UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිතේ කිළුට සෝදා හරින ක්‍රමවේදය

ආරම්මණ ප්‍රත්‍යයෙන් උපදින සිත කිළිටි සිතක් නම් එයින් අරමුණු ගන්නේ අපිරිසුදු විදිහටය. අරමුණු වල කිළුටක් නැත්තේය. යම් හෙයකින් අරමුණුවල කිළුට උපදවන හැකියාව තිබුණා නම් අපගේ සිත කවරදාකවත් පිරිසුදු කරගත නොහැකි වනු ඇත. එනිසා අරමුණු කෙරෙහි උපදින සිත පිරිසුදු කර ගැනීම වනාහි කළ හැකි කටයුත්තකි. එය මිනිසාට පමණක් හිමිව ඇති වාසනාවකි.

පූර්ව කර්මයක ඵල විපාකයක් හැටියට මනුෂ්‍යාත්ම භාවයක් ලබා උපත ලත් අපි දැන් එය මොහොතෙන් මොහොත ගෙවා දමමින් සිටිමු. එහෙත් ජීවත් වනවා යන සංඥාව මිස, ජීවිතය ක්‍රමයෙන් ගෙවා දමනවා යන සංඥාව අපට පහළ නොවෙයි. අපේ සිත නිරතුරුවම පංචේන්ද්‍රියයන්ගෙන් ගනු ලබන බාහිර අරමුණු සමග බැඳී යෑමේ ස්වභාවයෙන් පැවතීම ඊට හේතුව යි. ජීවිතයේ ප්‍රථම හා මධ්‍යම යුගවලදී මේ ස්වභාවය උච්චතමව පවතී.

උදෑසන අවදි වූ තැන් පටන් නින්දට යනතුරු නිරතුර පවතින මෙම ඉන්ද්‍රිය රම්මණ සංයෝජනය වනාහි, සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ යන වේදනාත්‍රය විඳව විඳවා කුසලාකුසල කර්ම රැස් කරමින්, දුකම වැළඳ ගනිමින් භවය සකස් කර ගැනීමම බව, බුදු දහම පෙන්වා දෙයි. ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතනවලට හැකියාව ඇත්තේ අරමුණු ලබා දෙන්නට පමණකි. ඒ අරමුණු දැනගන්නේත්, විඳින්නේත්, සිතය. ගසකින් ගිලිහුණු ඵලයක් ස්වභාවයෙන්ම පහතට වැටෙන්නේ යම් සේද, එසේම සිත ස්වභාවයෙන්ම නැමෙන්නේ ඉන්ද්‍රිය සන්තර්පණයටය. නැමීමේ ගතිය නිසා සිත ‘නාම’ ධර්මයක් ලෙස හැඳින්වෙයි.

මෙම පටිපාටිය තුළ සිත කර්තෘත්වයෙහි තබා, ඉහත පරිදි ඇස, කන ආදී ආයතන වලට විධානය දෙන, ඒවා මෙහෙයවන කෙනෙක් මේ කය තුළ සිටින්නේ ය යන හැඟීමක් හෙවත් ආත්ම සංකල්පයක් පුද්ගලයා වෙත ස්වභාවයෙන් ම එමගින් මම දකින්නේය. මම අසන්නේ ය. මම කරන්නේ ය, මම විඳින්නේ ය ආදී වශයෙන් දෘෂ්ටියක් නිර්මාණය වෙයි. එවිට පංචස්කන්ධයම මේ දෘෂ්ටියෙන් (සක්කාය දෘෂ්ටියෙන්) ග්‍රහණය කෙරෙයි.ඒ අරමුණු ලබන විඳින සිතත් මගේය යන අයිතිවාසිකම ද පනවා ගැනෙයි.

එහෙත් සිත ක්‍රියා කරන්නේ අපට අවශ්‍ය ආකාරයට නොවේ. එය, එයටම ආවේණික ධර්මතාවයකට අනුව ක්‍රියා කරයි. එය චිත්ත නියාමයයි. එය නිර්මාණය කර දී ඇති “මම” ට හැඟෙන්නේ “මම” ක්‍රියා කරනවා යන ආකාරයෙනි. එනිසා අප සැමවිටම බලන්නේ “මම” දෙස ය. අරමුණු සමග බැඳුණු සිතෙහි හෙවත් විඤ්ඤාණයෙහි මෙම මායාව අපට නොවැටහෙයි.

උදේ අවදි වූ තැන් පටන් ආරම්භ කර පවත්වාගෙන යන මෙම වැඩ සටහන කොතරම් වෙහෙසකරද? ඒ නිසා ඒ වෙහෙස නිවා ගැනීමට අපට නින්ද අවශ්‍ය වෙයි.මක්නිසාද යත්, තද නින්දේ දී “මම” නමැති නිර්මිත තැනැත්තා විවේක ගනියි.

අපට හැකියාවක් තිබේ නම් මේ ඉන්ද්‍රිය සංදර්ශනය පවත්වන සිතේ යථා ගති ස්වභාවය දකින්න, එවිට කොපමණ විශ්මිත ශක්තියක් තියෙන සිත ද මේ මැජික් පෙන්වන්නෙ කියල වටහාගත හැකි වෙයි. එහෙත් පංච නීවරණ ධර්මයන් ගේ රැකවරණය හා පාලනය යටතේ ක්‍රියාත්මක වන පංචේන්ද්‍රියන්ගේ සංදර්ශනය නිසා මෙකී යථා ස්වභාවය දැකීමට නොහැකියි. රූකඩ සංදර්ශනයකදී නටන රූකඩ මිස නටවන්නා අපට නොපෙනෙන්නා සේ ය. ඇස් ඇති කෙනකුට රූකඩ නටවන්නා දැකිය හැකි නම්, ඔහු රූකඩ නැටුම පසෙක තබා, ඒවා නටවනු පිණිස නටවන්නාගේ ඇඟිලි පහට ගැටගසා ඇති නූල් හසුරුවන ශිල්පීය දක්‍ෂතාව දෙස බලා සිටීම ප්‍රිය කරනු ඇත.

පංචේන්ද්‍රිය සංදර්ශනය නතර කළහොත්, එයින් ඇතිවන බාධාව නැති වන නිසා, සිත දෙස එක එල්ලේ බැලීමට හැකියාවක් ලැබේය යන නිගමනයට අපට එළඹිය හැකි ය. එසේ නම් සිත දෙස බැලීමට හොඳම අවස්ථාව වන්නේ තද නින්ද නොවේද? මක්නිසාද යත් තද නින්දේදී ඉන්ද්‍රිය සංදර්ශනය නොපැවැත්වෙන බැවිනි. නමුත් එය කිසිසේත් කිසිවෙකුටත් කළ නොහැකි ය. තද නින්දේ දී පවතින්නේ භවාංග සිත හෙවත් ප්‍රතිසන්ධිය ලබා දුන් විපාක සිත හෙවත් ප්‍රකෘති චිත්තයයි.එය දැකිය නොහැකිය.අනෙකුත් සියලු සිත් හටගන්නේ ඉන්ද්‍රියයන්ට අරමුණු ලැබීමෙනි. ඒ සිත් පංච ද්වාරාවජ්ජන හෝ මනෝ ද්වාරාවජ්ජන හෝ වෙත්. ඒ නිසා සිත්හි යථා ගති ස්වභාවය දකින්නට නම් හට ගැනෙන සිත් තිබිය යුතුය.එනම් අරමුණු ගනිමින්ම සිටිය යුතුය.

ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගනිමින් සිටියදී මුලින් සඳහන් කළ පරිදි විඤ්ඤාණයාගේ මායාවට හසු වී ඉන්ද්‍රිය සංදර්ශන යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ නොවේද? එය පෘථග්ජන තලයේ ස්වභාවයයි. එසේ නම් මෙම පුනර් සංස්කරණයෙන් මිදීම සඳහා මනෝ තාක්‍ෂණික ක්‍රමවේදයක් අවශ්‍ය වෙයි. මෙම ක්‍රමවේදය ලොවට අනාවරණය කළ එකම ශාස්තෘවරයාණන් වහන්සේ බුදු රජාණන් වහන්සේ යි.

වෙනත් කිසිම ආගම දහමක මෙම ක්‍රමය නැත. අනෙක් අතට සිතේ ගති ස්වභාවය නිෂ්ටාවට අවබෝධ කරගෙන චිත්ත විශුද්ධිය කර ගැනීමට ඒකායන ක්‍රමය එය යි. එසේ හෙයින්, “ඒකායනෝ අයං මග්ගෝ සත්තානං විසුද්ධියා” යනුවෙන් මාගේ බුදු පියාණන් වහන්සේ වදාළ සේක.

මෙම ක්‍රමවේදය සතිපට්ඨාන ක්‍රමය ලෙස තථාගත ධර්මයෙහි සංග්‍රහ වී ඇත. එහි අනුගාමී පිළිවෙත විපස්සනා භාවනාව යි. එය එක තැනකට වී කරනු ලබන සමථ වර්ගයේ භාවනාවක් නොවන බව දැක්වෙයි.

ධම්ම පදයේ පණ්ඩිත වග්ගයේ එන පස්වන ගාථා රත්නය වන, “ උදකංහි නයන්ති නෙත්තිකා” යන ගාථාවේ අවසාන පදය වන “අත්තානං දමයන්ති පණ්ඩිතා” යන පාඨය මෙහිදී අපට ඉතා වැදගත් වෙයි. පණ්ඩිතයෝ තම සිත දෙස සිතෙන්ම නුවණින් බලා දමනය කර ගන්නේය යන අරුත එහි දැක්වෙයි.සතිපට්ඨාන ක්‍රමය තුළ මෙම පණ්ඩිත පිළිවෙත මනාව පැහැදිලි කෙරේ. ඒ සඳහා පුද්ගලයා තුළ වර්ධනය විය යුතු දක්‍ෂතා කිහිපයක් ඇත.

1. නොපසුබස්නා වීර්යයෙන් යුතුව ප්‍රතිපදාවේ පිහිටීමට දක්‍ෂ විය යුතුය. (ආතාපි)

2. එළඹ සිටි සිහිය පිහිටුවා ගැනීමට දක්‍ෂ විය යුතු ය. (සතිමා)

3. කායික ක්‍රියාවල ස්වභාවය, සියලු විඳීම් වල ස්වභාවය, සිත් හට ගැනීම සහ සියලු ධර්මතා පිළිබඳ නුවණ මෙහෙයවා විමසා බැලීමට දක්‍ෂ විය යුතු ය. (සම්පජානෝ) මෙම දක්‍ෂතාව කල්‍යාණ මිත්‍ර ගුරු උපදේශන ලැබීමෙන්ම වර්ධනය කර ගත යුතු ය.

4. දුකින් නිදහස් වීමේ පටිපදාවට එළඹීමට දක්‍ෂ විය යුතු ය.

මෙහි ඉතා වැදගත් සාධකය වන්නේ සම්පජානෝ යන තැන දැක්වෙන සම්පජඤ්ඤය යි. මෙම ලිපියේ ඉතිරි කොටසින් ඒ ගැන විමසීමක් කැරේ.

සම්පජඤ්ඤ යන්නෙහි ප්‍රකෘති අර්ථය ලෙස, “නුවණින් බැලීම” යනුවෙන් බොහෝ තැන්හි දැක්වේ.

නුවණ යනු කුමක්ද? යම් සිද්ධියක් සිදුවන අවස්ථාවේදීම එහි යථා ස්වභාවය දැකීමට යෙදිය හැකි මානසික කුසලතාවයි. මෙහිදී සිද්ධියේ බාහිර සම්මුති ලක්‍ෂණ නොව එහි මූල ස්වභාවය විනිවිද දැකීමට ඇති හැකියාව බුදු දහමෙන් ඉදිරිපත් කැරෙන මානසික කුසලතාව යි.

සියලු කායික, වාචසික, හා මානසික ක්‍රියාවල උත්පාද අවස්ථාවේදී ඒවායේ යථා ස්වභාවය දැක, අනතුරක් නොවන පරිදි ආරම්මණ සිත් සංවිධානය කිරීමේ හැකියාව ලැබෙන්නේ සම්පජඤ්ඤය මගිනි.

මෙම හැකියාව ත්‍රිහේතුක පටි සන්ධි චිත්තයාගේ (භවාංගයේ) ශුද්ධභාවය මත පිහිටන බව රේරුකාණේ චන්ද විමල හිමියෝ පවසති. ඒ හැකියාව, සිද්ධියට අදාළ ධර්මතාවයේ මුල මැද අග පිරිසිඳ හේතු ඵල වශයෙන් හා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් බැලිය හැකි කුසලතාවක් වූ විට, එය යෝනිසෝ මනසිකාරයයි. ෂට් ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගනිමින් සිටියදීම ඒ අරමුණු සමග සංයෝජනය වන සිත දෙස බැලීමේ ක්‍රමවේදය ගැන සාකච්ඡා කරමින් සිටින නිසා සම්පජඤ්ඤය එතැනට සම්බන්ධ කර බලමු.

පෘථග්ජන පුද්ගලයා ගේ සිත නිරායාසයෙන්ම ලෝභ, දෝස දෙකෙන් කිළිටි වීමේ ස්වභාවයෙන් යුක්තය. ඉන්ද්‍රිය ආරම්මණ සිත් නිරතුරුවම කාමය, රතිය, ලෝභය, ආශාව, ආස්වාදය, ආදී වශයෙන් දැක්වෙන ඡන්ද රාගයෙන්ද තරහව, කේන්තිය, පිළිකුල, පසුතැවීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි පටිඝයෙන් ද මිශ්‍ර වෙයි. ඒවා විපාක පිණිස සකස් වන අකුසල කර්ම සිත් වෙත්. ඒවායේ විපාකය දුකම ය. දුකට නිෂ්පන්න වූ හේතු ඵල විපාක ත්‍රිත්වය නිර්මාණය වූයේ සිතෙහි මිස එම සිත් ඉපදවීමට ප්‍රත්‍ය වූ අරමුණු වල නොවේ. වැස්ස වැටෙන විට පැළෑටි පැලවෙන නමුත් ඒවා පැළ කිරීමේ කිසිම උවමනාවක් වැස්සට නැත. වැස්ස ප්‍රත්‍ය කරගෙන පැළෑටි පැළවෙයි.

පැළවීම හෝ වැඩීම, ඒවායේ කටයුත්තකි. ඒ ආකාරයෙන්ම සිත් ඉපදවීම අරමුණුවල කාර්යයක් නොවේ.

ආරම්මණ ප්‍රත්‍යයෙන් උපදින සිත කිළිටි සිතක් නම් එයින් අරමුණු ගන්නේ අපිරිසුදු විදිහටය. අරමුණු වල කිළුටක් නැත්තේය. යම් හෙයකින් අරමුණුවල කිළුට උපදවන හැකියාව තිබුණා නම් අපගේ සිත කවරදාකවත් පිරිසුදු කරගත නොහැකි වනු ඇත. එනිසා අරමුණු කෙරෙහි උපදින සිත පිරිසුදු කර ගැනීම වනාහි කළ හැකි කටයුත්තකි. එය මිනිසාට පමණක් හිමිව ඇති වාසනාවකි.

මතු සම්බන්ධයි


මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 15 වනදා සඳුදා පූර්ව භාග 12.31 ට ලබයි. 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.07 ට ලබයි.
සිල් සමාදන්වීම 15 වනදා සඳුදාය

මීළඟ පෝය මාර්තු 23 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]