UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමෙහිලා මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ මෙහෙවර

ආන්ද්‍රේ මිලර්

තිස් වසරක් පුරා ඉංගී‍්‍රසියෙන් ථෙරවාදී බෞද්ධ සාහිත්‍යය විෂයෙහි අත්‍යන්තයෙන් වගකීම් සහිත ප්‍රකාශකයා වූයේ ශ්‍රී ලංකාවේ මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියයි. එහෙත් දැන් නොයෙක් ඇමරිකානු සමාගම් ද ථෙරවාදී සම්ප්‍රදායයට අයිති ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරමින් සිටී. එහිලා ශ්‍රී ලංකා ප්‍රකාශන සමිතියේ හිටපු සම්පාදක බෝධි හිමියෝ මෙසේ කියති. ‘නොයෙක් දුක් ගැහැට විඳිමින් මහ වනගැබ මැදින් ගොස් මඟ හෙළි කර ගන්නා ලද්දේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියයි.’

බෞ.ග්‍ර.ප්‍ර. සමිතියේ ආරම්භයට මුල පිරුණේ, මහනුවර හිටපු නගරාධිපතිවරයකු වන ඒ.එස්. කරුණාරත්න මහතා විසින් 1957 දී ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායයක් වන , සිය මළගිය ඥාතියකු සිහිකිරීම පිණිස පොත් පිංචක් ප්‍රකාශයට පත් කරන්නට අනුග්‍රහය දැක්වීමට තීරණය කිරීමෙනි. ඒ වන විටත් පොත් පිංච මුද්‍රණකරුවකු වෙත තිබිණි. ඊට අමතරව කරුණාරත්න මහතාගේ සිත තුළ තවත් අදහසක් විය. එනම් මූලික බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ පොත් පෙළක් ඉංගී‍්‍රසියෙන් ප්‍රකාශයට පත් කර බටහිර රටවල නොමිලේ බෙදා හැරීමයි.

කරුණාරත්නගේ මිතුරකු වූ රිචඩ් අබේසේකර බුදුදහම බටහිර රටවල ව්‍යාප්තිකරණය පිළිබඳ අදහස කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවෙකි. ඉක්බිති භික්‍ෂු බෝධි බවට පත් ඔහු තමාගේ අදහස සමිතියේ පුරෝගාමියකුට ඉදිරිපත් කළේ ය. එහෙත් කරුණාරත්න හෝ අබේසේකර බෞද්ධ පඬිවරු නොවූහ. එබැවින් සංස්කාරක වගකීම පැවරීමට සෑහෙන දැනුමක් ඇති ධර්මධරයකුගේ අවශ්‍යතාව ඉස්මතු විය. ඉක්බිති ඔවුන්ගේ අවධානයට යොමු වූවෝ මහනුවරින් තරමක් දුරින් දිවි ගෙවමින් සිටි පූජ්‍ය ඥානපෝනික හිමියෝ ය.

ඥානපෝනික හිමියන් 1901 දී ජර්මනියේ යුදෙව් පවුලක උපන්නේ සිග්මන්ඩ් ෆෙනිගර් නමිනි. ෆෙනිගර්ගේ පියා සපත්තු සාප්පුවක් පවත්වාගෙන ගියේ ය. සිය දරුවා විශ්වවිද්‍යාලයට යවා උසස් අධ්‍යාපනය ලබා දෙන්නට තරම් වත්කමක් ඔහුට තිබුණේ නැත. එබැවින් ද්විතීයික අධ්‍යාපනයෙන් පසු ෆෙනිගර් සපත්තු ගබඩාවක රැකියාවක් ලබා ගත්තේ ය. ඒ අතර නිතැනින් ම ඔහුගේ සිත ධර්ම ග්‍රන්ථ වෙත ආකර්ෂණය විය. එහි අවසන් පියවර වූයේ විසි වැනි වියේ දී පූර්ණකාලීනව ඒ වෙනුවෙන් කැප වන්නට තීරණය කිරීම යි.

එවක හිට්ලර් ජර්මනියේ බලයට පත්වීමෙන් පසු යුදෙව්වනට උදා වූයේ භීෂණ සමයෙකි. යුදෙව්වෝ අසීමයෙන් හිංසනයට ලක් කරනු ලැබූහ. ෆෙනිගර් පන බේරාගෙන වියානා වෙත පලා ගොස් එතැනින් ශ්‍රී ලංකාවට පැන ගත්තේ ය. එහිදී ජර්මන් භික්‍ෂුවක වූ පූජ්‍ය ඥානාතිලෝක හිමියන් සමඟ අධ්‍යයන කටයුතුවල නිරත වන්නට මඟ සැලසිණ. ඉක්බිති පැවිදි බවට පත් ෆෙනිගර්, ඥානපෝනික නමින් හැඳින්විණ. එතැන් සිට 1939 දෙවැනි ලෝක යුද්ධය ඇවිළෙන තෙක් ම ඒ හිමියෝ සිත් සේ පැවිදි ජීවිතයේ ස්ථාවර වූහ. අනතුරුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක ජර්මන් ජාතිකයකු ලෙස ජීවත් වෙමින් 1939 සිට 1946 වනතුරු අප්‍රකටව කල් ගත කළහ.

ඥානපෝනික තෙරණුවෝ 1951 දී මහනුවර ආසන්නයේ ආරණ්‍ය සේනාසන කුටියක් වෙත ගියහ. උන්වහන්සේ බෞ.ග්‍ර.ප්‍ර. සමිතියේ සම නිර්මාතෘවරයකුව සිටියදී දිවි ගෙවූයේ එතැන ය. වසර කීපයකට පසු බෝධි භික්‍ෂූන් වහන්සේ බෞ.ග්‍ර.ප්‍ර. සමිතියේ සංස්කාරක ලෙස සිටියදී, වර්තමාන ඉංගී‍්‍රසි සංස්කාරක ඥානතුසිත හිමියන් සේ ම වාසය කරමින් කටයුතු කර ගෙන ගියේත් මේ ආරණ්‍ය සේනාසනයේ ය. ඒ ගැන ඥානතුසිත හිමියෝ මෙසේ කියති.

“එයට හේතුව ඒ වනපියසේ ඇති සන්සුන් පරිසරයයි. එහි තිබුණේ සූර්ය කෝෂ වලින් ලබා ගන්නා ලද වෝල්ට් දොළහක විදුලි බලයක් පමණි. මෙසේ පළමුවෙන් සේනාසනයට සූර්යකෝෂ මඟින් ආලෝකය ලබා ගන්නා ලද්දේ 1980 ගණන්වල අග හරියේදී ය. එයට පෙර ඥානපෝනික සහ බෝධි තෙරුවන් රාත්‍රී කාලයේ වැඩ කළේ භූමිතෙල් ලාම්පුවක ආලෝකයෙනි. උන්වහන්සේලා සිය ලේඛන කටයුතු කළේ අතින් සහ යතුරු ලියනයකිනි.

“ආරණ්‍ය සේනාසනය නඩත්තු කිරීම එසේ මෙසේ කාරියක් නොවේ. එය එතරම් බැරෑරුම් ය. දින දෙකකට කලින් මට මදුරුවන් සහ කූඩැල්ලන් පොදිකන කැලේ රිංගන්නට සිදුවිය. ඒ බීමට ගන්නා ජලය සැපයෙන ප්ලාස්ටික් බටයේ ජල කාන්දුවකට පිළියම් යොදනු පිණිස පැය කීපයක් ගත කරන්නට ය. එදා උදේ ගබඩා ටැංකියෙන් ජලය පොම්ප කර ගන්නට මට වුවමනා විය. එහෙත් පැට්රල් ඉන්ධන නළය ක්‍රියාත්මක නොවී ය. ජලය ඇද ගන්නට ළිඳට දමා තිබුණු නළය කැඩී ගොසිනි. මේ සියලු දුෂ්කරතා වලට මුහුණපාන්නට සිදුවුණත් දැන් එදාට වඩා තත්ත්වය සතුටුදායක ය. එවන් නීරස, කර්කශ තත්ත්වයක් තුළ පූජ්‍ය ඥානපෝනික හා බෝධි හිමිවරුන් වසර ගණනාවක් වෙහෙසකර මෙහෙවරක නිරත වූ ආකාරය පුදුම සහගත ය.”

1960 වන විට බෞ.ග්‍ර.ප්‍ර. සමිතියට වඩාත් අංග සම්පූර්ණ කාර්යාලයක අවශ්‍යතාව දැනෙන්නට විය. එකල්හි මහනුවර සිටි එක්තරා දන්ත වෛද්‍යවරයෙක් තමාගේ ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගත් නිවසින් කොටසක් පරිත්‍යාග කළේ ය. එහෙත් යථා කාලයේ දී එතුමා විසින් මුළු ගොඩනැඟිල්ල පරිත්‍යාග කැරිණ. කාලයාගේ ඇවෑමෙන් සමිතිය ප්‍රගතියක් අත්කර ගන්නා විට, පැරණි ගොඩනැඟිල්ල වඩාත් විශාල නිර්මාණයකින් ප්‍රතිස්ථාපනය කරන ලදී. සමිතිය ලද මේ ප්‍රගතිය, පොත්පිංච විසිපහක් පමණ ප්‍රකාශයට පත්කිරීම නිසා, සමිතියේ සංස්කාරකයන්ගේ පරමාර්ථය පැහැදිලි කළ නිර්මාතෘන් මවිතයට පත් කළේ ය. කෙසේ වෙතත් සමිතියේ කාර්යසාධක මෙහෙවර අපරදිග රටවල බුදුදහම කෙරෙහි වර්ධනය වෙමින් පවතින සාවධානාත්මක සැලකිල්ල සමඟ එකපිට වැටිණ. ඒ අනුව පළමුවෙන් ප්‍රකාශයට පත් විසිපහක් පමණ වූ පොත්පිංච කීපය අපරදිග රටවල ධනාත්මක පිළිගැනීමට ලක්විය. එහි ප්‍රතිඵල විසින් ආරම්භක පුරෝගාමීහු ප්‍රකාශන ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යන්නට තීරණය කළහ.

බෞ.ග්‍ර.ප්‍ර. සමිතිය එය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොත්පිංච දෙපෙළක් නිසා උපරිතම හඳුනාගැනීමට ලක්විය. එනම් Bodhi Leaves සහ Wheel ය. “බෝධී ලිව්ස්” වනාහි බුදුදහම විෂයයෙහි පෞද්ගලික ආධ්‍යාත්මික විනිවිද දැක්ම විග්‍රහ කරන මැනවින් සංක්ෂිප්ත, ගතානුගතිකත්වයෙන් තොර පොත් පෙළකි. ‘වීල්’ වනාහි භාවනාව, තුලනාත්මක අධ්‍යයනය, බෞද්ධ ඉතිහාසය, පාලි ත්‍රිපිටකයෙන් උපුටා ගත් පරිවර්තන වැනි මාතෘකා ඔස්සේ සැකසුණු හරවත් විචිත්‍ර ධර්ම පත්‍රිකා සංයුක්තයකි. ‘වීල්’ පොත්පිංච පෙළේ වැඩි හරියක් පූජ්‍ය ඥානපෝනික හිමියන් විසින් තමා ජීවත්ව සිටි සමයේ ලියන ලද ඒවා ය.

ඥානපෝනික හිමියෝ ග්ලුකෝමා රෝගයෙන් කියවීමේ හැකියාව සීමා කරනු ලැබූ කල්හි, සංස්කාරක තනතුරින් විශ්‍රාම ගොස්, එය තමාගේ දිගුකාලීන ඇමරිකානු ශිෂ්‍ය බෝධි හිමියනට පැවරූහ. ඥානපෝනික හිමියන්, බෝධි හිමියන්ගේ නම පාලක සභාවට රෙකමදාරු කරන්නට අදහස් කිරීම ගැන මතක් කර මඳහස පාමින් බෝධි හිමියෝ මෙසේ කියති. “මම මෙහෙම උත්තර දුන්න. ස්වාමීනි, මම සංස්කාරක තනතුර බාර ගන්න එකඟ වෙන්නෙ ඔබවහන්සෙ අපවත් වුණහම යි. ඒ නිසා මම හිතන්නෙ නෑ මම එහෙම කරන එක සුදුසු යි කියල. එතකොට ඥානපෝනික හිමියන් මෙහෙම කිව්ව. මට දැන් අසූ දෙකයි, ඒක විශ්‍රාම යන්න හොඳ වෙලාව. මම ඔබ රෙකමදාරු කරනවා. එදා රෑ මම නිදා ගෙන ඉන්න කොට කැලෑරොද පීරා ගෙන පැනල යන්න හිතුව. ඒත් මේ වියපත් තෙරුන් මේ වගේ වනගත අසපුවක අතරමං කරල පැනල යන්නෙ කොහොමද?.

බෝධි හිමියන් සංස්කාරක තනතුරට පත් වූ අතර උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සමිතිය මල් පල ගන්වමින් ප්‍රගතිය වෙත ඇදෙන්නට වන. උන්වහන්සේ විසින් ප්‍රවෘත්ති පත්‍රිකාවක් නිකුත් කිරීම ඇරඹිණ. එහි වඩාත් විස්තරාත්මක තොරතුරු ඇතුළත් විය. ඉක්බිති 1990 ගණන්වල පසු භාගයේ දී “පරියත්ති” (පර්යාප්ති හෙවත් ධර්මය) නමින් ථෙරවාද ප්‍රකාශන සමාගමක් සංවිධානය කැරිණ. එහි අරමුණ වූයේ සමිතියේ ප්‍රකාශන උතුරු ඇමරිකාවේ බෙදා හැරීමයි. ‘පරියත්ති’ සමාගමේ විධායක අධ්‍යක්‍ෂ ලූක් මැතිව්ස්, බෞ.ග්‍ර.ප්‍ර. සමිතියේ කෘති බෙදා හැරීම පටන් ගන්නට කලින්, ඇමරිකානුවනට ඒවා ලබා ගැනීමේ අපහසුවක් තිබුණු බව කියයි. කලින් ඒ ගැන කෙනෙකු ඇසූ විට ඔහු කියන්නේ මෙසේ ය. “ඔහෙට තිබුණෙ ශ්‍රී ලංකාවට ලියන්නනෙ.” ඒ ගැන වැඩිමනක් ඔහු මෙසේ කියයි. “මම ලියන්න කිවුවෙ වාච්‍යාර්යෙන් මයි. ඇයි ද කියතොත්, ඒ වෙනකොට විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාල සාප්පු සවාරි තිබුණෙ නෑනෙ. ඒ නිසා තැපෑලෙන් ගෙන්න ගන්න ලියන්න එපා යැ. ඒකත් ලේසි වැඩක් නොවෙයි. තැපෑලෙ එන්නක් මාස ගණනක් ගත වෙන්න තිබුණනෙ.”

බෝධි හිමියෝ 2002 දී සංස්කාරක කර්තෘ තනතුරින් ඉල්ලා අස් වූ නමුත් සමිතියේ සභාපති තනතුරේ සිට කටයුතු කර ගෙන ගියහ. ඕලන්ද ජාතික ඥානතුසිත හිමියන් ඉංගී‍්‍රසි ප්‍රකාශනයන්ගේ සංස්කාරක වන අතර ශ්‍රී ලාංකික පඬිවරයෙක් සමිතියේ සිංහල ප්‍රකාශනයන්ගේ ප්‍රධාන සංවිධායකත්වය දරයි. බෞ.ග්‍ර.ප්‍ර. සමිතියේ මූලික අරමුණ වූයේ ප්‍රකාශන ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පළ කිරීම වූවත්, මෑත වකවානුවේ වඩාත් විවරණාත්මකව සිංහලෙන් ද පළ කරනු ලබමින් ඇත.

ඇයි ද යත්, වැඩිතරයක් ශ්‍රී ලාංකිකයනට ඉංගී‍්‍රසියෙන් කියවීම අපහසු වන අතර, ධර්මාවබෝධය ඔවුන්ගේ ජන්ම භාෂාවෙන් ලබා දිය යුතු හෙයිනි.

සමිතියේ ප්‍රකාශන විෂයයෙහි ඇතිවුණු වෙනසක් නම්, තවදුරටත් ‘බෝධි ලිව්ස්’ පොත්පිංච පළ නොකරන අතර, ‘වීල්’ පමණක් ඉඳහිට පළ කිරීමයි. ඒවා සමිතියේ අන්තර්ජාල පුස්තකාලයෙන් ලබා ගත හැකි ය. දැන් බෞ. ග්‍ර. ප්‍ර. සමිතිය, ශ්‍රී ලංකාවෙන් පිටත හත්සියයක් ඇතුළුව තුන් දහසක සාමාජිකයන්ගේ වගකීම් සහිත අනුග්‍රහය යටතේ ග්‍රන්ථ ප්‍රකාශනයට යොමුව සිටී. ලූක් මැතිව්ස් මෙසේ කියයි. බෞ.ග්‍ර.ප්‍ර. සමිතිය එහි ප්‍රකාශන වැඩි කර ඇත. ඒවායේ කඤ්චුක වඩාත් කලාත්මක ය. මුද්‍රිත කඩදාසි ගුණාත්මක බැවින් වැඩිමනක් ඉදිරියෙන් සිටී. බැම්ම ප්‍රමිතියෙන් බෙහෙවින් උසස් ය. දැන් ඒවා අන්තර් ජාලයෙන් ලබා ගත හැකි ය.

සමිතිය මෙතෙකුත් ඒවායේ මිල සාධාරණ පහළ මට්ටමක තබා ගැනීමට උත්සාහ දරයි. තවද සමිතියට ‘ඥානපෝනික ධම්මදාන ව්‍යාපෘතිය’ නමින් අරමුදලක් ඇත. එමඟින් බෞ.ග්‍ර.ප්‍ර. සමිතියේ ප්‍රකාශන සියයක් පමණ ලොව පුරා විහාරස්ථාන, විශ්ව විද්‍යාල සහ ආයතන වලට නොමිලේ හඳුන්වා දෙන්නට කටයුතු යොදා තිබේ. මෑතකදී හෙල්මුත් හෙකර් විසින් Similes of Buddha (බුදුන් වහන්සේගේ උපමා) මැයින් ග්‍රන්ථයක් නිකුත් කර ඇත.

තව දුරටත් ලූක් මැතිව්ස් මෙසේ කියයි. “ තනි පුද්ගල විසින් ථෙරවාදය ගැන පතපොත ලියන ලේඛකයෝ සිටිති. එහෙත් බෞ.ග්‍ර.ප්‍ර. සමිතිය මෙන්, ලාබයක් ගැන නොතකා ඉංගී‍්‍රසියෙන් බුදුදහම වෙත සාම්ප්‍රදායික එළඹීම විෂයයෙහි විවරණ සහ ගුණාත්මක බැවින් උසස් පරිවර්තන සැපයීමට කැප වුණු වෙනත් ආයතනයක් නැත. සැබවින් ම එයට අත පෙවිය හැකි මානය බෙහෙවින් පුළුල් ය.”

2010.08.04 වැනිදා බුදුසරණ පත්‍රයේ පළ කරන ලද ආන්ද්‍රේ මිලර්ගේ Buddhist publication Society Disseminates Theravada Buddhism ලිපියේ පරිවර්තනයකි.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාර 02.13 ට ලබයි.
15 වනදා සිකුරාදා අපරභාග 03.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා බ්‍රහස්පතින්දාය

මීළඟ පෝය
ඔක්තෝබර් 22 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]