UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
රටත්- ජාතියත් බුදු සමයත් බේරාගැනීමේ සටනේ යෙදුණු ගැමුණු කුමාරයාට මාර්ගෝපදේශකත්වය ලබා දුන් ශ්‍රේෂ්ඨ කාන්තාව කවරෙක්ද?

පිළිතුර
විහාරමහා දේවියයි.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ ප්‍රත්‍ය දායක පිරිස අතරෙන් කීර්තිමක් දායක දායිකා දෙපල කවුද?

පිළිතුර
අනේපිඬු සිටුතුමා සහ විශාඛා උපාසිකාව

ප්‍රශ්නය
පොළොන්නරු යුගයේදි “ ධර්ම ප්‍රදීපිකාව “ රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?

පිළිතුර
ගුරුළුගෝමී පඬිතුමා විසිනි.

ප්‍රශ්නය
මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ 80 වන වියෙහිදීය. එම වකවානුවෙහිදී ශ්‍රී ලංකාවේ රජකළ රජතුමා කවුද?

පිළිතුර
උත්තිය රජතුමා

ප්‍රශ්නය
දශබලධාරි ගුණයන් කැපී පෙනෙන පරිදි ලෝක ප්‍රකට ප්‍රතිමාවක් කරවීමට ධාතුසේන රජතුමා සමත් වුණා. එසේ ඉදිකළ ප්‍රතිමාව කුමක්ද?

පිළිතුර
අවුකන බුද්ධ ප්‍රතිමාව

ප්‍රශ්නය
ශ්‍රී ලංකාවේ “රාජත්වය “ පිළිගනු ලැබූ කවරෙකු විසින් වුවද අනිවාර්යයෙන්ම ආරක්‍ෂා කළ යුතු පූජනීය වස්තූන් දෙකක් ගැන වංස කථාවල සඳහන් වෙයි. එම පූජනීය වස්තු දෙක මොනවාද?

පිළිතුර
දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුවයි.

ප්‍රශ්නය
දුටුගැමුණු මහරජතුමා මරණ මංචකයෙහිදී එක් තැනැත්තෙකුට කළ ප්‍රකාශයකි. මේ සතුරන් සමග සටනේදීත් ඔබ මට උපකාර කළා. දැන් මා තනිවම මාරයා සමග කරන අවසාන සටනෙහි දීත් ඔබ මා සිත සනසා උපකාර කරනවා” මේ උපකාර කළ සුවිශේෂ පුද්ගලයා කවරෙක්ද?

පිළිතුර
ථෙර පුත්තාභය මහරහතන් වහන්සේ

ප්‍රශ්නය
තපස්සු භල්ලුක වෙළඳ සොහොයුරන් ලබාගත් කේශධාතු නිධන්කොට ශ්‍රී ලංකාවේ ඉදිකොට තිබෙන ඓතිහාසික ස්තූපය කුමක්ද?

පිළිතුර
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තිරියාය ගිරිහඬු සෑය

ප්‍රශ්නය
බුද්ධ වර්ෂ 846 රජ පැමිණි කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ දවස ලංකා ශාසනික ඉතිහාසයේ සිදුවූ විශේෂ සිදුවීම කුමක්ද?

පිළිතුර
දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් දන්තධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවීමය.

ප්‍රශ්නය
ශ්‍රී ලංකාවේ පැවැත්වු ප්‍රථම විනය සංගායනාව කුමක්ද? එම සංගායනාව පැවැත් වූ ස්ථානය සහ මූලිකත්වය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර
අනුරාධපුර ථූපාරාමයෙහි අරිට්ඨ මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංගායනාව පැවැත්විණි.

ප්‍රශ්නය
බොදුනුවකු තුළ අවශ්‍යයෙන්ම තිබිය යුතු ධර්මතා 07 කි. මේ සද්ධා , සීල, හිරි, ඔත්තප්ප , සුත චාග, පඤ්ඤා, එක නමකින් හඳුන්වන්න.

පිළිතුර
සප්ත ආර්ය ධන

ප්‍රශ්නය
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිවිධ ශික්‍ෂාවෙන් ශීල ශික්‍ෂාවට ඇතුලත්වන මාර්ග අංග මොනවාද

පිළිතුර
සම්මා වාචා සම්මා කම්මන්ත - සම්මා ආජීව

ප්‍රශ්නය
මරණින් මතු පුනර්භවයක් නැතැයි යන මතයේ සිට පස්කම් සැප කෙරෙහි පවතින තෘෂ්ණාව නාමිකව සඳහන් කරන්න.

පිළිතුර
විභව තණ්හා

ප්‍රශ්නය
ලෝක සත්වයාට බුදුරජාණන් වහන්සේ කෘතගුණ සැලකීමේ අගය වටහා දුන් මුල් අවස්ථාව කුමක්ද?

පිළිතුර
ගයා ශීර්ෂයෙහි බුද්ධත්වයෙන් අනතුරුව සතියක් පුරා “ අනිමිස ලෝචන පූජාව “ නම් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ වෙත බලා සිටීමෙන් දුන් ආදර්ශය වර්තමානයෙහිද බොදු නුවන් අනුගමනය කරයි.

ප්‍රශ්නය
සම්බුද්ධ ශාසන වංස කථාවෙහි එක් සිදුවීමක් “ පංච සතික “ යන සුවිශේෂ නාමයෙන් හඳුන්වා ඇත. ඒ සුවිශේෂ ශාසනික සිදුවීම කුමක්ද? “ පංච සතික යන නාමය ඒ සඳහා යෙදී ඇත්තේ කුමන හේතුකාරකයක් පදනම් කරගෙනද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
බුද්ධ පරිනිර්වානයෙන් තෙමසකට පසු පවත්වන ලද ප්‍රථම සංගායනාවෙහි දී 500 ක් රහතන් වහන්සේලාගේ සහභාගිත්වය නිසා “ පංච සතික” යන සුවිශේෂ නාමය යෙදී ඇත.

ප්‍රශ්නය
බෞද්ධ ශාසනික ඉතිහාසයේ රජවරුන් අතරෙන් තෙරුවන් සරණ ගිය පළමුවන රජු ලෙස සඳහන් වන රජතුමා කවුද?

පිළිතුර
මගධාධිපති සෙනිය බිම්බිසාර මහ රජතුමා

ප්‍රශ්නය
බුද්ධ කාලීන යුගයේ එක්තරා ළා බාල හිමි නමක් අවවාද පිළිගැනීමේ “ නිහතමානී ගුණය පිළිබඳ ශ්‍රාවකයන් වහන්සේ අතර ප්‍රචලිත විය. ඒ හිමියන්ගේ නම කුමක්ද?

පිළිතුර
රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේ

ප්‍රශ්නය
ඒහි භික්‍ෂූ භාවයෙන් “ එව මහණ “ යැයි සඳහන් කිරීමෙන් මුලින්ම පැවිදි උප සම්පදාව ලබාගත් ශ්‍රාවකයා කවරෙක්ද?

පිළිතුර
කොණ්ඩඤ්ඤ තවුසා

ප්‍රශ්නය
බෞද්ධයෙකු විසින් (සහධම්මෙන) ධාර්මිකව ලබාගත යුතු ඉතාමත් දුර්ලභ වූ සම්පත් තමාවෙත ළඟාකර ගැනීමට බෙහෙවින්ම උපකාර වන්නා වූ පැවතිය යුතු පිළිවෙත් (ප්‍රතිපදා) හතරකි. ඒ මොනවාද?

පිළිතුර
1.ශ්‍රද්ධ සම්පදා
2.සීල සම්පදා
3.ත්‍යාග සම්පදා
4. ප්‍රඥා සම්පදා

ප්‍රශ්නය
ළමාවියේ පසුවන්නෙකුට පහසුවෙන් වැටහෙන පරිදි රසවත් නිදසුනක් මගින් සත්‍යවාදි බවේ අගය (ඇත්ත කථා කිරීමේ අගය) බුදුරජාණන් වහන්සේ එක් ශ්‍රාවකයාණ නමකට දේශනා කළහ. මේ ශ්‍රාවකයාණන් ගේ නම කුමක්ද?

පිළිතුර
රාහුල තෙරුන් වහන්සේ ශ්‍රාවකයාණන් විය. රාහුල මහ තෙරුන් වහන්සේ කීර්ති යට පත් වූයේ විනය ගරුක භාවය පිළිබඳවය. ථෙර ගාථාවන්හි සඳහන් වන පරිදි (මාපිය) දෙපසින්ම භාග්‍ය සම්පන්න වූ මාහට භාග්‍ය සම්පන්න “ රාහුල “ යැයි සමහරු කියති. මම සත්‍යදර්ශී බුදුපියාණන්ගේ පුත්‍රයා වෙමි. මගේ සියලු කෙලෙස් නිමවිය. නැවත උපතක් නොලබමි. මම ත්‍රිවිද්‍යා ප්‍රාප්ත අමෘතදර්ශී රහතන් වහන්සේ නමක් වෙමි.

ප්‍රශ්නය
තොටගමු විහාරයේ වැඩසිටි රණස්ගල්ලේ මාහිමියන් ලියූ කාව්‍ය ග්‍රන්ථය කුමක්ද?

පිළිතුර
ලෝකෝපකාරය

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් උදෙසා දේශනා කරන ලද සූත්‍ර ධර්මය කුමක්ද?

පිළිතුර
ආදිත්ත පරියා සූත්‍රය

ප්‍රශ්නය
ධර්මය දිනීමම ජයග්‍රහණයක් වශයෙන් සිතිය යුතුය.සියලුම ආගමිකයන් සමගියෙන් ජීවත් විය යුතුය. මේ ආකල්පය දැරූ රජතුමා කවුද?

පිළිතුර
ධර්මාශෝක මහරජතුමා

ප්‍රශ්නය
පියෙකුගේ හද තුළ ඇති දරු සෙනේ මහිමය ඔහු තේරුම් ගත්තේ තමාද පියෙකු වූවාට පසුවය. මෙම සිදුවීමට පසුබිම් වූ තැනැත්තා කවුද?

පිළිතුර
අජාසත් රජතුමා බිම්බිසාර පිය මහ රජු ගේ මරණය අසා උණු කඳුළු වගුරුවා හඬා වැළපුණේය.

ප්‍රශ්නය
දෙදෙනෙකු අතර ඇතිවූ සංවාදයකි මහණ අප සේ වු තපස් චීවරයනට නවාතැන් දීම සුදුසුමය. එහෙත් එකෙක් ඇත. මේ ගිනිහල් ගෙයි විෂඝෝර වූ නාගරාජයෙක් වෙසේ. හේ අප රහත් හෙයින් අපට කිසිවකුත් නොකෙරෙයි. නො රහත්වූ ඔබට යම් උපද්‍රවයක් කෙළේ නම් අයහපතෙකි. මෙම සංවාදයට යොමුගත දෙදෙනා කවුද?

පිළිතුර
උරුවෙල කාශ්‍යපයන් හා බුදුරජාණන් වහන්සේ කාශ්‍යපයන්ගේ අසපුව තුළදී කළ සංවාදයයි.

ප්‍රශ්නය
මහානාරද කස්සප ජාතක දේශනාව අසා බිම්බිසාර මහරජතුමා සෝවාන් විය. අනතුරුව බුදු රදුන් වෙත පැමිණ. තමා ප්‍රාර්ථනා 05 ක සිත්හි තබාගෙන සිටි බව ප්‍රකාශ කළේය. මෙම ප්‍රාර්ථනා 05 ම ඉටු වූ බව සොම්නස් සිතින් බුදු පාමොක් මහ සඟරුවන නැමැද පිටත්ව ගියේය.රජුගේ ප්‍රාර්ථනා 05 මොනවාද?

පිළිතුර
1. රජකම ලැබීම
2. තම රටට බුදුන් වහන්සේගේ වැඩමවීම
3. බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසීම
4. බුදුන් වහන්සේගේ සමිප ආශ්‍රය
5. ධර්මය අවබෝධ කරගැනීම
ප්‍රාර්ථනා ඉටුවීමෙන් සොම්නස් වූ රජතුමා උපාසකයෙකු බව දන්වා පසුදා දනට වඩින ලෙස ආරාධනා කළේය.

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 06 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.07 ට ලබයි.
07 වන දා බදාදා පූර්ව භාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 06 වන දා අඟහරුවාදාය.

මී ළඟ පෝය
අප්‍රේල් 13 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]