UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සමනළ කන්ද පැරැණි වංශ කතාවල නම් කිහිපයකින් දැක්වේ. ඒ , ලංකා පබ්බත, රෝහණ පබ්බත, සහ සුමන ගිර යනුවෙනි. හින්දුන් ශිව නඩි පාදම්, දේව ශිව නඩි සිවම්බලි පාදම් සහ සිවම්ඔලි යනුවෙන්ද,මුස්ලිම්හු පබාග මලෙයි, පාවුඩ මලෙයි, බබා ද මලෙයි සහ අර් රවුර් නමින්ද කතෝලික බැතිමත්හු ඇඩම්ස් පීක් ආදම්ගේ පා සටහන යන නම් වලින්ද හැඳින්වූහ.

මහ සයුර තරණය කර ලක්දිව දෙසට පැමිණෙන කවරෙකුහට වුවද පළමුව දිස්වන්නේ අලංකාර සමනොළ කඳු මුදුනයි. ලක්දිව කඳු අතරින් පූජනීයත්වයට පත් එකම කන්ද ද සමනොළයි. සමනොළ කන්දෙහි වැදගත්කම ජන කවියා මෙසේ දකී.

අලට කන්න බැරි අලගල්ලේ කන්ද
බතට කන්න බැරි බතලේගල කන්ද
හුණට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනොළ කන්ද

සමනොළ කඳු මුදුනෙහි ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර වැඩ සිටි කකුසඳ, කෝණාගම සහ කස්සප යන බුදුරජාණන් වහන්සේලාද සිය සිරිපා සටහන් තැබූහ. බෞද්ධ සාහිත්‍යයෙහි එන එම පුවත ජනකවියා මෙසේ සඳහන් කරයි.

ඔක්කොම මුණි බුදුව ලොවටම
සමනල ගල පිටට වැඩිය
දක්නට සිරිපාද එබූ අණසක
මිහි දෙරණ තලය

සමනළ කන්ද පැරැණි වංශ කතාවල නම් කිහිපයකින් දැක්වේ. ඒ , ලංකා පබ්බත, රෝහණ පබ්බත, සහ සුමන ගිර යනුවෙනි. හින්දුන් ශිව නඩි පාදම්, දේව ශිව නඩි සිවම්බලි පාදම් සහ සිවම්ඔලි යනුවෙන්ද, මුස්ලිම්හු පබාග මලෙයි, පාවුඩ මලෙයි, බබා ද මලෙයි සහ අර් රවුර් නමින්ද කතෝලික බැතිමත්හු ඇඩම්ස් පීක් ආදම්ගේ පා සටහන යන නම් වලින්ද හැඳින්වූහ.

සිරිපා සටහන්

ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සිරිපා සටන් තැබු ස්ථාන සිරිපා වන්දනා ගාථාවේ දක්වා ඇත්තේ මෙසේය.

යං නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනා චලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි

එම ස්ථාන හතරකි

ඒවා නම්,

නර්මදා නදිය

මෙය උතුරු ඉන්දියාවත් දකුණු ඉන්දියාවත් අතර පිහිටි සත්පුර කඳුවලින් පටන්ගෙන බටහිර මුහුදට ගලන ගංගාවකි. මෙම ගංගාවේ වැලිතලාවෙහි බුදුසිරිපා සටහනක් පිහිටි බව සඳහන් වෙයි. නමුත් එය මෙතෙක් හමු වී නැත.

සච්ච බද්ධ

දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ ‘තිරුමලෙයි’ කඳු මුදුනෙහි බුදුරජාණන් වහන්සේ, සිරිපතුල පිහිට වූහ. එය එම කඳු මුදුනෙහි ඇති ‘ශ්‍රීවෙත්කථෙශ්වර ‘ (තිරුපති) දේවස්ථානයේ දී දැක ගත හැකිය. තිරුමලෙයි කඳු වැටිය පර්වත තුනකින් බැඳි පවතී. ඒ නිසා එය ‘සත්ත බද්ධ ‘ නම් විය. පසුව එය ‘ සච්ච බද්ධ ‘ යනුවෙන් ව්‍යවහාරයට පත්විය. මෙම කන්ද ප්‍රපාතාකාරය. ගමනාගමනය දුෂ්කරය. ලංකාවේ මහියංගන මාර්ගයේ ඇති දහ අට වංගු මෙන් මෙහි වංගු පණහකි. මෙහි සිරිපතුල නරඹන අයගෙන් මුදල් අය කෙරේ.

පුණ්‍යොදය සූත්‍රයට (මජ්ජිම නිකාය) අට්ඨ කතාවක් සපයන බුද්ධඝෝෂ හිමියෝ ‘සච්ච බද්ධ’ ගැන මෙසේ දක්වති. සච්ච බද්ධ පර්වතයෙහි සච්ච බද්ධ නම් තාපසයකු විසීය. ඔහු සිල්වතෙකි. බුදුරජාණන් වහන්සේ එම තාපසයාට දහම් දෙසා රහත් භාවයට පත් වූහ. එයින්පසු බුදුරජාණන් වහන්සේ සච්ච බද්ධ රහතන් වහන්සේ සමග සුනාපරන්තයට වැඩ ආපසු ගමනේදි නර්මදා නදී තීරයෙහි සිරිපතුල පිහිටුවා නැවත සච්ච බද්ධ පර්වතයට වැඩියහ. එහිදී බුදුරජාණන් වහන්සේ සච්ච බද්ධ රහතන් වහන්සේට එහිම වැඩ වාසය කරන ලෙස දැන්වූහ. ඒ සමගම සච්ච බද්ධ රහතන් වහන්සේගේ ආරාධනය අනුව බුදුරජාණන් වහන්සේ සච්ච බද්ධ පර්වතයෙහි ගල් තලාවක් මත දකුණු සිරිපා සටහන තැබූහ.

සච්ච බද්ධ ශ්‍රී පාද වන්දනා ගාථාව
සො සච්ච බද්ධ යති සංගම සත්ථු කප්පො
ඤත්වා ජිනො සගම් පඤ්ච සතෙහි භික්ඛු
ඛීණා සවොත්ව අභීයාචිත පාද ලාඤ්ඡනං
තං පද ලාංඤඡනං මහං සිරසා නමාමි

සමනළ

බුදුරජාණන් වහන්සේ සමනළ කඳු මත සිරි පා සටහන තැබූ බව මහා වංශයේ මෙසේ සඳහන්ය.

ලෝකානුකම්පා ඇත්තා වූ ලෝකනායක වූ සර්වඥ තෙම එතන්හි ධර්ම දේශනා කොට අහසට නැගී (වැඩ) සමන්කුළු මතුයෙහි පා සටහන දැක්වූ සේක.

මහා වංශය (පිටුව 05)
හික්කඩුවේ සුමංගල හිමි
රත්නාකර පොත් සමාගම
කොළඹ - 1946

බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩි තෙවන වර කැලණියේ සිට සමන්ත කූටයට වැඩියහ. එහි දී සුමන දෙවියන්ගේ ආරාධනය අනුව ඉන්ද්‍රජාල මාණික්‍යයක් මත වම් සිරිපා සටහන තැබූ බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ මහාවංශ සංස්කරණයෙහි මෙසේ දැක්වෙයි.

“තත්‍ථ ධම්මං දෙසයිත්වා
සත්වා ලොකානු කම්පකො
උග්ගන්ත්වා සුමනේ කූටේ
පදං දස්සෙහි නායකො “ (77)

මහා වංශ සංස්කරණය
1 වන පරිච්ඡේදය
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
1950

මක්කම

ඉස්ලාම් භක්තිකයන් වාර්ෂිකව වැඳ පුදාගන්නා කාබා පල්ලිය පිහිටියේ අරාබි දේශයේය. ලක්දිව පිහිටි මක්කම පිරිත් පොතෙහි විහාර අස්නෙහි මෙසේ දැක්වෙයි. මුන්නේශ්වරම, ඇත්හල විහාරය මක්කම මන්නාරම යනුවෙනි. මෙම නම් අතර දැක්වෙන මක්කම පිහිටියේ මුන්නේශ්වරම සහ මන්නාරම අතරය. ඇත්හල විහාරය සහ මක්කම විහාරයන් අද දක්නට නැත.

බුදුරජාණන් වහන්සේ මක්කම සිරිපා සටහන තැබූ බව ජන කවියා දකින්නේ මෙසේය.

සත් පුර ඔබ දෙවියන් දැක මුණිදුන් අණ සිරස දරයි
මක්කම සිරිපතුල තබා දෙව්රම් වෙහෙරට වැඩියයි

සමනල කන්ද හැර ලක්දිව සිරිපා සටහන් පිහිටි ස්ථාන කිහිපයක් ඇත. ඒ ස්ථාන නම්,

අනුරාධපුරය

අනුරාධපුර ථූපාරාමය අසල සිරි පා සටහනක් ඇති බව මහාචාර්ය පරණවිතාන මහතා දක්වා ඇත. එතුමා එය සඳහන් කර ඇත්තේ, බෝධිවංශ ගැටපදයේ තොරතුරු අනුව 1961 චින්තක සඟරාවේ අනුරාධපුර පද ලාංඡන යන ලිපියෙනි.

අභයගිරිය

අභයගිරි දාගැබ සහ විහාරය පිහිටා ඇත්තේ බුදු සිරිපා සටහනක් ආශ්‍රිතවය. අමාවතුර සහ දීපවංශයේ ද මේ බව සඳහන් කර ඇත. පාහියන් හිමියන්ගේ වාර්තාවෙහිද අභයගිරි සිරිපා සටහන ගැන දැක්වෙයි.

කැලණිය

බුදුරජාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩි අවස්ථාවේදී මණිඅක්ඛික නා රජුට වැඳ ගැනීම සඳහා කැලණි ගං පත්ල යට සිරිපා සටහනක් තැබූ බව සද්ධර්මරත්නාකරයේ සඳහන්ය.

සමනොළ සිරිපා වැනුම් ජනකවි

සමනොළ සිරිපා වැනුමට ජනකවියා දැක්වූයේ මහත් රුචිකත්වයකි. පුරාණ හිම ගත වර්ණනාව හෙවත් ශ්‍රීපාද වන්දනා ගමන , සමනළ වැදීම, සමනල විස්තරය, ශ්‍රීපාද ගමන, සමනලහෑල්ල, සමන්තකූට වර්ණනාව සහ තුන්සරණය වන්දනාකරුවන් සඳහා ලියා ඇති එවැනි පොත්ය.

ඇසු ඇසු අය පින්කෙත බලවත්තු
ගෙයින් ගෙට කියවා තෙල් සිඳගත්තු
යන්නට සමනල මල් බැඳගත්තු
ගොසින් මුනිදු සිරිපා වැඳගත්තු
(පුරාණ හිමගත වර්ණනාව)

භක්තිමත් අහිංසක ගැමියන් සාමුහිකව සිරිපා වැදගන්නා අයුරු මෙයින් පැහැදිලි වෙයි.

සුදු රෙදි ගෙන ගොස් පතුල වසනවා
රන් ද රිදි මල් වලින් පුදනවා
සුවඳ සදුන් පිනි දියෙන් පුදනවා
නිවන් පතා සිරි පතුල වඳිනවා
(පුරාණ සමන්තකූට වර්ණනාව)

පැරැන්නෝ සුදු රෙද්දකින් (පිරුවටයකින්) සිරිපා පතුල වසා වැඳීමේ සිරිතක් පැවති බව දැක්වෙයි.

සිරි පා වැනුම නියම අයුරින් කර ඇත්තේ ජනකවියා බව පැහැදිලිවම සඳහන් කළ හැකිය. ඔහු බුදු සිරි පතුලේ පිහිටි මඟුල් ලකුණු 216 ම වර්ණනා කළේය.

ස්වස්තික දෙක පිහිටපු සිරිපතුලේ
සිරිවස දෙක පිහිටපු සිරිපතුලේ
නද වට දෙක පිහිටපු සිරිපතුලේ
අපි යමු වඳිනට ඒ සිරිපතුලේ
(පුරාණ සමන්තකූට වර්ණනාව)

මීට අමතරව ජන කවියා විසින් රචනා කරන ලද බුදු මූල උපත, සහ බුදුගුණ ශාන්තිය හෙවත් මරඟන සැහැල්ල යන ග්‍රන්ථ දෙකක් ගැනද සඳහන්ය. නමුත් අද ඒවා දක්නට නැත.

සන්දේශ කාව්‍ය

සමනොළ ගල පිළිබඳව දැක්වු සන්දේශ කාව්‍යයන්හි සිරිපතුල ගැන වැනුම් දැකිය නොහැකිය. ඒවායේ ඇත්තේ සමනල කන්ද දූතයන්ට දැක්වීම පමණි.

ලක කොමළඟ සමනොළ ගිරි හිසින් ගොතා
කළ මනහර මලිගිය මල් දමින් යුතා
වරලස රඟ පෙණහැලි හැලි සියෙන් ඉතා
දිලි කළු ගඟ වැද හිරු ගිමන් පතා
(79) ගිරා සන්දේශය

සමනොළ කන්දෙන් බසින දිය ඇලි සමූහය සමන් මල් ගෙතූ කෙහෙරැළි වැන්න. එවැනි දිය ඇලි සිය ගණනින් දිලෙන කළුගඟ මෙයින් හැඳින්වේ.

සමනොළ මුහුල සිරිපද තබන මගුලට
නික සල මහ සඟන ගෙන වඩින මුනිදුට
පැහැදුල සුනිල් මැණිකෙන් කළ මන ලෙසට
මනදොල පිරෙයි ගඟ සිරි සර දුටු තොපට
(හංස සන්දේශය)

මෙහි දැක්වෙන්නේද ශ්‍රීපාදය තබන මංගල්‍යයට සැරසුන ආකාරයයි.


මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 15 වනදා සඳුදා පූර්ව භාග 12.31 ට ලබයි. 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.07 ට ලබයි.
සිල් සමාදන්වීම 15 වනදා සඳුදාය

මීළඟ පෝය මාර්තු 23 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]