UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
(94-11) 2429598, 2429429

ෆැක්ස්:
(94-11) 2429329, 2449069

ඊමේල්:
[email protected]

පොසොන් අමාවක 2010.07.11

ඉතිහාසයෙන් නො ඉගෙනීම

තිහාසයෙන් ඉගෙනීමට තිබෙන ඉතාමත් ම වැදගත් පාඩම වන්නේ මිනිසා ඓතිහාසික පාඩම්වලින් වැඩි යමක් ඉගෙන නො ගන්නා බව යැයි පළමුවන හා දෙවන ලෝක යුද්ධ නිසා සිදු වූ විනාශය දෙස බලා ඇන්ඩුවස් හක්ස්ලි ප්‍රකාශ කළේ ය. ලෝක යුද්ධ දෙකක විනාශකාරී අත්දැකීම් නිසා උපන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරිත්වය දෙස බැලූ විට ඇන්ඩුවස් හක්ස්ලි කෙ තරම් නිවැරැදි දැයි අවබෝධ කැර ගැනීමට පුළුවන.එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කිරීමේ අරමුණ වූයේ අන්තර්ජාතික සාමය, ආරක්‍ෂාව හා සහයෝගය උදාකැර ගැනීම බව බටහිර බලවතුන්ට අද අමතක ය. වර්ග භේද, ලිංග භේද , භාෂාමය භේද හෝ ආගමික භේද නො තකා සියලු දෙනා ගේ මූලික මිනිස් අයිතිවාසිකම්වලට ගරු කිරීමටත්, ඒවා දිරිගැන්වීමටත් එහි සාමාජිකයන් වශයෙන් තම රටවල් ප්‍රතිඥා දී ඇතැයි ද බටහිර බලවතුන්ට අද අමතක ය. එ බැවින් ඇෆ්ගනිස්ථානයේ , ඉරාකයේ හෝ පලස්තීනයේ ජනතාවට නොමැති මානව අයිතිවාසිකම් බටහිර බලවතුන්ට හා ඔවුන් ගේ පරිවාර රාජ්‍යයන්ට තිබිය යුතු යැයි සිතන වාතාවරණයක් අද නිර්මාණය වී තිබේ.

ලෝක දේශපාලනයේ මේ අසමතුලිත බල ව්‍යාපෘතිය හඳුනා ගැනීමට පසුගිය යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් පිළිබඳ ව උපදෙස් ලබා ගැනීම සඳහා එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් විශේෂඥ කමිටුවක් පත් කිරීමේ සිද්ධිය කදිම උදාහරණයකි. ශ්‍රී ලංකාවේ විරෝධය මෙන් ම රටවල් 117 කින් සැදුම් ලත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ මතය ද නො සලකා එම කමිටුව පත් කැර තිබේ. එම කමිටුවේ සාමාජිකයන් වන මර්සුකි දරුස්මානි, යැස්මින් සුකා හා ස්ටීවන් රැට්නර් යන අය ගේ අතීත ක්‍රියාකාරකම් ආදිය මෙන් ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන නවනීනම් පිල්ලේ සමග ඔවුන්ට ඇති සබඳතා සලකා බලන කල මෙහි අරමුණ පැහැදිලි ය.

පසුගිය යුද සමයේ දී ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කැර ඇතැයි චෝදනා කොට, ඒ පිළිබද ව 2009 මැයි මස 26 හා 27 යන දිනයන්හි ජිනීවා නුවර පැවැති මානව හිමිකම් කවුන්සිලයේ විවාදය ද සිහිපත් කළ යුතු යැයි සිතමු. එහි සාමාජික රටවල් 47 න් 29 ක් ශ්‍රී ලංකාවට පක්‍ෂ ව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා පරාජය වූ එම යෝජනාව යළිත් වරක් වෙනත් අයුරකින් මෙ සේ කරළියට පැමිණ තිබේ. ජගත් මහලේකම්වරයා ගේ මේ තීරණයට රුසියාව හා චීනය දැනටමත් විරෝධය පළ කැර ඇත. කෙ සේ වුව ද මේ කමිටුව ජුනි මස 29 වන දා නිව්යෝක් නුවර දී රැස්වීමට නියමිත ව තිබූ නමුත් රැස් වී නොමැති බව ද වාර්තා විය.

මේ සියලු කරුණු අනුව රට මුහුණ පා ඇති අනතුරෙහි බරපතළ කම අප තේරුම් ගත යුතු ය. මහා සංඝරත්නය පසුගිය වසරේ පෙබරවාරි මස 11 වන දා නිකුත් කළ නිවේදනයක් වෙත මෙහි දී අවධානය යොමු කිරීම මැනවැයි සිතමු. උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, වේවැල්දෙණියේ මේධාලංකාර, දවුල්දෙන ඤාණිස්සර යන මහ නා හිමිවරුන් විසින් නිකුත් කළ එම නිවේදනයේ මෙ ලෙස සඳහන් විය.

“බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ලිච්ඡවී රජ දරුවන් ගේ දියුණුවට හේතු වූ සමඟිව රැස් වී , සමඟිව සාකච්ඡා කොට, සමඟිව විසිර යෑම නම් වූ අපරිහානි ධර්මය අනුව යමින් මෙ රට සිංහල , දෙමළ , මුස්ලිම් යන ජාතීහු ද සමඟිව රටේ නිදහස උදෙසා ඇප කැපවී කටයුතු කළ හ. එතෙක් මැත ඉතිහාසයේ දී අභාග්‍යයකට මෙන් ඇතැම් ජනකොටස් අතරේ වෛරය, අසම¼ගිය, අසමාදානය, පැතිරී යෑම නිසා මුළුරට ම පරිහානියට පත් වෙමින් පවතින අයුරු දක්නට ලැබීම බලවත් සංවේගයට කරුණකි.”

“රටේ සියලු ජන කොටස් වලට එල්ලවී ඇති විවිධාකාරයේ තර්ජනයන් දිගට ම පැවැතීම රටේ සමෘද්ධිය, සෞභාග්‍යය හා සංවර්ධනය ඇති කැර ගැනීමටත්, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කැර ගැනීමටත් බලවත් බාධාවකි. මේ ව්‍යසනයේ බරපතළ කම මැනවින් අවබෝධ කැර ගෙන ජාතික, ආගමික, දේශපාලනික නායක කාරකාදීන් එක් ව ස්වකීය ප්‍රශ්න ගැටලු හඳුනාගෙන විසඳා ගැනීමට වහා පියවර ගත යුතු ව ඇත. නැතහොත් දේශීය වශයෙන් පමණක් නො ව විදේශීය වශයෙන් ද අවස්ථාවාදී පුද්ගලයන්ට හා සංවිධානයන්ට අප රටේ නිදහස හා භෞමික අඛණ්ඩතාවට හානිකර අන්දමේ පියවර ගැනීමට ඉඩ සැලැසෙනු නො අනුමානය.”

“එබැවින් මේ දුෂ්කර අවස්ථාවේ දී විදේශීය බලවේගයන්ට අනවශ්‍ය ඇඟිලි ගැසීම් වලට ඉඩ නො තබා රටේ භෞමික අඛණ්ඩතාව හා සමඟිය, සමාදානය ආරක්‍ෂා කැර ගැනීම උදොසා පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොර ව සියලු දේශපාලනික , ආගමික නායක කාරකාදීන් සමඟ එකතු ව රටේ ත්‍රස්ත උවදුරු හා වෙනත් ජාතික උවදුරු මැඩලීමට අවශ්‍ය පියවර එඩිතර ව සාධාරණ ව ගෙන රටේ සාමය හා සෞභාග්‍ය ඇති කැර දෙන ලෙස ශාසනාලයෙන් ඉල්ලා සිටිම් හ.”

මහා නා හිමිවරුන් විසින් එදා පෙන්වා දෙන ලද මේ කරුණු අද තත්ත්වයටත් වංලගු ය.

පොසොන් අමාවක පෝය

 පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12 වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 11 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]