UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘මහණකම රැකගන්න මඟ පෙන්වීම අද විරල යි’

මහණකමේ අගය වටහා ගැනීම මුළු මහත් සමාජයේම අභිවෘද්ධියට හේතු වෙයි. භික්‍ෂූන් වහන්සේ ලෝක සත්වයාට පින් කර ගැනීමට පහළ වූ පින් කෙතක් බඳු ය. එය ‘පුඤ්ඤක්ඛෙත්තං’ යනුවෙන් දක්වා ඇත. එබඳු වූ ස්වාමීන් වහන්සේට තම උතුම් මහණ දිවිය ‘දිට්ඨ ධම්ම වේදනීය’ කුසල කර්මයක් වී, මේ දිවියේ දී ම එහි යහපත් ඵල විපාක ලැබෙනු ඇත.

වැඩි මහලු වයස්ගත පුද්ගලයකු සකස්කරනවාට වඩා කුඩා පිරිස් හික්මවීම පහසු ය. නිවැරැදිව හික්මවාලුවහොත් ඔවුහු සසුනට මහාර්ඝ සම්පතක් වෙති.

එසේ වූවද භික්‍ෂූන් වහන්සේ ගොඩනැංවීමෙහිලා දැනට සිදුවෙමින් පවතින ක්‍රියාදාමය මෙයට හාත්පසින් වෙනස් ය.

කුඩා පිරිස් මහණ කිරීමට බොහෝ දෙනකු සිටිය ද මහණකමෙහි බරපතල බව පෙන්වා දීමට සමත්ව, ඒ පිළිබඳ නිවැරැදි ලෙස කටයුතු කරන්නන් විරල බව පැහැදිලියි. එසේ වූව ද කුඩා කළ කිසි උපදේශයකින් තොරව වර්ධනය වන සාමණේරයන් වහන්සේ පිරිසක් අප අතර සිටින බව බැලූ බැල්මට පෙනෙයි.

එදිනෙදා ඉටු කළ යුතු සාමාන්‍ය කාර්යයක් සේ පිරිවෙනකට යැවීමත්, ආපසු පැමිණීමත් සිදු වෙයි. ඒ අතරවාරයේ ළමාකමට වේලාව අවේලාව නොසලකා ලැබුණු දෙයක් කටේ දමා ගැනීමත්, ඉඩ ලැබෙන ඕනෑම විටෙක කෙළි දෙළෙන් සතුටුවීමට උත්සාහ දැරීමත් දක්නට ලැබේ.

මෙසේ වර්ධනය වන්නා වූ සාමණේරයාණන් වෙතින් සීලයට, මහණකමට ඇති ගරුත්වය බැහැර වී යනුඇත. තුරුණු වියට එළැඹෙන විට මේ භික්‍ෂූන් වහන්සේගේ අරමුණ වනුයේ විශ්වවිද්‍යාලයට යෑමයි. මෙතැන් සිට පරමා දර්ශ වෙනස්වීමේ ඵල විපාක හටගැනීම නොවැළැක්විය හැකි ය.

“දිට්ඨානුගතිං ආපජ්ජති”

දකින දේ අනුව චර්යාව සකස් වීම, සාමාන්‍ය තත්ත්වය යටතේ සිදුවන දෙයයි.

රහතන් වහන්සේ කෙනකු හා ජීවත්වන භික්‍ෂූවෙක් හැම විටෙකම එබඳු ආකාරයට එනම් රහතන් වහන්සේ පරිදි ජීවත් වීමට උත්සාහ දරති. දුසිල්වත් පිරිසක් අතර සිල්වත්ව විසීමට හැකියාව ඇත්තේ, කලාතුරකින් අයකුටයි.

ජනපි‍්‍රය සංස්කෘතිය හරහා ජනපි‍්‍රය භික්‍ෂුව පරමාදර්ශයට ගන්නා විට ළා බාල පිරිස් සිතනුයේ තම තමන් ද ඒ තත්ත්වයට ළඟා වීම පිළිබඳව ය.

සැබවින්ම භික්‍ෂූන් වහන්සේ විසින් පරමාදර්ශයට ගත යුත්තේ සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රධාන අසූ මහා ශ්‍රාවකයන්ගේ චරිත යි. එහෙත් පරමාදර්ශය වෙනස් වීම නිසා වර්තමානයේ භික්‍ෂු පරපුර නිර්වාණගාමී ප්‍රතිපදාවෙන් වියුක්ත වූ පිරිසක් බව පැහැදිලි වෙයි.

බොහෝ විට බොහෝ දෙනකු නඟන හඬක් වනුයේ විද්‍යාවෙන් තාක්‍ෂණයෙන් සපිරි මේ ලෝකයට භික්‍ෂුව ද හොඳින් ගැලපීම අවශ්‍ය බව ය. නිවන් පිළිවෙතින් බැහැරව කොතරම් වර්තමාන සමාජයට ගැලපීමට උත්සහ කළ ද ඉන් පලක් නොවන බව, අවබෝධ කටයුතු ය.

“ භික්‍ෂුව හා අන්තර්ජාලය” වැනි මාතෘකාවක් වර්තමාන සමාජයට හා භික්‍ෂු ජීවිතයට ගැළපේ ද යන්න ගැන අපට කතා කළ හැකි ය.

පරිගණකය හා අන්තර් ජාලය මගින් භික්‍ෂු ජීවිතයට බොහෝ ප්‍රයෝජන ගත හැකි ය. අන්තර් ජාලය මගින් ලොව පුරා සිදු වන ධර්ම ගවේෂණ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකි ය. අභිධර්මය පිළිබඳ, යෝගාවචර භික්‍ෂූන් වහන්සේ ගේ අත්දැකීම් පිළිබඳ බොහෝ කරුණු මේ මගින් අධ්‍යයනය කළ හැකි ය.

එහෙත් මෙහි භයානක පැත්තක් ද නැතිවා නොවේ. අන්තර් ජාලය පරිහරණය කිරීම දැලි පිහියෙන් කිරි කෑමක් බඳු යැයි කිව හැකි ය.

මූලිකව තම තමන් සංවර විය යුතු ය. එවිට අන්තර් ජාලයේ භික්‍ෂූත්වයට නොගැළපෙන ආකාරයේ පණිවිඩ කරා ගමන් කරන්නට සිතෙන්නේ නැත. මෙම සංවරකම නොමැති වූ විට අවැඩක් සිදු වීමේ වගකීම අන්තර් ජාලයට පැවතිය නොහැකි ය. අවැඩක්, අයහපතක් වීමට ඕනෑම කරුණක් හේතු වීමට ඉඩ තිබේ. සැබවින්ම අන්තර් ජාලය ඉගෙන ගැනීමට, අවබෝධය ලබා ගැනීමට ඕනෑ තරම් කරුණු සොයා ගත හැකි මාවතකි. ගින්දර පිළිබඳ සලකන්න. ගින්දරෙන් කොතරම් ප්‍රයෝජන ගත හැකි ද? එය අයහපතට මෙන්ම යහපතට ද භාවිතා කළ හැකි ය. ඉලක්කයක්, අරමුණක් ඇතිව ජීවත් වන භික්‍ෂුවකට අන්තර්ජාල කොතරම් තිබුණත් හානියක් වන්නේ නැත.

මහණකමේ පරමාර්ථය පසෙක ලා කටයුතු කිරීමට පෙළඹීමට අදාළ තවත් හේතුවක් වන්නේ ඇතැමුන් විශ්වාස කරන පරිදි ඒ ඒ පුද්ගලයාට බලපාන අපල දුරු කරවා ගැනීම සඳහා වූ විවිධ විශ්වාසය බුදු සසුන කිසිවකුගේ පව් සෝදන ස්ථානයක් නොවන බව අප විසින් වටහාගත යුතු ය. මේවා, බොදු පිළිවෙතට පටහැනි කටයුතු බව කිව යුතු ය.

ගිහි ජීවිතයේ අසාර්ථක වන ඇතැම් උදවිය පැවිදි වූ පසු පැවිදි ජීවිතය සාර්ථක වන අවස්ථා ඇත. නොඑසේ ම කර්ම විපාක දෙනවා යැයි කියා, එය මහණකමින් වළක්වා ගත නොහැකි යැයි සිතීම මුලාවකි.

මේ අනුව මහණකමේ අගය වටහා ගැනීම මුළු මහත් සමාජයේම අභිවෘද්ධියට හේතු වෙයි. භික්‍ෂූන් වහන්සේ ලෝක සත්වයාට පින් කර ගැනීමට පහළ වූ පින් කෙතක් බඳු ය. එය ‘පුඤ්ඤක්ඛෙත්තං’ යනුවෙන් දක්වා ඇත. එබඳු වූ ස්වාමීන් වහන්සේට තම උතුම් මහණ දිවිය ‘දිට්ඨ ධම්ම වේදනීය’ කුසල කර්මයක් වී, මේ දිවියේ දී ම එහි යහපත් ඵල විපාක ලැබෙනු ඇත.

එසේ නොමැතිව ධර්මයට නිගරු වන ලෙස අධර්මවාදී වැඩ පිළිවෙළක් අනුගමනය කරන්නේ නම්, ඉන් සියලු ආකාරයේ පිරිහීම ආරම්භ වෙයි.


මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 15 වනදා සඳුදා පූර්ව භාග 12.31 ට ලබයි. 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.07 ට ලබයි.
සිල් සමාදන්වීම 15 වනදා සඳුදාය

මීළඟ පෝය මාර්තු 23 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]