UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වන උපසම්පදා විනය කර්ම පුණ්‍යොත්සවය 16 වන දා අනුරාධපුරයේ දී ඇරැඹෙයි

‘විනයො නාම සාසනසස ආයු’

‘විනයො නාම සාසනසස ආයු’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ ලෞකික, ලෝකෝත්තර සියලු සම්පත්වලට මාර්ගය වන්නේ පුද්ගලයා තුළ පවත්නා ශික්‍ෂාකාමීත්වය බැවිනි. බුදුරදුන් පිහිටුවා වදාළ භික්‍ෂු ශාසනය ශික්‍ෂණය වන්නේ ප්‍රාතිමෝක්‍ෂ ශික්‍ෂා පද සමූහයෙනි. උපසම්පදාව යනු ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය මුල් කොට ඇති සතර සංවර ශීලයෙහි අල්ප මාත්‍ර වූ ශික්‍ෂාපදයක්වත් උල්ලංඝනය නොකොට ආරක්‍ෂා කරමින් බ්‍රහ්මචර්යාවෙන් ලැබිය හැකි උපරිම ඵල සාක්‍ෂාත් කර ගැනීමෙහි ලා අප්‍රතිහත වීර්යයෙන් ක්‍රියා කරන බවට මහා සංඝයා විසින් ආධුනික භික්‍ෂුවගෙන් ප්‍රතිඥා ලබාගැනීම හා ආධුනික භික්‍ෂුව විසින් සිතට එකඟව ප්‍රතිඥා දීමත්ය. ශාසනය චිරස්ථායි වන්නේ මෙකී ක්‍රියාදාමය ඔස්සේය. මේ අනුව උපසම්පදා පුණ්‍ය කර්මය මහානුභාව සම්පන්න මහානිසංසදායක වූවකි. ඒ අනුව අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන කේන්ද්‍රකොටගෙන අනුරාධපුර, රාජාංගනය, කලාවැව, කැබිතිගොල්ලෑව යන රජරට ප්‍රදේශයේ ප්‍රාදේශීය සංඝ සභා සහ නිකායාරක්‍ෂක සභාව විසින් සංවිධානය කෙරෙන මධ්‍යම රජය උතුරුමැද පළාත් සභාව හා විවිධ ආයතන හා සංවිධාන අනුග්‍රහය ලබාදෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වන උපසම්පදා මහා පුණ්‍ය කර්මය හා විනය කර්මය 2010 ජූලි 16 වනදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීම ලංකාවේ සම්බුද්ධ ශාසනය චිරස්ථායී කිරීමට දරන අතිප්‍රශංසනීය ප්‍රයත්නයක් ලෙස නම් කළ යුතු බව නිකායේ වර්තමාන මහානායක මහා ස්ථවිරයන් වහන්සේ වශයෙන් බලවත් පී‍්‍රතියෙන් යුතුව ප්‍රකාශ කරමි.


 

සසුනේ ජීවය උපසම්පදාවයි

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා බලපාන ප්‍රධාන සාධකය වන්නේ උපසම්පදා ශිලය යි. විනය හෙවත් අධිශීල සංඛ්‍යාත උපසම්පදාව සසුනේ ආයුෂය ලෙස දක්වා ඇත්තේ එහෙයිනි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මේ රටෙහි ආරම්භ වූයේ ම පිරිසුදු උපසම්පදාව පිහිටුවා සසුනෙ චිරස්ථායි කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස අපට පිරිසුදු උපසම්පදාවක් සහ විනයගරුක භික්ෂු පරපුරක උරුමය ලැබුණු බව, දිවි පරදුවට තබා අතිශය කැපවීම් කළ, බෝධිසත්ත්ව ගුණෝපේත ආදි වීර පුරුෂයන් කෙරෙහි ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

මෙම ජුලි මස 16 වන දිනෙන් ආරම්භව 24 වන දින දක්වා අනුරාධපුර ශුද්ධ භූමියෙහි පිහිටි ශ්‍රී සාරානන්ද මහා විහාරය කේන්ද්‍රකොට මල්වතුඔය, උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන්නේ විනය සිකපද රකින උත්තම භික්ෂු පරපුරක පැවැත්ම පෝෂණය, සංවර්ධනය, අපේක්ෂාවෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වන උපසම්පදා මහා විනය කර්ම ය යි.

එහිදී 400 ක් සාමණේරයන් වහන්සේ උතුම් උපසම්පදාවෙහි පිහිටුවනු ඇත. පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේද ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු මැති ඇමැතිතුමන්ලාගේද නිකායාරක්ෂක සභාවේ ගරු සභාපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේද පූර්ණ කැපවීමෙන් හා උතුරුමැද පළාත් සභාව, අනුරාධපුර දිස්ත්‍රික් අන්තර්ගත අනුරාධපුර - රාජාංගනය - කැබිතිගොල්ලෑව හා කලාවැව යන සංඝ සභාවන් හි සංවිධානයෙන් සිදු කෙරෙන මෙම උපසම්පදා පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතින බව ඉතා සතුටින් සඳහන් කළ යුතුය.

එම සතිය තුළ අනුරාධපුර ශුද්ධ භූමියට වැඩම කරන ගරුතර මහා සංඝරත්නයට දන්පැන් පිළිගැන්වීමට ද දහස් ගණන් බැතිමතුන්ට ආහාර පාන සංග්‍රහ කටයුතු කිරීමට ද උත්සව සංවිධායක කමිටුව බලාපොරොත්තු වේ.

සම්බුද්ධ ශාසනයේ පැවැත්මට අදාළව මෙබඳු ශාසනික ගරු විනය කර්මයක් සංවිධානය කිරීමට අපට අවස්ථාවක් ලැබීම පිළිබඳව අපි අතිශය ප්‍රමෝදයට පත්ව සිටිමු. එය අප පුරාකෘත පුණ්‍ය ඵලයෙකැයි අපි සතුටු වෙමු. එය සාර්ථකව සිදුකර ගැනීමට සියලු දෙනාගේ සහයෝගය ශාසනාලය පෙරටුව අපේක්ෂා කරමු.


උපසම්පදා මහා විනය කර්මය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වන උපසම්පදා මහා විනය කර්මය 2010 ජුලි 16 වැනිදා සිට 24 වනදා දක්වා සතියක් පුරා අනුරාධපුර මල්වතුඔය උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත. මෙය ජාතික මහෝත්සවයක් ලෙස වසර දෙකකට වරක් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීම සම්ප්‍රදාය වේ. මෙවරද ශ්‍රීමත් ජනාධිපති තුමන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් කටයුතු සිදුවන අතර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරක්ෂක සභාව සියලු කටයුතු සංවිධානය කරයි. දායක පක්ෂය ලෙස උතුරුමැද ප්‍රධාන අමාත්‍යතුමන් උත්සව සංවිධායක කමිටුවේ සභාපතිත්වය දරන අතර දිස්ත්‍රික් මහ ලේකම්තුමා ලේකම් ධූරය දරයි. ගරු ආණ්ඩුකාරතුමන්ගේ ද ප්‍රධාන අමාත්‍යතුමන් ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික් සියලු මැති ඇමැතිවරුන්ගේද පූර්ණ සහයෝගය ලැබී ඇත.

ජාතිය සදාචාරවත් කරනු පිණිස මහත් බලපෑමක් සිදු කරනුයේ සිල්වත් විනයකරුක මහ සඟරුවනේ ආශ්‍රය යි. උන්වහන්සේගේ ආදර්ශවත් ජීවිත පැවැත්වීමත් උජුපටිපන්න මග පෙන්වීමත් අනුශාසනයත් ජාතියට ආශිර්වාදයකි. එබඳු විනයගරුක සඟ පරපුරක් ජාතියට උරුමකර දුන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘන්වහන්සේ අඹගහවත්තේ ඉන්ද්‍රසභ වරඤාණ සරණංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ යි. එම පරපුරේ 12 වැනි මහානායක ධුරන්ධර අතිපූජණීය වේවැල්දෙණියේ මේධාලංකාර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ වයස අවුරුදු 102 ක් ව සිය නිකායික මහා සංඝයාට මග පෙන්වමින් වැඩ වෙසෙති. මෙවර උපසම්පදා විනය කර්මය සිදුකරනු ලබන්නේ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙනි. මෙවර උපසම්පදා විනය කර්මය සිදු කෙරෙන්නේ අනුරාධපුර ශුද්ධ භූමිය හරහා ගලායන මල්වතු ඔය මධ්‍යයෙහි ඉදි කෙරෙන උදකුක්ඛේප සීමා මාලකයේදී ය. අනුරාධපුර ශ්‍රී‍්‍ර සාරානන්ද මහා විහාරය කේන්ද්‍රකොට අනුරාධපුර කලාවැව, කැබිතිගොල්ලෑව, රාජාංගනය යන සංඝ සභාවන්හි සංවිධානයෙන් එම කටයුතු සිදු කිරීමට සැලසුම් කොට තිබේ. පැරණි රජ සමයෙන් පසු අනුරාධපුර ශුද්ධ භූ®මියෙහි සිදු කෙරෙන දෙවැනි උපසම්පදා විනය කර්මය මෙය වේ. එයද වසර 30 කට පසුවය. මෙම අවස්ථාව විශේෂයෙන් රජරටවාසීන් ලත් විශේෂ භාග්‍යයක් කොට සැලකිය යුතුය.

උපසම්පදා සීමා මාලකයේ ප්‍රධානත්වය දරන්නේ නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී පූජ්‍යතර මකුලෑවේ විමල නාහිමිපාණන් විසිනි. උත්සව සංවිධානයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන්නේ අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක ගිරාඹේ ආනන්දාභිධාන මාහිමියන් වහන්සේ යි. සම්බුද්ධ ශාසනයේ ජීවය වන්නේ උපසම්පදා ශීලය වන හෙයින් මෙවර සාමණේරයන් වහන්සේ හාරසිය (400) නමක් උතුම් අධි ශීලයෙහි පිහිටුවීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය බලාපොරොත්තු වේ. වත් - මානත් පුරා අබ්භාන විනය කර්මයන්ට සහභාගි වූ 120 ක් පමණ වූ කර්මාචාර්ය - ගණපූරක ස්වාමින්ද්‍රයන් වහන්සේලාටද අතිපූජ්‍ය මහෝපාධ්‍යාය ස්වාමින්ද්‍රයන් වහන්සේලා ද මෙම විනය කර්මයට සහභාගි වෙති. මෙම උපසම්පදා විනය කර්මය නිමිතිකොට ‘පටිපදා’ නමින් ධර්ම විනය ලිපි සංග්‍රහයක් නිකුත් කිරීමටද නිකායේ නිල පුවත්පත වන ‘සසුන’ විශේෂ කලාපයක් නිකුත් කිරීමටද එම සතිය පුරා සාරානන්ද පිරිවෙන් ප්‍රධාන ශාලාවේදී වියත් ගිහි පැවිදි දේශකයන්ගේ සහභාගිත්වයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

උපසම්පදා විනය කර්මයේ සමාරම්භක ජාතික මහෝත්සවය මෙම ජුලි මස 16 වැනිදින සවස 3.00 ට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමන් ඇතුළු රජයේ මැති ඇමැතිවරුන්ගේ ද ගරු විපක්ෂනායකතුමා, ගරු කථානායක තුමා, නිකායාරක්ෂක සභාවේ ගරු සභාපති කරු ජයසූරිය මැතිතුමන් ඇතුළු ප්‍රභූවරුන්ගේද සහභාගිත්වයෙන් අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන ආසන්නයේ පිහිටි මිහිඳුපුර ක්‍රීඩාගංණයේදී පැවැත්වීමට නියමිතය. සසුනේ පැවැත්ම වෙනුවෙන් සිදු කෙරෙන මෙම මහා පුණ්‍ය කර්මයට පැමිණ සහභාගිව පින්සිදු කරගන්නා ලෙස ඔබ සැමට කාරුණිකව සිහිගන්වා සිටිමු.


උපසම්පදාව යනු උසස් තත්ත්වයට පත්වීම යි

උපසම්පත්තියෙන් සීල, සමාධි, පඤ්ඤා, විමුක්ති, යන ශ්‍රේෂ්ඨ ධර්ම අතරින් පළමුවැන්න වූ උත්තරීතර ශීලය ලැබේ. එම උපසම්පදා ශීලය වශයෙන් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය ලෙස හැඳින්වෙන ප්‍රධාන ශික්‍ෂාපද 227 ක් හා උපසම්පදා භික්‍ෂුත්වය විසින් හික්මිය යුතු නව කෙළ දහස් අසූකෝටි පනස් ලක්‍ෂ තිස් හයක් වූ කුඩා අනුකුඩා ශික්‍ෂා පද ද ගණන් ගැනේ.

භික්‍ෂුත්වය පිළිබඳ වැදගත් අවස්ථා දෙක ලෙස දස ශීලය සමාදන් ව ආරක්‍ෂා කරන “පැවිද්ද” (පබ්බජ්ජා) හා විසි වයස් සම්පූර්ණව උගතමනා බණ දහම් සපිරීමෙන් පසු ලබන “උපසම්පදා” අධිශීලයත් සැලකිය හැකි ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්ෂ දෙකකට වරක් පැවැත්වෙන පොදු මහා උපසම්පදා විනය කර්මය මේ වර්ෂයේ අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන කේන්ද්‍ර කොටගෙන අනුරාධපුර, රාජාංගනය, කලාවැව, කැබිතිගොල්ලෑව යන රජරට ප්‍රාදේශීය සංඝ සභාවල හා නිකායාරක්‍ෂක සභාවේ ප්‍රධාන සංවිධායකත්වයෙන් අනුරාධපුර, මිහිදුපුර, මල්වතු ඔයේ ඉදිවෙන උදකුකේඛේප සීමාවේ දී 2010 ජූලි 16 වනදා සිට ජූලි 23 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය වී තිබේ. මෙවර පැවැත්වෙන්නේ නිකායේ පොදු උපසම්පදා වාරයෙන් 67 වැනි උපසම්පදාවයි.

එහෙත් නිකායේ ආරම්භයේ සිට මේ වන විට ගත වී ඇති වර්ෂ 147 (එකසිය හතලිස් හත) තුළ ප්‍රාදේශීය වශයෙන් සිදු කළ උපසම්පදාවන් හා බලන විට උපසම්පදා වාර 161 ක් සිදුකර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ යෝගාශ්‍රම සංස්ථාව මඟින් උපසම්පදා වාර 65 ක් පවත්වා ඇත. මේ තුළින් බුද්ධ ශාසනයේ චිර පැවැත්මට හේතුවන සේ දස දහසකට වැඩි භික්‍ෂු පිරිසක් උපසම්පදා භූමියට එක්කර ඇති බව සඤ්ඤා ලේඛකාධිකාරී කාර්යාලයේ ඇති ලිපි ලේඛනවලින් පැහැදිලි වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා උත්සවයේ විනය කර්ම අංශය පිළිබඳව භාරදූර වගකීම් භාරය පැවරෙන සඤ්ඤා ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස එම කාර්යයන් නිසි සේ ඉටු කරන්නට සම්පූර්ණ සහාය ලබා දෙන උපසම්පදා උත්සව කමිටුව ඇතැළු ගිහි පැවිදි සියලු දෙනා වෙත මාගේ කෘතඥතාවය හා ආශිර්වාදය පිරිනමමි.


විනය කර්මය වටා බැඳුණු විචිත්‍රවත් වැඩ පිළිවෙළ

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වන ජාතික උපසම්පදා මහෝත්සවය 2010 ජූලි මස 16 වැනි දින සිට 23 වැනි දින දක්වා සතියක් පුරා අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරය කේන්ද්‍රකොට, මල්වතු ඔයේ ඉදිකෙරෙන උදකුක්ඛේප සීමා මාලකයේදි සිදු කිරීමට කටයුතු සූදානම්කොට ඇත. ජූලි 16 වැනි දින උදේ 8.30 ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරයේදී නිකායේ කාරක මහා සංඝ සභා රැස්වීම පැවැත්වීමටද එහිදී උපසම්පදා විනය කර්මයට අදාළ අවසන් තීරණ ගැනීමට ද නියමිතය. අනතුරුව සවස 1.30 ට ශ්‍රී සාරානන්ද පිරිවෙනේ සිට උපසම්පත්තියට ඇතුළත්වන සාමණේර ස්වාමින් වහන්සේ වැඩමවන දර්ශනීය පෙරහර උපසම්පදා උත්සව භුªමියට පිටත්වීමට නියමිතය. සවස 3.00 ට මිහිඳු පුර ක්‍රීඩාංගනයේදී අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මහානාහිමියන්ගේ මූලිකත්වයෙන්, හා ශ්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ හා ගරු අගමැති දි.මු. ජයරත්න මැතිතුමන් ඇතුළු මැති ඇමැති තුමන්ලාගේද, ගරු කථානායකතුමා, විපක්‍ෂනායක තුමා හා නිකායාරක්‍ෂක සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ද දස දහස් සංඛ්‍යාත මහ ජනයාගේ ද සහභාගිත්වයෙන් උපසම්පදා උළෙලේ කටයුතු ඇරඹීමට නියමිතය. එහිදී ඕස්ට්‍රියාව, නේපාලය, එංගලන්තය , ඕස්ට්‍රේලියාව යන රටවල ගිහි පැවිදි පිරිසකට ගෞරව නාම උපාධි සම්මුති පිරිනැමීමක් ද සිදු කෙරේ.

උපසම්පදා අපේක්‍ෂක පරීක්‍ෂණයෙන් ගෞරව සාමාර්ථ ලබා ප්‍රමුඛතාවට පත්වූ ස්වාමින් වහන්සේ තුන් නමකට ත්‍යාග හා සහතික පත් ප්‍රදානය සිදු කෙරේ. රට පුරා විසිරී සිටින ප්‍රාදේශික සංඝ සභා 43 කින් සහභාගි වන හාර සියයක් සාමණේරයන් වහන්සේ උපසම්පදාවේ පිහිටුවීමට 120 ක් පමණ කර්මාචාර්ය ගණපූරක මහා ස්වාමීන් වහන්සේලාද සහභාගි වෙති.

නිකායේ සඤ්ඤාලේඛකාධිකාරී මකුලෑවේ විමල නාහිමියන් රචිත “ උපසම්පදා විනයකර්මය හා වෙනත් විනයකර්ම විධි “ යන ග්‍රන්ථයද නිකායේ ශාසනික ගැටලු කළමනාකරණ කමිටුව, මගින් සම්පාදනයකොට ඇති, නිකායේ වන්දනා ක්‍රමය හා ශාසනික චාරිත්‍ර විධි, නම් ග්‍රන්ථය ද එහිදී නවක උපසම්පදාලාභී භික්‍ෂූන් වහන්සේට ලබාදීමට ක්‍රියා කරනු ඇත.

උන්වහන්සේලාගේ ධර්ම, විනය, ඥානය වර්ධනයට අදාළ දේශන සාකච්ඡා , මාලාවක් ද සතිය පුරාම පැවැත්වේ. එසේ ම පටිපදා නමින් ධර්ම -විනය සංග්‍ර‍්‍රහයක්ද නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම සියලු කටයුතු සාර්ථකව සිදුකොට විනයකර්ම ගරු කර්මයක් ලෙස සම්පූර්ණ කරලීමට නිකායාරක්‍ෂක සභාවද, නිකායේ පාලක සභාවද අතිශය කැපවීමකින් ක්‍රියා කරනු පෙනේ.

වසර 30 කින් පසුව අනුරාධපුරයේදී පැවැත්වෙන මෙම පුණ්‍යොත්සවය පූර්ණ රාජානුග්‍රහයෙන් සිදු කෙරෙන හෙයින් ජාතික මහෝත්සවයක සිරිය උසුලනු ඇත. මෙම පින්කම සම්බුද්ධ ශාසනයේ උන්නතියට හේතු වේවා .


සුවිශේෂ සේවාව ගෞරව පෙරදැරිව සිහිපත් කරනවා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ හදපිරි අප්‍රමාණ ගෞරවයකින් හා සතුටකිනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිර්මාතෘ හා ප්‍රථම මහානායක ස්වාමීන් වහන්සේ වූ අතිගෞරවාර්හ අඹගහවත්තේ සිරි සරණංකර ස්වාමින් වහන්සේ වර්ෂ 1861 දී බුරුමයේ රාමඤ්ඤ ප්‍රදේශයේ රතනාපුණ්ණ නුවර විසුං ගාම සීමාවේදී උපසම්පදා පදවියට පත්ව වර්ෂ 1862 දී මෙරටට වැඩමවා වර්ෂ 1863 දී ජුලි 13 වන දින ගාල්ල මහ මෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා විනය කර්මය සිදු කරන ලදී.

එතැන් පටන් මේ දක්වා සාමණේර උපසම්පදා විනය කර්ම පවත්වා 67 වන උපසම්පදා විනය කර්මය 2010 ජුලි මස 16දා සිට 23 වනදා දක්වා අනුරාධපුර සාරානන්ද පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන මල්වතු මහා නදියේ ඉදිකෙරෙන උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වීමට දායක වන සැම මේ අවස්ථාවේ දී කෘතවේදීව සිහිපත් කරමි. මිහිඳු මහා හිමියන්ගේ ලංකා ගමනයත් සමග මේ රටේ සම්බුදු දහම ස්ථාපිතවී සම්බුදු සසුන ආරම්භ වීමෙන් පසුව සසුන් කෙත බබළවන්නට වූයේ මහා යතිවරයාණන් වහන්සේලා විසිනි.

ඒ උදාර ශාසන ප්‍රතිපදාවෙහි නිරත වෙමින් පෙරමුණ ගෙන ක්‍රියා කරන ගරුතර මහා සංඝ රත්නය සම්බුදු සසුන වෙනුවෙන් ඉටු කරන සුවිශේෂී සේවාව ගෞරව පූර්වකව සිහිපත් කරමි.

එම අභිමානවත් සඟ පරපුරේ හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ප්‍රතිබල සම්පන්න භික්ෂු සමාජයක් බිහි කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම උපසම්පදා මහා විනය කර්මය පැවැත් වීමට මූලිකවී කටයුතු කරන ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිගෞරවාර්හ වේවැල්දෙණියේ මේධාලංකාර මහා ස්වාමීන් වහන්සේ ඇතුළු උත්සව සංවිධායක කමිටුවට මාගේ ගෞරවය හා ප්‍රශංසාව පුද කරන අතර, මෙම පුණ්‍ය මහෝත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! යි ප්‍රාර්ථනා කරමි.


ශාසනික සේවාවට ප්‍රණාමය!

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වන වරටත් පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය මෙවර ඓතිහාසික අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරය කේන්ද්‍රකොට ගෙන මල්වතුඔයේ ඉදිකරන සීමා මාලකයේදී සිදු කිරීම සිහිකරනු වස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති වශයෙන් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම මහත් පුන්‍ය කර්මයක් සේ සලකමි.

අප රටේ ශාසනික චිරස්ථිතියට උපසපන් භික්ෂූන් වහන්සේලා අවශ්‍ය යුගයක සාමණේරයන් වහන්සේලා 400 නමකට උපසම්පදා වරය ලබාදීම සුවිශේෂ සිද්ධියකි. අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රාසහවර ඤාණසාමි මහනායක ස්වාමින් වහන්සේගේ මූලකත්වයෙන් 1863 දී ශ්‍රී‍්‍ර ලංකා සම්බුද්ධ ශාසනයට එක් වූ තුන්වන ශාසනික නිකාය ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ඉතිහාසයට එක්ව තිබේ.

මෙම නිකායේ පළමු උපසම්පදා කර්මය 1864 ජුනි මස 12 වන දින අඹගහවත්තේ ඉන්ද්‍රාසහවර ඤාණසාමි, පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද, බැදිගම ධම්මානන්ද, වරාපිටියේ සුමිත්ත, යන මහා නායක ස්වාමීන්වහන්සේලා ගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ මහ මෝදර ගිං ගඟේ සීමා මාලකයේදී සිදුකරන ලදී. එහිදී මුල්ම උපසම්පදාවට ලක් පළමු සාමණේර භික්ෂුව වශයෙන් ඉතිහාසයට එක්ව ඇත්තේ උඩුගල්මොටේ ඥාණතිස්ස සාමනේරයන් වහන්සේයි.

විනය ශික්ෂාපදය රැකීම මූලික අභිප්‍රාය කරගත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාව අතිපූජ්‍ය කෝදාගොඩ උපසේනාභිදාන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 1937 පිහිටුවන ලද අතර මෙම නිකායාරක්ෂක සභාවේ ප්‍රථම සභාපති ධූරයට පත්වූයේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමායි.

මේ වනවිට රාමඤ්ඤ මහ නිකායේ විහාරස්ථාන 25,000 ක් ද නිකායට අයත් ධර්මධර, විනයධර සුපේෂල, ශික්ෂාකාමී උපසම්පදා භික්ෂුන් වහන්සේලා 8000 කට වැඩි පිරිසක් රටටත් ජාත්‍යන්තරයටත් ධර්ම ප්‍රචාරය කරමින් භික්ෂූන්වහන්සේලා පුහුණු කරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ඉටු කරනු ලබන ශාසනික මෙහෙවර සදා අගය කළ යුතු වේ.

ආරම්භයේ සිට මේ දක්වා බිහි වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක ස්වාමින් වහන්සේලාත්, වත්මන් මහ නායක ධූරය දරන අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නායක ස්වාමින් වහන්සේගෙනුත් ශාසනයට සිදුකළ හා සිදු කරන සේවය පින්දීමෙන් යුතුව සිහිපත් කරන අතර, වත්මන් මහ නායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර ස්වාමින් වහන්සේට දීර්ඝායුෂත්, නිරෝගි සුවයත්, පතන්නේ තව තවත් ශාසනයට සේවය කිරීමට ප්‍රාර්ථනා කරමින්ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන නිකායාරක්ෂක සභාවේ සියලුම පින්වත් සාමාජිකයින්ටද මාගේ ගෞරව ප්‍රණාමය පුද කරමින් අප බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

පොසොන් අමාවක පෝය

 පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12 වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 11 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]