UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික කුණ්ඩගල සෙනසුන


චෛත්‍යය හා එහි පසුබිම

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුව පොල්පිතිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෙලඹියාව, කුණ්ඩගල රාජමහා විහාර අරණ්‍යය සේනාසනය අනුරාධපුර රාජධානියේ රජ කළ දෙවන බුවනෙකබාහු රාජ්‍ය සමයේ ඉදිකරන ලද්දකි. දෙවන බුවනෙකබාහු රජුගේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් කරවන ලද ශෛලමය පියගැට පෙළ අඩි 350 ක් පමණ උස කුණ්ඩගල මුදුන දක්වා විහිදී ඇත.


ගිරග මත ඇති හිටි පිළිම වහන්සේ හා චෛත්‍යය

මෙම කුණ්ඩගල මුදුනෙහි අලංකාර පොකුණු 2 ක් නිර්මාණය කොට ඇත. තවද පර්වතය මුදුනේ අනුරාධපුර යුගයේ නිර්මාණය කරන ලද ඓතිහාසික චෛත්‍ය පේසා වළලු දක්වා දැනට ඉතිරිව ඇත. එසේම මෙම පර්වත මුදුන වෙත ගමන් ගන්නා බැතිමතුන්ගේ පහසුව පිණිස යකඩ අත්වැලක්ද ඉදි කොට ඇත. මෙම පර්වතය මුදුනෙහි ඇති මෙම ඓතිහාසික නටබුන් මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට ඇත. එමෙන්ම අතීතයේ වැඩවාසය කළ භාවනා යෝගී භික්ෂූන් වහන්සේලා වැඩසිටි ගල් කුටි කිහිපයක් ද මෙහි ඇත.

වර්තමානයේ මෙම සේනාසනයේ පර්වතය මුදුනෙහි අලංකාර දොළොස් රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නෙලා ඇති අතර එයට යාබදව සර්වඥධාතුන් වහන්සේ තැන්පත් චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකොට ඇත. එසේම පර්වතයට පහල මළුවෙහි ද ඉතා අලංකාර චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකොට ඇත. තවද පහල චෛත්‍ය රාජයාණන් වහන්සේට යාබදව ඉපැරණි බෝධින් වහන්සේ නමක් පිහිටා ඇති අතර එහි අලංකාර අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කොට සකසන ලද බුදුකුටි 28 ඇත. එසේම මෙම බෝධින් වහන්සේගෙන් පිහිට පතා අවට ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණෙන අතර ඔවුන් සඳහා නිත්‍ය වශයෙන් ආශිර්වාද පූජා පැවැත්වීම මෙම පුද බිමේදී නිබැදව සිදු කරනු ලබයි. කුණ්ඩල අරහන්ත සේනාසනයේ උපෝසත කර්ම සිදුකිරීම සඳහා සීමා මාලකයක් හා අලංකාර බුද්ධ මන්දිරයෙන් ද සමන්විත වන්නේය.


කුණ්ඩගල අරණ්‍ය සේනාසනය

එසේම භාවනා යෝගී පිරිස සඳහා භාවනා ශාලාවක් ද යෝගී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගල්ලෙන් ද අරණ්‍ය සේනාසනයේ ඉදිකොට ඇත. මෙම භාවනා කුටි පිහිටා ඇත්තේ අක්කර 10 ක පමණ සේනාසන භූමි පරිශ්‍රය තුළ වන අතර ඉතා නිස්කලංක වන පියසකින් මෙම පුදබිම අලංකාරව පැවතීම බවුන් වඩනා බොහෝ දෙනාගේ සිත්සතන් පහන් කරලීමට හේතු වී ඇත. සේනාසනයට මුහුණ ලා පිහිටි අලංකාර වැව මෙම පුද බිමට සුන්දරත්වයකි. වැවයි පන්සලයි කෙතයි දාගැබයි යන අතීත ගැමි සැබැදියාව මොනවට කියාපාන පුදබිමක් ලෙස මෙම පුදබිම හැඳින්විය හැක.


මුදුන දක්වා විහිදුණු පියගැට පෙළ

එසේම වර්තමානයේ මෙම සේනාසනයේ කාමර 8 ක සංඝාවාසයක් ද ඉදිකොට ඇති අතර මේ වනවිට ගිලන් භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීම සඳහා ගිලින් උපෝසතාගාරයක් ද ඉදිකිරීමට කටයුතු සංවිධානය කොට ඇත. මෙම සේනාසනයෙහි භාවනා යෝගී භික්ෂූන් වහන්සේලා සඳහා අවට ගම්බිම් වලින් පමණක් නොව ගමෙන් පිට නාගරික බොහෝ ප්‍රදේශ වලින් පවා විශාල බැතිමත්හු සිවුපසයෙන් උන්වහන්සේලාට උපස්ථාන කරනු ලබති.

වර්තමානයේ මෙම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරන්නේ පූජ්‍ය කිතුලම්පිටියේ ධම්මවීර ස්වාමීන් වහන්සේය. මෙම රජ මහා විහාරය වර්තමානයේ ඉතා සංවර්ධිත තත්ත්වයට ගැනීමට ඉතා කෙටි කලකින් උන්වහන්සේට හැකි විය. එසේම නිත්‍ය වශයෙන් ගිහි ජනතාව උදෙසා භාවනා පුහුණු වැඩසටහන් ද මෙම විහාරස්ථානයේදී සිදු කරනු ලබයි. මෙම පුද බිම වර්තමානයේ ප්‍රදේශවාසී බොහෝ දෙනාගේ ආධ්‍යාත්ම විමුක්තිය උදෙසා ඉතා විශාල ශාසනික සේවයක් සිදු කරයි.


අරණ්‍යාධිපති කිතුලම්පිටියේ ධම්මවීර හිමි

 

 

 

 

අධි වෙසක්
අමාවක පෝය

අධි වෙසක් අමාවක පෝය මැයි 13 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.08 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 13 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 21 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]