UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ‘බෞද්ධයා’ නාලිකාව උදාර අරමුණක සංකේතයක් - දරණාගම කුසලධම්ම හිමි

සද්ධර්ම දානය සඳහා ‘බෞද්ධයා’ රූපවාහිනී නාලිකාව අරඹන ලද බවත් ලොව නවීන තාක්‍ෂණය උපයෝගී කරගෙන සම්බුදු දහම මනුෂ්‍යයාට සන්නිවේදනය කළ හැකිනම් එමඟින් මිනිස් මනස සුවපත් කළ හැකි බවත් කොළඹ 07 විජේරාම මාවතේ සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම හිමියෝ පවසති. කුසලධම්ම හිමියන් එම අදහස් පළ කළේ බෞද්ධයා රූපවාහිනී නාලිකාව පිළිබඳ කළ විශේෂ සාකච්ඡාවකදී ය. උන්වහන්සේ ඒ පිළිබඳ දැක් වූ අදහස් මෙසේ ය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සන්නිවේදනය කිරීමේ අභිලාෂයෙන් ‘බෞද්ධයා’ නාලිකාව ආරම්භ කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ පළමුවන ශ්‍රාවක පිරිසට කළ බුද්ධවාදය නම් ‘චරථ භික්‍ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය....’ ආදී වශයෙන් දැක්වේ. බුදුරජාණන් වහන්සේගේ පළමු වන ධර්ම සන්නිවේදන කාර්ය ලෙස එය දැක්වේ.

පුරා පන්සාලිස් වසක් මුළුල්ලෙහි පිරිනිවන්පාන මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේ කළ මහඟු දානය නම් ඒ ධර්ම දානය බෙදාදීමයි. ‘සෘද්ධි ප්‍රාතිහාර්ය’ සහ ‘අනුශාසනා’ ප්‍රාතිහාර්ය ලෙස ප්‍රාතිහාර්ය දෙකක් පිළිබඳ දැක්වේ. සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් මනුෂ්‍යයා පහදවා ගත හැකිව තිබිණි. ඒ විස්මිත කාර්යයන් කෙරෙහි එදත් මනුෂ්‍යයා බැතිමත්ව පැහැදීමට පත් විය. අද පවා යම් යම් විස්මිත දේ කරනවා යැයි දැනගත් විට මිනිස්සු විශාල වශයෙන් ඒ ස්ථානයට එක්රොක් වේ. එසේ සෘද්ධිප්‍රාතිහාර්ය පා මනුෂ්‍යයා පහදවා ගැනීම ඉතා ළාමක පහත් ක්‍රියාවක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළහ. අනුශාසනා ප්‍රාතිහාර්යය යනු ඒ ධර්මය දේශනා කර මනුෂ්‍යයාට එය අවබෝධ කර විය හැකිනම් එය අනුශාසනා ප්‍රාතිහාර්යයි. අතීතයට වඩා වර්තමානයේ දී ලෝකය බොහෝ අංශ වෙතින් ඉදිරියට පැමිණ තිබේ. වෙසෙසින් ම භෞතික දියුණුවෙන් අපි ඉදිරියට පැමිණ සිටින්නෙමු. බුදුරදුන් ජීවමාන දවස මනස දියුණු කරගත් ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ජීවත් වූහ. එහෙත් මානසික දියුණුවෙන් පිරිහී නවීන තාක්‍ෂණය සමග දියුණු වී භෞතික දියුණුවට අද පත් වී තිබේ. එවැනි යුගයක නවීන තාක්‍ෂණය බොහෝ විට උදවු කරගෙන ඇත්තේ මනුෂ්‍යයාගේ යහපතට වඩා අයහපතට බව පෙනේ.

මනුෂ්‍යයා සුචරිතවත් කිරීම සඳහා මාධ්‍ය ක්‍ෂේත්‍රයෙන් මහත් මෙහෙවරක් කළ හැකි වේ. එහෙත් අවාසනාවකට මෙන් ලෝකයේ ඇතැම් මාධ්‍ය යොදා ගෙන ඇත්තේ මිනිසාගේ මානසික පරිහානිය සඳහා ය. වෙසෙසින් මනුෂ්‍යයාගේ ආශාවන් ඇවිස්සීමට ය. පුහුදුන් මනුෂ්‍යයාගේ ස්වභාවයෙන්ම ඇති කාමකෝපාදී හැඟීම් අවුස්සා උද්දීපනය කර ඒ තුළින් ඔවුන් යම් ලාභ ප්‍රයෝජන උපයති. එහෙත් එය සම්බුදු දහමේ දැක්වෙන අයුරින් ඉතා ළාමක ක්‍රියාවකි. ලොව නවීන තාක්‍ෂණය උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොවට මනුෂ්‍යයාට සන්නිවේදනය කළ හැකි නම් එමඟින් මිනිසුන්ගේ මනස සුවපත් කළ හැකි ය. ‘බෞද්ධයා’ රූපවාහිනී නාලිකාව අරඹන ලද්දේ ඒ උදාර අරමුණ පෙරදැරිකරගෙනය. ලාභ ලැබීමේ පරමාර්ථයක් බෞද්ධයා රූපවාහිනිය තුළ නොමැත. පින සලකාගෙන සද්ධර්ම දානය සඳහා බෞද්ධයා රූපවාහිනිය අරඹන ලදී. ඒ නිසාම වෙළඳ දැන්වීම් නොමැත. එමෙන්ම තරගයක් ද නොමැත. ධර්මය බෙදාදීම සඳහා බෞද්ධයා නාලිකාව මඟින් විවිධ වැඩසටහන් හඳුන්වා දී ඇත.

රූපවාහිනී ගුවන්විදුලි නාලිකා මඟින් ධර්ම දේශනා පැවැත්විණි. ඒ මාස්පතා, සතිපතා ආදී වශයෙන් සිදු කැරිණි. එහෙත් බෞද්ධයා රූපවාහිනිය ඇරැඹීමෙන් පසු දිනපතා දම් දෙසුම් ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදාවිය. ඒ නිසාම අනෙකුත් මාධ්‍යයන් ද ඒ සඳහා උනන්දු වූ බව පෙනේ. එමෙන්ම ධර්ම සාකච්ඡා මඟින් ත්‍රිපිටකයේ එක් එක් සූත්‍ර තෝරාගෙන එම සූත්‍ර දේශනා සාකච්ඡාවට ලක් කැරිණි. මානසික අවුල් වියවුල් සහ මානසික ආතතිය දුරු කර ගැනීමට බෞද්ධ භාවනා මඟින් සමාජයට ලබා ගත හැකි ප්‍රයෝජන භාවනා වැඩසටහන් මඟින් ප්‍රචාරය කැරිණි. බෞද්ධයා නාලිකාව මඟින් ‘සද්ධර්ම වර්ෂා’ නමින් ඇරැඹූ වැඩසටහන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද එක් සූත්‍ර දේශනාවක් පළමුව සජ්ඣායනා කර අනතුරුව අටුවා ටීකා ආදියෙහි එය කෙසේ පැහැදිලි කර දෙන්නේ දැයි විස්තර කරන ලදී. එවැනි නව ආරකින් එම වැඩසටහන් ජනතාව අතරට රැගෙන යන ලදී.

සෞන්දර්ය සහ සංගීතය අංශයෙන් ද වෙසෙසින් ම බෞද්ධ ගීත අතර බුදු ගුණ ගීත, මව්ගුණ ගීත ළිපිය ගුණ ගීත මෙන්ම ජාතිකාභිමානී ගීත ද බෞද්ධයා නාලිකාව මඟින් ප්‍රචාරය කරන ලදී. එමඟින් කිසි ලෙසකින් මනුෂ්‍යයාට හෝ සමාජයට හානියක් සිදු නොවූ බව ඒකාන්තය. ඇතැම් විට අද සංගීතය වූවත් මිනිස් මනස අන්දමන්ද කරන තරු සංකල්පයක් මඟින් තරගයකට ඇදදමා තිබේ. භාෂාව සහ සංස්කෘතිය විනාශ කළ යුතු නොවේ. අපේ පැරැණි ප්‍රවීණ ගායක ගායිකාවන් සමාජයට දායාද කර ඇති ගීත කොතරම් ආදර්ශවත්දැයි සිතා බලන්න. එවැනි බුදුගුණ ගීත කෙරෙහි ගෞරවයක් භක්තියක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවේ. බෞද්ධයා නාලිකාව උඩු ගං බලා යාමක් සේ අනෙකුත් මාධ්‍ය එක් රැල්ලකට යන අවස්ථාවක අභියෝග රාශියකට මුහුණ දෙමින් යන ගමනකි.

මේ රටේ තවමත් ශ්‍රී සද්ධර්මයට ලැදි කැමැති කුඩා තරුණ, මහලු, වැඩිහිටි විශාල පිරිසක් තවමත් වාසය කරති. ඒ අය මෙම බෞද්ධයා නාලිකාව මඟින් විශාල සැනසීමක් ලබති. වෙසෙසින් ඈත දුෂ්කර ගම්වැසියන් පවා ලිපි හා තැපැල්පත් මඟින් මෙම වැඩසටහන් ප්‍රශංසාවට ලක්කර අප වෙත දන්වා තිබේ. ගම්වල ආරන්‍යවල වැඩවසන ධර්මධර සැදැහැති ස්වාමීන් වහන්සේලා බෞද්ධයා නාලිකාවේ ආගමික වැඩසටහන් සඳහා සහභාගි කරවා ගන්නා ලදී. එමඟින් බෞද්ධයා ඒ සඳහා සහභාගි වී දායකත්වය ලබා ගැනීමටත් ධර්ම ඥානය දියුණු කර ගැනීමටත් උනන්දු වූ බව පෙනේ.

බෞද්ධයා නිලිකාව ආරම්භක වකවානුවේ දී විශේෂයෙන් ටී.එන්.එල්’ රූපවාහිනියේ සභාපතිතුමා අප හමු වී පැවසුවේ රූපවාහිනිය ඇරැඹීම උසස් ක්‍රියාවක් බැවින් ඔබ වහන්සේට පැය තුනක් නොමිලයේ දෙන බව කීය. ඒ පැය තුන සවස් වරුවේ දෙන බවද කීය. ඒ නිසා සැටලයිට් තාක්‍ෂණය නොමැති ගම්බද බොහෝ දෙනකුට අර ටී.එන්.එල්. රූපවාහිනිය ඔස්සේ බෞද්ධයා රූපවාහිනිය නැරඹීමේ අවස්ථාව ලැබුණි. පසුගිය මැතිවරණ සමය අවසාන වනවාත් සමගම එය නතර කරන ලදී. එතුවක් කල් උපකාර කිරීම ගැන කෘතඥවන අතර හේතුවක් නොදන්වා නැවැත්වීම නරඹන්නන්ට කළ අසාධාරණයකි. බුඩිස්ට් නමින් වැඩසටහන් එම රූපවාහිනී සේවයේ ආරම්භ කිරීමෙන්ම අපගේ වැඩසටහන්වල ජනපි‍්‍රයත්වය තේරුම්ගත හැකි ය.

අනෙකුත් නාලිකා මෙන් රටේ හැම දෙනාටම ‘බෞද්ධයා’ නැරැඹීමට භූගත තාක්‍ෂණය යොදාගෙන ක්‍රියා කිරීමට අපේක්‍ෂා කැරේ. දැනට සැටලයිට් තාක්‍ෂණය ඔස්සේ (P.E.O.T.V) පැය 24 පුරා එම වැඩසටහන් විකාශය කැරේ. සෑම දෙනාටම නැරඹීම සඳහා කුලුනු ඉදිකිරීම (තාක්‍ෂණික) සඳහා විශාල මූල ධනයක් වැය කළ යුතු වේ. සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් එම කටයුත්ත ඉටු කිරීමට බලාපොරොත්තු වේ. ඉතින් ඒ සඳහා බෞද්ධයන්ගෙන් උපකාර අපේක්‍ෂා කැරේ. ලාභ ලැබීමේ හෝ ව්‍යාපාර කිරීමේ අදහසින් නොවන නිසා ලක්වැසි බෞද්ධයනට විවෘතව ආරාධනය කැරෙනුයේ ශ්‍රී සද්ධර්මය ලංකාවටත් ලෝකයටත් සන්නිවේදනය කිරීමට අරමුදලක් ඇරැඹීමට අපේක්‍ෂා කරන බවයි. එම ධර්ම සන්නිවේදන අරමුදල මඟින් එළඹෙන බුද්ධ ජයන්තිය වෙනුවෙන් බෞද්ධ වැඩසටහන් හැම දෙනාටම නැරඹීමේ අවස්ථාව උදාකරදීම සඳහා දායක වන ලෙසයි. එම ධර්ම සන්නිවේදන අරමුදලට ශක්ති පමණින් උදව් කර ශක්තිමත් කරන ලෙසද ඉල්ලා සිටින බවද දරණාගම කුසලධම්ම හිමියෝ පැවැසූහ.

අධි වෙසක්
අමාවක පෝය

අධි වෙසක් අමාවක පෝය මැයි 13 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.08 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 13 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 21 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]