විසිතුරු ප්‍රතිභාන උපදවන අංගුත්තර නිකායෙන්
නො සිස් වූ පිණ්ඩපාතය වැළඳීමට නම්....
බෙලිඅත්තේ නිහිලුව
සිරි ධම්මානන්ද මූලික පිරිවෙන්පති
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
හත්තොටුවේ ඉන්දරතන හිමි
භික්ෂුව යැපෙන්නේ ගිහි පින්වතුන් දෙන සිවුපසයෙනි. ගිහි පින්වතුන් හා
බැඳුණු දිවි පැවැත්මක් ඇති බව පැවිද්දා විසින් නිතර සිහිපත් කළ යුතු
කාරණයක් ලෙස දසධම්ම සූත්‍රයේ දී (පරපටිබද්ධා මෙ ජීවිකාති පබ්බජිතෙන
අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං) වදාළහ. දුසිල්ව සිට ගිහි පින්වතුන්ගේ ආහාර
වැළඳීමට වඩා රත් වූ යගුලියක් ගිලීම මැනවැයි අග්ගික්ඛෙන්‍ධීපම සූත්‍රයේ
දී බුදුරදුන් වදාළහ. ගිහියන්ගේ සිවුපස ලාභයට භික්ෂුව සුදුසුවිය යුතුයි.
භික්ෂුත්වයට නොගැලපෙන කටයුතු සිදුකරමින්, ශාසනය පිරිහවන දුස්ප්‍රාඥ
භික්ෂුව කසාවත දැරීමටවත් සුදුසු නොවන බව ධම්මපදයේ කියැවේ.
අංගුත්තර නිකායේ ඒක නිපාතයේ එන අච්ඡරාසංඝාතවග්ගයේ දී සාර්ථක භික්ෂු
ජීවිතයක් ගත කිරීමට නම් අනුගමනය කළයුතු ප්‍රතිපදාව දැක්වේ. යම්
භික්ෂුවක් ඇසුරුසණක් ගසන කාලයක්වත් අවම වශයෙන්
1. ප්‍රථම ධ්‍යානය වඩයි නම්
2. ද්විතීය ධ්‍යානය වඩයි නම්
3. තෘතීය ධ්‍යානය වඩයි නම්
4. චතුර්ථ ධ්‍යානය වඩයි නම්
5. මෛත්‍රී චිත්ත විමුක්තිය වඩයි නම්
6. කරුණා චිත්ත විමුක්තිය වඩයි නම්
7. මුදිතා චිත්ත විමුක්තිය වඩයි නම්
8. උපේක්ෂා චිත්ත විමුක්තිය වඩයි නම්
එම භික්ෂුව
1. අරිත්තජිඣතො විහරති - නොසිස් වූ අත් නොහළ ධ්‍යාන ඇතිව වෙසේ.
2. සත්‍ථුසාසනකරො ඔවාදපතිකරො - ශාස්තෘ අවවාදය පිළිගෙන ඊට අනුකූලව
හැසිරෙයි. සත්‍ථුශාසනය ඉටු කරයි.
3. අමොසං රට්ඨපිණ්ඩං භුඤ්ජති - රටවැසියාගේ පිණ්ඩපාතය නොසිස්ව (ණය නොවී)
අනුභව කරයි.
දුසිල්ව සාසනානුලෝම නොවන ක්‍රියාවල යෙදෙමින් දායකයන්ගේ සිවුපසය භුක්ති
විඳීම ණයට කැමති. ණය ගැනීමකි. ඇසුරුසණක් ගසන කාලයක් ඉහත කී සිත් වඩා
මෙපමණ ආනිසංස ලැබේනම් එම සිත් බහුලව වඩන භික්ෂුවට ලැබෙන ආනිසංස පිළිබඳ
කවර කතාද? (කොපන වාදො යෙ නං බහුලීකරොන්ති)
වැඩිය යුතු සිත්
අච්ඡරා සංඝාතවග්ගයේ ඉහත කී අනුසස් ලැබීමට ඇසුරුසණක් හෝ වැඩිය යුතු සිත්
පිළිබඳව සූත්‍ර 180 කින් කරුණු විග්‍රහ වේ. එම දීර්ඝ විස්තරය ඉතා
සංක්‍ෂිප්තව පහත දක්වා ඇත.
1. ධ්‍යාන හතර වැඩීම (ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ)
2. සිවුබඹ විහරණ වැඩීම (මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා)
3. සතර සතිපට්ඨාන වැඩීම (කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා,
ධම්මානුපස්සනා)
4. සතර සම්‍යක් ප්‍රධාන වැඩීම (නූපන් අකුසල් නූපදවීම/ උපන් අකුසල්
ප්‍රහාණය කිරීම/ නූපන් කුසල් ඉපදවීම/ උපන් කුසල් වැඩිදියුණු කිරීම)
5. සතර සමාධි වැඩීම (ඡන්ද සමාධි/ විරිය සමාධි/ චිත්ත සමාධි/ වීමංසා
සමාධි)
6. පංච ඉන්ද්‍රිය වැඩීම (සද්ධින්‍ද්‍රිය / විරියන්ද්‍රිය/සතින්ද්‍රිය/
සමාධන්ද්‍රිය/ පඤ්ඤින්ද්‍රිය)
7. පංචබල වැඩීම (සද්ධා බල/ විරිය බල/ සති බල/ සමාධි බල/පඤ්ඤාබල
8. සප්ත බොජ්ඣංග වැඩීම (සති/ ධම්මවිචය/ විරිය/ පීති/ පස්සද්ධි/ සමාධි/
උපෙක්ඛා)
9. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම ( සම්මා දිට්ඨි , සම්මා සංකප්ප, සම්මා
වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා
සමාධි)
10. අධ්‍යාත්මයෙහි රූප, සංඥා හා අරූප සංඥා ඇතිව ස්වල්ප වූ හෝ බොහෝ වූ
සුවර්‍ණ, දුර්වර්‍ණ රූපයත් දැක ඒවා මැඩ (අභිබවා) දනිමි, දකිමි යි යන
සිත් වැඩීම (සංඥාව වැඩීම)
11. නීල, පීත, ලෝහිත, ඔදාත (නිල්, කහ, රතු, සුදු) වර්ණයන්ගෙන් යුතු රූප
දැක අධ්‍යාත්මයෙහි අරූප සංඥාව වඩා, ඒවා අභිබවා දනිමි දකිමි යන සංඥාව
වැඩීම.
12. රූප ධ්‍යාන ඇතිව රූපයත් දකියි, අධ්‍යාත්මයේ අරූප සංඥා ඇතිව බාහිර
රූප දකියි, ශුභම යැයි ඇලුණු සියලු රූප සංඥා ඉක්මවා, පටිඝ (ගැටෙන)
සංඥාවත් නැතිකර නානත්ව සඤ්ඤා මෙනෙහි නොකර, ආකාශය අනන්ත යැයි සිහි කරමින්
ආකාසානඤ්චායතනයට ද විඤ්ඤාණය අනන්තයැයි විඤ්ඤාණඤ්චායතනයට ද කිසිවක්
නැතැයි ආකිඤ්චඤ්ඤායතනයටද එය ද ඉක්ම වූ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට ද ඉන්පසු
සංඥා වෙදයිත නිරෝධයට ද පැමිණ වෙසේ.
(රූප, අරූප, ධ්‍යාන වැඩීම මෙහිදී අදහස් විය. සමථ භාවනා ක්‍රමයෙන් ලැබිය
හැකි ඉහළ ම ආනිසංස නම් රූපාවචර හා අරූපාවචර ධ්‍යාන සමාපත්ති
(පංචාභිඤ්ඤා අෂ්ට සමාපත්ති) වලට එළඹ විසීම වේ.
13. දස කසිණ වැඩීම (පඨවි, ආපෝ, තේජෝථ වායෝ, නීල, පීත, ලෝහිත, ඔදාත,
ආකාස, විඤ්ඤාණ, ආලෝක)
14. දස සංඥා වැඩීම (අසුභ, මරණ ආහාරෙ පටික්කූ®ල සබ්බලෝකේ අනභිරත
අනිත්‍ය, අනිත්‍යයෙහි දුක්ඛ, දුක්ඛයෙහි අනන්ත, පහාණ, විරාග, නිරෝධ යන
සංඥාවන් වැඩීම මෙහිදී අදහස් වේ.
15. අනිත්‍ය සංඥාව, අනන්ත සංඥාව, මරණ සංඥාව, ආහාරයෙහි ප්‍රතිකූ®ල සංඥාව
(කුසේ පමණට කුසගින්න ඇතිවිට පමණක් එය නිවා ගැනීමට ආහාරයක් ගැනීම,
පුත්‍රමාංස උපමාව මේ සඳහා නිර්දේශිතය. රස තෘෂ්ණාවෙන් දුරුව සැහැල්ලු
නිරෝගී දිවියට මෙම සංකල්පය නූතන ජන සමාජයට බෙහෙවින් උපකාර වේ) සර්ව
ප්‍රකාරයෙන් ලෝකයේ (කාම වස්තුන්හි) නො ඇලෙන සංඥාව ද අට්ඨික සංඥාව,
පුලවක (පණුවන් ගැසූ) සංඥාව, විනීලක සංඥාව විච්ෂිද්‍රක සංඥාව,
උද්ධ්‍රමාතක සංඥාව වැඩීම.
16. දස අනුස්සති වැඩීම (බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති,
සීලානුස්සති, චාගානුස්සති, දේවනානුස්සති, ආනාපානසති, මරණසති,
කායගතාසති, උපසමානුස්සති)
මෙම සමථ භාවනාවන් වැඩීමත් සප්ත බොජ්ඣංග ධර්ම පෙරටුකරගත් සත්තිෂ් (37)
බෝධිපාක්ෂික ධර්ම වැඩීමත් භික්ෂුවගෙන් සමාජය (දායක පක්ෂය) අපේක්ෂා කරන
කරුණකි. මෙමඟින් අධ්‍යාත්මික සංවර්ධනය සිදුකරගත් නිවුණු භික්ෂුවට පමණක්
සමාජයට සේවය (නිසිපරිදි)) කළ හැකි වේ. අධ්‍යාත්මික සුවය නොවිඳින
කිසිදු භික්ෂුවකට සාර්ථකව ආත්මාර්ථ පරාර්ථ සාධනය වන සමාජ සේවාවක් ඉටුකළ
නොහැකිය. වලේ වැටී සිටිමින් අප මෙන් ම වලේ වැටුණු අනිකකු ගොඩගැනීම
කොහෙත්ම කළ නොහැක. අප වලෙන් ගොඩ වී වලේ වැටුණු අනිකුත් අය ගොඩගැනීම කළ
හැක්කකි.
ඉහතින් දැක් වූ ආකාරයෙන් මොහොතක් හෝ අධ්‍යාත්මික සංවර්ධනය සිදුකරගත්
භික්ෂුව ම, අත්නොහළ ධ්‍යාන ඇතිව, ශාස්තෘ අනුශාසනය මැනවින් ඉටුකරන අවවාද
අනුගමනය කරන, ණය නොවී දායකයන්ගේ සිවුපසය වළඳන උතුම් පුද්ගලයකු බවට පත්
වේ.
ඒකක නිපාතයේ අවසානයට දැක්වෙන කායගතාසති හා අමත යන වග්ගයන්හි කියැවෙනුයේ
කායගතාසතිය වැඩීමෙන් ලැබෙන ආනිසංසයන්ය. කායගතා සතියේ වැදගත්කම සූත්‍ර
රාශියකින් ප්‍රකාශිත වේ.
සමථ භාවනාවේ කමටහන් සතලිහකි. (40) එහි දස විධ අනුස්සති අතුරින් එකක
නාමය ‘කායගතාසති’ නම් වේ. ශරීරයේ එක් එක් කොටස වෙන් වෙන්ව ගෙන අසුභත්වය
නිරතුරුව මෙනෙහි කරන මෙම භාවනාව දෙතිස් කුණුප භාවනාව (32 ක් කුණුප
කොටස්) ලෙසද ප්‍රකට ය. පිරුවානා පොත්වහන්සේ තුළ ආරම්භයේ දී
සාමණේරපඤ්හයට අනතුරුව ද්වත්තිංසාකාරො යනුවෙන් දැක්වෙනුයේ කායගතාසති
භාවනාව වැඩීමට උපකාරී වන පාලි පාඨයයි. සතර සතිපට්ඨානයන්ගෙන්
කායානුපස්සනා භාවනාව අනුව පවතින සියලු භාවනා ක්‍රම ද මේ යටතට ගැනේ. එම
දෙතිස් කුණුප භාවනාව විදර්ශනා භාවනාවට ද මූලාධාර වේ.
මුහුදු උපමාව
1. යමකු විසින් මහමුහුද සිතින් ස්පර්ශකොට මැනවින් දක්නා ලද්දේ නම් ඒ
මහමුහුදට ගලා බසින කුඩා නදී - ගංගාවන් ද ඔහුගේ ඒ අවබෝධයට ඇතුලත් වූයේ
වේ. එලෙසින්ම යමෙක් කායගතා සති භාවනාව වඩන ලද්දේ නම්, බහුලව භාවිත
කරන්නේ නම් අෂ්ට විද්‍යාවන් ඇසුරු කරගත් සියලු කුසල ධර්ම ඔහු තුළ
පිහිටියේ වේ. කායගතාසතිය වැඩීමේ පළමු ආනිසංසය මෙසේ දක්වා අනතුරුව
ආනිසංස රැසක් කෙටියෙන් විවරණය වේ.
2. කායගතාසති යන එකම ධර්මය බහුලව වඩන්නාට එය මහත් වූ සංවේගය (මහතො
සංවෙගාය) මහත් වූ අර්ථය (මහතො අත්‍ථාය) යෝගක්‍ෂේම ය, (යොගක්ඛෙමාය)
(යෝගක්‍ෂේම යනු සතර ශ්‍රමණඵල වේ. - සෝවාන් ආදී) සිහිය හා සම්‍යක්
ප්‍රඥාව (සතිසම්පඡඤ්ඤාය), ඥාන දර්ශන ප්‍රතිලාභය, දිට්ඨධම්ම සුඛ විහරණය
සහ විද්‍යා - විමුක්ති - ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස උපකාරී වේ.
3. කායගතා සතිය බහුලව පුරුදු කල කල්හි කය (නාම හා කරජකාය) සන්සිෙඳ්.
(කායො පස්සම්භති) සිත ද සන්සිෙඳ්. (චිත්තම්පි පස්සම්භති) විතක්ක
විචාරයෝ ද සන්සිදෙති. (විතක්ක විචාරාපි වුපසමන්ති) සියලු විද්‍යාභාගීය
ධර්ම (විද්‍යා චරණ බුදුගුණ විග්‍රහයේ එන අෂ්ට විද්‍යාවන්) භාවනාවෙන්
මුහුකුරා ගියේ වේ. (කෙවලාපි විජ්ජාභාගියා ධම්මා භාවනාපාරිපූරිං
ගච්ඡන්ති)
4. කායගතාසතිය වැඩූ කල්හි, බහුලව පුරුදු කළවිට නූපන් අකුසල් දහම්
නුපදීයි. උපන් අකුසල් දහම් ප්‍රහීණ වේ. නූපන් කුශල දහම් උපදියි. උපන්
කුසල් දහම් වැඩි දියුණු වේ. විපුලත්වයට පත් වේ. (භීය්‍යොභාවාය
වෙපුල්ලාය සංවත්තති)
5. කායගතාසතිය පුරුදු පුහුණු කිරීමෙන් අවිද්‍යාව (බුද්ධාදී අටතැන්හි
සැකය) දුරු වේ. අර්හත්ව මාර්ග ඥානය නම් විද්‍යාව පහළ වේ. අස්මි මානය
ප්‍රහීණ වේ. සත් වැදෑරුම් අනුශය ධර්ම සහ දස සංයෝජන ධර්ම ද ප්‍රහීණ වේ.
(පහීයන්ති) කායගතාසතිය නිතර පුරුදු පුහුණු කළවිට ( භාවිතෙ බහුලීකතෙ) එය
ප්‍රඥා ප්‍රභේදය පිණිස පවතියි. අනුපාදා පරිනිර්වාණය පිණිස හේතු වේ.
අටළොස් ධාතුන්ගේ ලක්ෂණ අවබෝධ වෙයි. අටළොස් ධාතූන්හි නානාභාවය වැටහේ.
අනේකධාතු පටිසම්භිදාව වේ.
7. කායගතාසතිය පුරුදු පුහුණු කරන්නා සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය,
අනාගාමී ඵලය, අර්හත්ඵලය (සච්ජිකිරියාය සංවත්තති) සාක්ෂාත් කර ගනියි.
එමෙන්ම ඔහු ප්‍රඥාවේ වැඩිදියුණුවට පත් වේ. ඔහුගේ ප්‍රඥාව විපුලත්වයට
පත් වේ. මහා ප්‍රාඥා බවට පත්වේ. ස්කන්ධාදී ධර්මවල පැතිරුණු වෙන් වෙන්ව
දක්නා ප්‍රඥාව ඇතිවේ. ගැඹුරු ප්‍රඥාව ඇතිවේ. රාගාදී කෙලෙස් මැඩ පවත්වන
භුරිප්‍රඥාව ඇතිවේ. මෙසේ ප්‍රඥාවේ නානා ප්‍රභේදයන් ඇතිව අවසන් සියලු
සංස්කාරයන්හි කළකිරවන නිර්වේදික ප්‍රඥාව ඉපදවීමටද කායගතාසති භාවනාව
උපකාරී වේ.
අමතවග්ගයේ දී - කායගතා සතිය වඩන්නාට, නිතර පුරුදු පුහුණු කරන්නාට ලැබෙන
ඇගයුම් විවරණය වේ.
කායගතාසතිය පරිභෝග කරන්නාට අමෘතය නම් නිවන වළදයි. (පරිභුඤ්ජති) ඔහුගේ
අමෘතය නොපිරිහිණි. ඔවුන් විසින්ම අමෘතය නිපදවා ගන්නා ලදී. කායගතාසතිය
වැඩීම පමාකිරීම යනු අමෘතය ලබාගැනීම පමාකිරීමකි. අමෘතය යනු නිවනට යෙදෙන
සමාන වදනකි. මෙම වග්ගයේ සූත්‍ර 24 කින් කායගතාසතිය වැඩීම යනු නිවන ලබා
ගැනීමට (අවබෝධ කර ගැනීමට) වෙහෙසීමක් ලෙස දැක්වේ.
මෙම අමත වග්ගයෙන් ඒකක නිපාතයේ සූත්‍ර සියල්ල අවසන් වේ. ඒකක වග්ගයේ
සූත්‍ර (ඒකක නිපාතස්ස සුත්තසහස්සං) දහසක් බව කියවුනත් සංඛ්‍යාත්මකව
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව අනුව අංගුත්තර නිකායේ ඒකක
නිපාතයේ ඇත්තේ සූත්‍ර 663 කි. මෙය විමසිය යුතු කරුණකි.
‘දුක’ නිපාතය
අනතුරුව දුක නිපාතය (දෙකක් පිළිබඳව කියැවෙන කරුණු ඇති) ආරම්භ වේ. එහි
වග්ග 17 කි. පළමු වග්ගයේ සූත්‍ර දහයට පමණක් පැහැදිලි නාමයක් දක්වා ඇත.
සෙසු සූත්‍රයන්ගේ නාමයක් නොදැක් වේ. පළමු සූත්‍රය, දෙවන සූත්‍රය, තෙවන
සූත්‍රය යනාදී ක්‍රමයෙන් එම සූත්‍ර නම් කර ඇත. දුක නිපාතයේ පළමු වග්ගයේ
එන සූත්‍ර එකිනෙක විමසා බලමු.
1. වජ්ජ සූත්‍රය
සැවැත්නුවර ජේතවනාරාමයේදී භික්ෂූන් ඇමතූ තථාගතයන් වහන්සේ මහණෙනි, මෙහි
වද්‍ය (අපරාධ) දෙකකි’ යි වදාළහ. (ද්වෙමානි භික්ඛවෙ වජ්ජානි) එම වජ්ජි
දෙක නම්
1. දිට්ඨධම්ම වජ්ජය
2. සම්පරායික වජ්ජය යනුයි.
මෙහිදී දිට්ඨධම්මික වජ්ඡය යටතේ අපරාධ කිරීමෙන් මෙලොවදී විඳීමට සිදුවන
දුක් වේදනා විවරණය වේ. වැරදි කළ සොර ආදී සමාජ අපරාධකරුවන්ට අතීතයේ
පැමිණ වූ දෙතිස් වධ කවරේදැයි දැන ගැනීමට මෙම විවරණය උපකාරී වේ.
කසවලින් ගැසීම, වේවැලින් ගැසීම, මුගුරින් තැලීම, අත් සිඳීම, පා සිඳීම,
අත් පා සතර ම සිඳීම, කණ් සිඳීම, නැහැය සිඳීම, කන් නාසා සිඳීම,
බිලංගථාලික නම් වධය, සංඛමුණ්ඩික නම් වධය, රාහුමුඛ නම් වධය, ජෝතිමාලික
නම් වධය, හත්ථ පජ්ජෝතික වධය, ඒරකවත්තික නම් වධය, චීරකවාසික නම් වධය,
ඵණෙය්‍යක නම් වධය, බලිසමංසික නම් වධය, කහාපණක නම් වධය, ඛාරාපතච්ඡික නම්
වධය, පලිසපරිවත්තික නම් වධය, පලාල පිට්ඨිත නම් වධය සිදු කරති. කකියන
තෙල් ඉසීම, කීණ බල්ලන් ලවා කැවීම, දිවමත්ව ම හුල තැබීම, අසිපතින් ගෙල
සිඳීම, ආදිය සිදුකරති.
මතු සම්බන්ධයි |