UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

වහුමුවේ විජයවංස නා හිමි

ප්‍රශ්නය :-
පරමාර්ථ සත්‍යාධිගමය සඳහා ශ්‍රාවකයාගේ අභිමතය පරිදි තෝරාගත හැකි බෝධි තුනක් පෙල දහමෙහි සඳහන්ව ඇත. එම බෝධි තුන මොනවාද?

පිළිතුර :-
සාවක බෝධි - පච්චේක බෝධි සම්මා සම්බෝධි

ප්‍රශ්නය :-
සාවක බෝධි නමින් හැඳින්වෙන්නේ කුමක්ද?

පිළිතුර :-
බෞද්ධයෙකු ලබන අවසාන සත්‍යාවබෝධය සාවක බෝධියයි. එනම් අර්හත් ඵලාධිගමයයි.

ප්‍රශ්නය :-
බුදු දහමට අනුව ධන සම්පතෙහි හිමිකරුවෙකු වීමට අභීතව පිරිස්මැද සිටීමට මෙන්ම මරණයෙහි වුවද බියෙන් හෝ සැකයෙන් තොරව මුහුණ දීමටත් මරණින් මතු දෙව්ලොව උපතටත් හේතුවන පිළිවෙත කුමක්ද?

පිළිතුර :-
සිල්වත් ගුණවතෙක් වූ විට ඉහත සඳහන් සම්පත් වලට හිමිකාරයෙක් වේ.

ප්‍රශ්නය :-
අභයදානය බුදු දහමෙහි ඉගැන්වෙන උතුම් පරිත්‍යාගයකි. මෙහි ආනිශංස (ප්‍රතිඵල) සඳහන් කරන්න.

පිළිතුර :-
දීර්ඝායුෂ ලැබීමට සතුරු මිතුරු වීම, හේතුවන පින්කමකි.

ප්‍රශ්නය :-
කර්මය යනු කුමක්ද? ධර්මානුකූලව කෙටි පිළිතුරක් දෙන්න.

පිළිතුර
“(අං.නි.)චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි “ කර්මය නම් චේතනාවයි. සිතා මතා කරන ඕනෑම කායික වාචසික හෝ මානසික ක්‍රියාවක් කර්ම ලෙස හැඳින්විය හැකිය. තුන්දොරින් කරන ක්‍රියා යන්නෙන් මේ සියල්ල ගැනේ.

ප්‍රශ්නය :-
ස්ථූපයක් (චෛත්‍යයක්) ආවරණය කරමින් එම ස්ථූපයෙහි ආරක්‍ෂාව සඳහා කරවන ලද ගොඩනැගිල්ල විශේෂ නාමයකින් හඳුන්වයි. ඒ නම කුමක්ද?

පිළිතුර :-
වටදාගෙය යි.

ප්‍රශ්නය :-
බෝසත් සිරිතෙහි දක්නට ලැබෙන මූලික ගුණාංග දෙකක් ඇත. ඒ මොනවාද?

පිළිතුර :-
මහා කරුණාව සහ මහා ප්‍රඥාවයි.

ප්‍රශ්නය :-
කය - වචනය සිත යන තිදොරින් සිදුවන අයහපත් පාපී ක්‍රියා (අකුසල) වලින් වැලකීම සීලයෙහි කුමන ප්‍රභේදය කට (කොටසකට) අයත් වේද?

පිළිතුර:-
වාරිත්‍ර සීලය

ප්‍රශ්නය :-
සියලු බුදුවරුන්ගේ පොදු අනුශාසනාව කුමක්ද?

පිළිතුර :-
පව් නොකිරීමද කුසල් වැඩීමද සිත නීවරණයන්ගෙන් පිරිසුදු කර ගැනීමද යන මේ කරුණ

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියො දපනං
ඒතං බුද්ධාන සාසනං
සියලු බුදුවරයින්ගේ අනුශාසනාවයි

ප්‍රශ්නය :-
මනසා චෙ පදුට්ඨෙන භාසතිවා කරොතිවා
තතො නං දුක්ඛ මන්චේති
චක්කංව වහතොපදං
මනසා චෙ පසන්නේන
භාසතිවා කරෝතිවා
තතොනං සුඛ මන්වෙති ඡායාව අනපායිණී
ඉහත සඳහන් දේශනා පාඨ සරල බසින් පහදන්න.

පිළිතුර :-
යමකු නපුරු (දූෂිත) සිතින් කතා කළහොත් ක්‍රියා කළහොත් ගැල අදින ගවයා පසු පස එන රිය සක මෙන් දුක ඔහු පසු පස එයි. එසේම ප්‍රසන්න සිතින් කතාව ක්‍රියාව කළහොත් තමා අතනොහැර එන සෙවනැල්ල මෙන් සුවසෙත ඔහු පසු පස ම එයි.

ප්‍රශ්නය :-
මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා
මනො මයා - සරල අර්ථය පැහැදිලි කරන්න.

පිළිතුර :-
මිනිසා නමින් හඳුන්වනු ලබන සංකීර්ණ සංසිද්ධියෙහි ඉතාමත් වැදගත් අංගය සිතයි. යම් කිසිවෙකු පිරිසුදු වන්නේත් අපිරිසිදු වන්නේත් සිත මගිනි. තමාගේ හොඳම මිතුරා සහ පරම සතුරා වන්නේත් තම සිතමයි.

ප්‍රශ්නය :-
බුදුරජාණන් වහන්සේ “චක්ඛුමන්තු” යන සුවිශේෂ නාමයකින් බෞද්ධ පෙල පොත් වල හඳුන්වා ඇත. ඊට හේතු කාරණා පැහැදිලි කරන්න.

පිළිතුර :-
බුදුරජාණන් වහන්සේ මසැස , දිවැස , පැණැස, බුදු ඇස , සමතැස යන පසැසන් (ඇස් පහකින් ) යුක්තය. මෙයින් විනිවිද දක්නා වූ පස් පැහැයෙන් දිස්නා පියවි ඇස මසැස නම් වේ. චුතූපපාත යැයි කියූ ඇස මසැස නම් වේ. චුතූපපාත යැයි කියූ මැරෙණ උපදින සත්වයින් දක්නා දිබ්බ චක්ඛු ඤාණය “ දිවැස “ නම්වෙයි. කාලත්‍රය වූ සියලු ධර්මයන් දන්නා නුවණ පැණැස නම් වෙයි. ලොකු කුඩා ලෝවැසි සත්වයන් දක්නා නුවණ බුදු ඇස නම් වෙයි. සබ්බ භූත ඤාණය සමතැස නම් වෙයි.

ප්‍රශ්නය :-
බොදුනුවෙකු විසින් නිති රැකිය යුතු පිළිවෙත පහත සඳහන් ගාථා ධර්මයෙහි ඇතුලත්ව ඇත. ගාථා පාඨයන් වෙන් වෙන් වශයෙන් අරුත් ගෙන බොදුනු පිළිවෙත පහදන්න. ගාථාව ධ.වි.මග්ග වග්ග (06) ගාථාව

පිළිතුර :-
වාචානු රක්බී මනසා සුසංවුතො
කායෙන ච අකුසලං නකයිරා
එතෙ තයො කම්මපථෙ විසොධයෙ
ආරාධයේ මග්ගං ඉසිප්පවෙදිතන්ති
තමා විසින් සිත,කය, වචනය, රක්නා ලද්දේද අකුසල් නොකරන්නේද? මෙම ත්‍රිවිධ කර්ම පථය පිරිසුදු කරන්නේ ඍෂීන් විසින් වර්ණා කරන ලද ආර්ය මාර්ගයට පිළිපන්නේ වෙයි.

ප්‍රශ්නය :-
තෙරුවන් ගුණ මෙනෙහි කරන විට ශ්‍රාවක සංඝයාගේ ගුණ සමූහයද අනිවාර්යයෙන්ම මෙනෙහි කොට වන්දනා කිරීම පිළිවෙතයි. සංඝයාගේ ගුණයන් අතර සාමිචි පටිපන්න වුවද ශ්‍රාවක ගුණයකි පැහැදිලි කරන්න.

පිළිතුර :-
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ යම් ප්‍රතිපදාවකට පිළිපන්නේ නම් ඒ ප්‍රතිපදාව සත්වයා සසර දුකින් මුදා හැරීමට පොහොසත් බැවින් සාමීචිය සත්වයා සසර දුකින් මුදා හැරීමට පොහොසත් ප්‍රතිපදා වට යොමු වු බැවින් ඒ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නය. පිළිවෙත් ගරුක වූ ඒ ශ්‍රාවක සංඝ රත්නය ශ්‍රද්ධාවත් ලෝකයා විසින් පුදනු ලැබීමට සුදුසු වෙත්ද එසේ පිළිපන් බැවින් සාමීචිපටි පන්න වන්නේය.

ප්‍රශ්නය :-
මෙම ධර්ම පාඨය නිශ්ශබ්දව කියවන්න.

“සංඛාරානං ඛයං ඤත්වා අකතඤ්ඤු අසි බ්‍රාහ්මණ බ්‍රාහ්මණය , සංස්කාරයන්ගේ විනාශය දැන අකෘතඥයෙක් වන්නෙහිය. මෙහි “අකෘතඥ” යන පාඨය ධර්මානුකූලව පහදන්න.

පිළිතුර :-
සංස්කාර නම් පංචස්ඛන්ධයයි. එහි විනාශය (නැසෙන බව ) විදර්ශනාඥානයෙන් දැන අකෘත (කිසිවෙකු විසින් නොකළ) නම් වූ නිවන අවබෝධයෙන් දැනීම හේතුවෙන් අකෘත නම් වන්නේය. නිවන සංස්කාර හේතුවෙන් හටගත්තක් නොවේ.එහෙයින් අකෘතය.

ප්‍රශ්නය :-
අනුරාධපුරයෙහි , පිහිටි පැරණිම දාගැබ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහිදී මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉදිවිය. මෙම දාගැබෙහි නම කුමක්ද? එහි නිධන් කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ කුමන ධාතූන් වහන්සේ නමක්ද?

පිළිතුර :-
අනුරාධපුර ථූපාරාම ස්ථූපය පැරැණිම දාගැබ වන අතර බුදුන් වහන්සේගේ අකු ධාතුව එහි නිදන් කොට ඇත.

අධි වෙසක්
අමාවක පෝය

අධි වෙසක් අමාවක පෝය මැයි 13 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.08 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 13 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 21 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]