සෞඛ්‍යය බොහෝ දුරට අමතක කරති. අපගේ සැබෑ ශාරීරික සෞඛ්‍යය මානසික සෞඛ්‍යය මත රඳා පවතින බව අමතක නොකළ යුතු ය. මනා මානසික , සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගැනීමට නම් මනසේ ක්‍රියාකාරීත්වය හා එහි ස්වභාවය හොඳින් හඳුනාගෙන ඊට අදාළ ප්‍රතිපදාවන් අනුගමනය කරමින් භාවනාව පුරුදු පුහුණු කළ යුතු ය. අපගේ මනස හඳුනාගත හැක්කේ භාවනාව මාර්ගයෙනි. අපගේ ලෞකික ජීවිතයේ සියලුම කටයුතු කාරණා අපට සහජයෙන් උරුම වූ මානසික ලක්ෂණ කිහිපයක් මත රඳා පවතී. රාග, ද්වේෂ, මෝහ, අස්මීමාන යන චෛතසික ලක්ෂණ හා එහි ක්‍රියාකාරීත්වය මැනවින් අවබෝධ කරගත හොත් සැබෑ ජීවිතයක සතුට අපේක්ෂා කළ හැකි ය. එය කළ හැකිවන්නේ භාවනා ක්‍රම තුළින් පමණක් බව අවබෝධ කර ගත යුතුය.

ආදරය, ප්‍රේමය, ආශාව, ඇල්ම, ලැදිකම, ලෙන්ගතුකම, බැඳීම, ආලය, අනුරාගය, කාමය, වාත්සල්‍යය, කෑදරකම, ගිජුකම, පෙරේතකම, අපේකම, මමත්වය යන විවිධාකාර නාමයන්ගෙන් හඳුන්වනු ලබන්නේ අප තුළ පවත්නා රාගයේ විවිධ තරාතිරම් අපගේ ක්‍රියාවන් තුළින් පිළිබිඹුවන අවස්ථාවන් වේ. රාගය හේතුකොටගෙනම උපතේ සිට මරණය දක්වාම අප වෙහෙසෙනුයේ, රසවත් ආහාරපාන ලබාගැනීමට, නිරෝගීකමට, කීර්තියට, වස්තු රැස් කිරීමට, දීර්ඝායුෂ ලබාගැනීමට, පි‍්‍රය මනාප දේ සාධනය කරගැනීමටය. එම අපේක්ෂාවන්ගෙන් යම් අරමුණු ප්‍රමාණයක් ඉෂ්ටවීමෙන් පුද්ගලයා තාවකාලික තෘප්තියක් ලැබුව ද කිසිවිටෙක ස්ථිර වූත්, පූර්ණවූත් තෘප්තියක් නොලබයි. මෙම අප්‍රතිහත උත්සාහයේ දී තමාගේ අපේක්ෂිත අරමුණු ඒ ආකාරයෙන්ම සියයට සියයක් සාර්ථකව ඉටුකරගත් පුද්ගලයකු නොමැත. තාවකාලික තෘප්තියක් ලබන ඔබ එය රැවටීමෙන් නැවත නැවතත් එයම ලබාගැනීම සඳහා වෙහෙසෙන්නේ එය තිරසාරව ලබන්නේය යන අසත්‍ය විශ්වාසය නිසාය. මෙම යථාර්ථය වටහා නොගෙන කටයුතු කිරීම නිසා උද්ගතවන ප්‍රතිඵල බොහෝ දුරට අයහපත්ය.

හොඳින් හෝ නරකින් තමාගේ සැපත, සතුට, සොයායාම සඳහා සොරකම, මිනීමැරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, හා බොරු කිරීම, මතට ලොල් වීම පුද්ගලයා හා සමාජය විනාශයට ඇද දමන රාගයේ අයහපත් ප්‍රතිඵලය. රාගයේ තාවකාලික අරමුණක් ඉටුවුවහොත් මොහොතකට සතුටට පත්වන අප අපේක්ෂාවෙන් බිඳී සුණු විසුණු වී ගිය විට උලක් ඇනුණු මිනිසකු මෙන් චිත්ත පීඩාවට පත්වේ.

විරුද්ධතාව, ඊර්ෂ්‍යාව, තරහව, කෝපය, අකැමැත්ත, නොරුස්සන ස්වභාවය, නපුරුකම, රළුකම, හිතුවක්කාරකම, චණ්ඩිකම, දුෂ්ටකම, නොනැමෙන ගතිය, නොඉවසීම යන විවිධ නාමයන්ගෙන් පිළිබිඹු වන්නේ අප තුළ ක්‍රියාක්මක වන ද්වේෂය අපගේ ක්‍රියාවන් තුළින් එළි දැක්වෙන විවිධ අපේක්ෂාවන්ය.

ද්වේෂයෙන් කටයුතු කරන්නා බලාපොරොත්තු වන්නේ ඉන් ජයග්‍රහණයක් ලබා සතුටු වීමට වුවද එබඳු ක්‍රියාවන් තුළින් පූර්ණ තෘප්තියකට පත් වූවෙකු ලොව නැත. සතුරාගේ පරාජයෙන් ලැබෙන තෘප්තිය තාවකාලිකය. ඉන් ලබන තාවකාලික තෘප්තියට රැවටෙන අප නැවත ද නැවත ද එම කටයුතුවල නිරත වන්නේ තාවකාලික තෘප්තිය ස්ථිර තෘප්තියක් බවට පත්කරගත හැකිය යන බොරු විශ්වාසය නිසාය. එයින් හටගන්නා අහිතකර ප්‍රතිඵල පුද්ගල විනාශය, සමාජ විනාශය, ද්වේෂයෙන් කටයුතු කිරීම නිසා ලැබෙන එකම ප්‍රතිඵලය සිත අසහනයකට, අවුලකට පත්වීම විනා අනෙකුත් තෘප්තියක් නොවේ.

මානසික අතෘප්තීන්ගෙන් මිදීම සඳහා භාවනා කළ හැකිය. යහපත් වූ එකම අරමුණක් වෙත සිත යොමු කොට පවත්වාගත යුතුය. සෑම පුද්ගලයකුටම එකම භාවනා ක්‍රමයක් අනුගමනය කොට සමාධිය ඇතිකර ගත නොහැකිය. එක එක චරිත ස්වභාවයක් හඳුනාගෙන එයට ගැළපෙන කමටහන් හෙවත් භාවනා මාතෘකා තෝරාගත යුතු ය. භාවනා සඳහා කමටහන් ලබාගැනීමේ දී එයට යෝග්‍ය තැනැත්තකු වෙත යාම ඉතාම වැදගත් වේ. එම යෝග්‍ය තැනැත්තා ‘කල්‍යාණ මිත්‍ර’ ලෙස හඳුන්වයි. භාවනාවෙහි යෙදී පළපුරුදු ඇති සීලවන්ත, ගුණවන්ත, ඥානවන්ත, පුද්ගලයන් කල්‍යාණමිත්‍රයන් වශයෙන් සැලකිය හැකි ය.

සබ්බත්ථකකමට්ඨාන කමටහනට මාතෘකා තුනක් අයත් වේ.

1. මෛත්‍රි භාවනාව
2. මරණ සති භාවනාව
3. අසු සඤ්ඤා භාවනාව

කමටහන් වැඩීමට ආරම්භ කරන තැනැත්තා මූලිකවම මෛත්‍රිය වැඩීම කළ යුතු ය. මෛත්‍රිය වැඩීමේදී එයට අනුපිළිවෙළට කළ යුතු ය.

1. මගේ නිවසෙහි ජීවත් වන සියල්ලෝම සුවපත් වෙත්වා. කාරුණික වෙත්වා.
2. මාගේ ගෘහ සීමාවට අධිගෘහිත දෙවි දේවතාවෝ සුවපත් වෙත්වා. කාරුණික වෙත්වා.
3. මා වසන ගමෙහි වෙසෙන මිනිස්සු සුවපත් වෙත්වා, කාරුණික වෙත්වා.
4. සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා, කාරුණික වෙත්වා.

ක්‍රම ක්‍රමයෙන් මේ ආකාරයෙන් තමාට සමීප පුද්ගලයන්ගෙන් ආරම්භ කර අවසානයට සියලුම සත්වයන් ඇතුළත් වන පරිදි මෛත්‍රිය වැඩීම යහපත්ය. තමා නිතර ආශ්‍රය කරන්නන් වෙත මෛත්‍රිය වැඩීමෙන් එදිනෙදා ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි ය. දෙවියන්ට මෛත්‍රිය දැක්වීමෙන් දේවාරක්ෂාව සැලසේ. ගම්වාසී ජනතාව වෙත මෛත්‍රිය දැක්වීමෙන් ඔවුන්ගේ අනුග්‍රහය ලැබේ. මිනිසුන්ගේ තාඩන පීඩනවලට ලක් නොවී සමාජ ජීවිතය යහපත් වේ. මෛත්‍රිය වැඩීම මානසික ප්‍රාර්ථනයක් පමණක් නොවේ. මෛත්‍රී සහගත සිතින්, කයින්, වචනයෙන් කටයුතු කිරීම ද අවශ්‍යය.

“මරණ සතිය” යනු තමාට මරණය ඉක්මවා යා නොහැකි බව හොඳින් සිහිපත් කළ යුතු ය. මරණය අමතක නොකර තමා මරණයට පත්වන පුද්ගලයකු බව නිතර නිතර සිහිපත් වන විට භාවනාව සඳහා උදාසීනත්වයක් ඇති නොවේ. මරණය අමතක කොට ජීවත්වන කල්හි මෙවැනි භාවනාවල යෙදීමට උනන්දුවක් ඇති නොවේ.

අසුබ සඤ්ඤාව භාවනාව වැඩීම යනු අපගේ ඉන්ද්‍රියවලට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ ආදී සියලු දේත්, ශරීරයට අයත් සියලු දේත් සුබ වශයෙන් නොගෙන ජරාවට, මරණයට පත්වන අසුබ දේ ලෙස සැලකීමයි. තමා හා අවට ලෝකය අසුබය යන හැඟීම නිතර දියුණු කරන විට දිව්‍ය සැප සම්පත් පිළිබඳවත් රාගික වශයෙන් ඇලීමක් ඇති නොවේ. රාගය, ලෝභය ඇති අය නිතර අසුබ සඤ්ඤාව ද වැඩිය යුතු ය.

මෙම මෛත්‍රිය, මරණාසති අසුබ භාවනාවන් සියලුම දෙනා විසින් ආරම්භයේදීම පුරුදු පුහුණු කළ යුතු ය.

හේමමාලා රන්දුනු

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]