UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ‘දුක දුරු කරගෙන සැප උදාකර ගැනීම පිණිසයි’

ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත කෙරෙහි අකමැත්ත උපදවා ගන්න කෙනාට, කාමයන් දුරු කර ගන්න පහසුයි. ඒක ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා මේ අමාරු දේ කරන්න කල්පනා කරන්න. ඒ සඳහා ප්‍රමාණවත් තරම් ධර්මය තියෙනවා.  පොත පතේ පෙන්වා දී තිබෙන  ධර්මය ඉගෙන ගන්න.

සිතට පීඩාවක් ආපු වෙලාවට ඒක දුරු කර ගන්න මා උපක්‍රමයක් කියලා දෙන්නම්. ඒ වගේ වෙලාවට අපිට වාඩිවෙලා භාවනා කරන්න බැරි වෙයි. මුලින් සක්මන් කරන්න. කෙනෙකුට අපහසුවක් එනකොට පොඩ්ඩක් ඇවිදිනකොට අපහසුව අඩුවෙලා යනවා. ඒ නිසා ටිකක් සක්මන් කරන්න. ‘මේ සිත අනිත්‍යයයි සිතිවිලිත් අනිත්‍යයි’ කියලා මෙනෙහි කරමින් සක්මන් කරන්න. බලවත් පීඩා පවතිනකොට දැඩි කැප කිරීමක් කරන්න වෙනවා. ටික වෙලාවක් එහෙම කරනකොට තමන්ටම තේරෙයි ටික ටික ඒ මුරණ්ඩු සිත මෙල්ල වෙනවා. ඒ මුරණ්ඩු සිත මෙල්ල වෙලා අර අපහසුකම් ටික ටික අඩුවෙනවා. තමන්ටම තේරෙයි. අපිට පුළුවන් ‘සිතත් අනිත්‍ය යි’ ‘සිතිවිලි අනිත්‍ය යි’ ‘සිතේ විඥානයත් අනිත්‍යයි’ කියලා මෙනෙහි කරන්න.

තව දුරටත් ඒ විදිහටම කරගෙන යනකොට තවත් පහසු ඇති වෙයි. එවිට මෙනෙහි කරන්න සිතත් අනිත්‍යයි, සිතිවිලිත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි, සිතේ ස්පර්ශයත් අනිත්‍ය යි කියලා. තව දුරටත් ඒ විදිහට කරගෙන යන්න. එතකොට තවත් සුවපහසුව ඇති වෙනවා තේරෙයි. පීඩා අඩුවෙනවා තේරෙයි. එතකොට මෙනෙහි කරන්න සිතත් අනිත්‍යයි, සිතිවිලිත් අනිත්‍යයි, සිතේ විඥානයත් අනිත්‍ය යි, සිතේ ස්පර්ශයත්,අනිත්‍ය යි ඒ ස්පර්ශයෙන් ඇතිවන විඳීමත් අනිත්‍යයි කියලා. තවදුරටත් සක්මන් කරමින්ම කරන්න. එතකොට තවත් අපහසුව අඩුවෙනවා තේරෙයි.

එතකොට මෙනෙහි කරන්න සිතත් අනිත්‍යයි, සිතිවිලිත් අනිත්‍යයි, සිතේ විඥානයත් අනිත්‍ය යි, සිතේ ස්පර්ශයත් අනිත්‍යයි, ඒ ස්පර්ශයෙන් ඇතිවන විඳීමත් අනිත්‍යයි, හඳුනා ගැනීමත් අනිත්‍ය යි, චේතනාවත් අනිත්‍යය යි.

කියලා තවදුරටත් ඒ විදිහට කරගෙන යනකොට අපහසුව අඩුවෙලා ගොඩක් පහසුව ඇති වෙයි. එතකොට මෙනෙහි කරන්න සිතත් අනිත්‍ය යි, සිතිවිලිත් අනිත්‍යයි, සිතේ විඥානයත් අනිත්‍ය යි, සිතේ ස්පර්ශයත් අනිත්‍ය යි, ඒ ස්පර්ශයෙන් ඇති වන විඳීමත් අනිත්‍ය යි, හඳුනා ගැනීමත් අනිත්‍ය යි, චේතනාවත් අනිත්‍ය්‍ය යි, සිතේ ඇති වෙන තණ්හාවත් අනිත්‍ය යි කියලා. ආන්න එතකොට තව දුරටත් පහසුව වැඩි වෙයි. දැන් ගිහිල්ලා හෙමිහිට වාඩි වෙන්න. වාඩි වෙලා ඒ භාවනාව ම කරගෙන යන්න.

එතකොට අර ගින්න නිවිලා යයි. එතකොට තේරුම් ගන්න ධර්මය සංදිට්ඨිකයි කියලා. එතකොට තේරුම් ගන්න මම යම් ධර්මයක් පුරුදු කළා නම් එමඟින් තිබූ අපහසුව දුරු වුණා. එහෙනම් ධර්ම සංදිට්ඨිකයි කියලා එතකොට තේරුම් ගන්න. මට පීඩාවක් තිබුණා. කල්‍යාණ මිත්‍රයා මුන ගැහුණා. ධර්මය කිවුවා. මා ඒ ධර්මය පුරුදු කළා. පීඩාව දුරු වුණා. එහෙනම් සෝතාපත්ති අංග සත්‍යයි කියලා පිළිගන්න. මෙන්න මේ විදියට කල්පනා කරන්න. එතකොට අප ධර්මයට එන්න පුළුවන් විදියට අපේ හිත හැදෙනවා. එහෙම නැත්නම් අපි කැරකිලා ගිහිල්ලා ආපහු සැරයක් අර මාරයාගේ වසඟයේ තියෙන සිතටම කොටු වෙලා යනවා.

කොටුවෙලා ගිහිල්ලා අප මාරයාගේ ගෝලබාලයන් බවට පත් වෙලා යනවා ඉන් පසු තමනුත් නැසිලා අන් අයත් නැසෙන මට්ටමට අපේ සිත කෙලෙසනවා. අප කවදාවත්, ඒ තත්ත්වයට නොවැටිය යුතු යි. ඒ නිසා තේරුම් ගන්න ‘සබ්බලෝකේ අනභිරත සංඥාව‘ අපි හොඳින් හුරු කර ගත්තොත් අපිට මේ අපහසුවලින් දුරු වෙන්න පුළුවන්.

ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත කෙරෙහි අකමැත්ත උපදවා ගන්න කෙනාට, කාමයන් දුරු කර ගන්න පහසුයි. ඒක ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා මේ අමාරු දේ කරන්න කල්පනා කරන්න. ඒ සඳහා ප්‍රමාණවත් තරම් ධර්මය තියෙනවා. පොත පතේ පෙන්වා දී තිබෙන ධර්මය ඉගෙන ගන්න.

ඉගෙන ගෙන, තම තමාගේ කටයුත්ත තම තමා කර ගන්න. මේක කාටවත් කරවලා දෙන්න බෑ. සිහිකරලා දීම විතරයි කෙනෙකුට කරන්න පුළුවන්. තම තමන් පෞද්ගලිකව මේක කර ගන්න ඕනෑ. එතකොට ඔක්කොම නිහඬයි. ඇයි තමාට කරන්න කටයුත්තක් තියෙනවා. මේක කතා කර කර නෙමෙයි කරන්නෙ. තනි තනියෙන් කරනවා. ලොකු පිරිසක් ඉන්න තැනකට ඉතාම වටිනව මේ ධර්මය. ඇයි?

තනි තනියෙන්ම තම තමා පුරුදු කරනවා. පිරිස අතර කලබල නෑ. ඇයි එකිනෙකාට කරන්න දෙයක් තියෙනවා. තමාගේ ඇස, කන, නාසය, දිව යන ආයතන ගැන සිතනවා. සිතන්නෙ ඒක ගැන ඇල්ම ඇතිවෙන විදිහට නෙමෙයි. නොඇල්ම ඇති වෙන විදිහට සිතනවා. ඇස වදකයෙක්, ඇස හතුරෙක්, කන, නාසය, දිව, ශරීරය, සිත මේවා මිතුරෝ විදිහට නෙමේ කල්පනා කරන්නෙ වදකයන් විදිහට හතුරෝ විදිහට. අපිට හානියක් කරපු අපරාධයක් කරපු දේවල් විදිහට කල්පනා කරමු. එවිට එයා ටිකෙන් ටික නිහඬ තැන්පත් කෙනෙක් බවට පත්වෙනවා.

ආන්න එයාට සමාධිය උපදවා ගන්න පහසු යි. ඇයි සමාධිය උපදවා ගන්න පහසු වෙන්නෙ. කාමයන් යටපත් කර ගෙන නිරුද්ධ කර ගන්න එයාට මේ සංඥාව ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා මේ භාවනාව හොඳින් පුරුදු කර ගන්න. මේ පුරුදු කරන්නෙත් ටික ටික තමයි. එක පාරට ගොඩක් කරන්න අමාරුයි. මේක ගොඩාක් සංකීර්ණයි. අනිත් ඒවාට වඩා හොඳයි. එහෙනම් අපි සියලු දෙනාටම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුක්තව පෙන්වා දෙන ලද ඒ පරම ගාම්භීර වූ ධර්මය, දුක දුරු කරගෙන මහත් වූ සැප උදාකර ගැනීම පිණිස ඉතාම සැප පහසු ජීවිතයක් දියුණු කර ගැනීම පිණිස සියලු දෙනාටම උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාර 02.13 ට ලබයි.
15 වනදා සිකුරාදා අපරභාග 03.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා බ්‍රහස්පතින්දාය

මීළඟ පෝය
ඔක්තෝබර් 22 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]